කෝපි බොන්න එන්න කියා සයනයිඩ් පෙවූ මිතුරිය.. – Sri News

0
10

සතුට සල්ලි වලට ගන්න පුළුවන් කියල ඔබට කවද හරි දවසක හිතිල තියෙනවද? 

ඒකෙ වරදක් නෑ.

හැබැයි, කොයිතරම් සල්ලි තිබුණත් සමහර දේවල් මිලදී ගන්නත්, ඔබ ලඟින් රඳව ගන්නත්, ඔබට බැහැ කියල අද අපි කියන්න යන එක්වරම විශ්වාස කල නොහැකි මේ සත්‍ය කතාවෙන් පස්සෙ ඔබ අනිවාර්‍යෙන් තේරුම් ගනීවී.

ආදරය, කරුණාව, රැකවරණය සහ අවංක මිත්‍රත්වය ඔබේ ජීවිතයට කොයිතරම් වැදගත්ද වගේම ඊර්ෂියාව, අධික මානය සහ ආත්මාර්ථකාමීත්වය කොතරම් භයානකද කියල ඔබට තේරුම් කරන්න 2016 ජනවාරි මාසේ මුළු ඉන්දුනීසියාවම කළඹමින් සිදුවූ මේ දරුණු ඝාතන සිද්ධිය අතිශයින්ම ප්‍රමාණවත්. 

ජෙසිකා වොන්ග්සො

ඉන්දුනීසියාව කියන්නෙ එහි ජීවත් වෙන ජනතාවගෙන් වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් බැටකන අතරෙ ධනපති පන්තිය ලෙස හඳුන්වා ගත් ඉතාම සුළු පිරිසක් අසීමිත ලෙස සැපවත් ජීවිත ගත කරන රටක්.

මේ විදිහට ඉතා සැපවත් ජීවිතයක් ගත කල ධනවත් පවුල් අතර වොන්ග්සෝ පවුලට හිමිවුනේ ප්‍රමුඛ ස්ථානයක්. 

ඉන්දුනීසියාවේ විශාලතම ප්ලාස්ටික් නිෂ්පාදන ව්‍යාපාරයට හිමිකම් කියූ විනාඩි වොන්ග්සෝ සහ ඉමෙල්ඩා වොන්ග්සෝ යුවළගේ ළාබාලම දියණිය ලෙස ජෙසිකා වොන්ග්සෝ උපත ලැබුවේ වර්ෂ 1988 දීයි. 

අසීමිත සැප සම්පත් මැද හැඳී වැඩුණු ජෙසිකා වොන්ග්සෝ කුඩා කාලයේ සිටම පරිඝනක ක්‍රීඩා සඳහා දැඩි ප්‍රියතාවයක් දැක්වූවා. ඒ වගේම ඇය චිත්‍ර කලාවට සහජ හපන්කම් දැක්වූ දැරියක් ලෙසත් හැඳී වැඩුණා. 

කුඩා කල සිටම ඉතා දක්ෂ ලෙස චිත්‍ර කලාවේ නිරත වූ ඇය පැය ගණනක් වුනත් චිත්‍ර අඳිමින් ගත කරේ තමා අවට ලෝකයේ සිදුවෙන සියළුම සිදුවීම් අමතක කරමිනුයි. 

චිත්‍ර කලාවට ඇය දැක්වූ දක්ෂතාවය නිසාම උසස් අධ්‍යාපනය සඳහා ග්‍රැෆික් නිර්මාණකරණය තෝරාගත් ඇය ඉතාම දක්ෂ අයුරින් වගේම දැඩි ආශාවෙන් තමන්ගේ ඉගෙනීමේ කටයුතු වල නිරත වුණා. 

මුළු පවුලම ඕස්ට්‍රේලියාවට

තමන්ගේ ව්‍යාපාර තව තවත් දියුණු කරගැනීමේ අභිප්‍රාය සහ උනන්දුව මත වොන්ග්සෝ යුවළ තමන්ගෙ දරුවොත් එක්කම ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න තීරණය කරේ මේ අතරයි. 

ඒ අනුව වොන්ග්සෝ යුවළ වර්ෂ 2005 දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආසන්නයේ කුඩා බිම් කඩක් පවා ඩොලර් මිලියන ගණනක වටිනාකමින් යුතු වෙරළාසන්න ප්‍රදේශයක තිබූ සුවිශාල මන්දිරයක් මිලදී ගෙන එහි පදිංචියට ගියා වුනත් මේ ගමනට ජෙසිකා එක් නොවුනේ සිය අධ්‍යාපන කටයුතු ඉන්දුනීසියාවේදීම නිම කිරීමට ජෙසිකාට උවමනා වී තිබුණු නිසයි. 

ඒ කොහොම වුනත් ජෙසිකාගේ සියළුම වැඩකටයුතු කරල දෙන්න ඕනෑවටත් වැඩිය සේවක සේවිකාවො ජෙසිකා වෙනුවෙන් සේවයට ගන්න වොන්ග්සෝ යුවළ කටයුතු කරල තිබුණා. 

මුණගැසුණු මිතුරියෝ

ඉතාම හොඳින් සහ උවමනාවෙන් තමන්ගෙ අධ්‍යාපන කටයුතු නිමාකරපු ජෙසිකා වර්ෂ 2007 දී දෙමව්පියන් ලඟට යන්න තීරණය කරේ පවුලේ සාමාජිකයන් සමඟ එක්ව සිටීමේ වටිනාකම පුරා වසර 02 ක් පුරා ඔවුන් නොමැතිව සිටීම නිසා තමන්ට හොඳ හැටි අවබෝධ වීම නිසාමයි.

ඒත් ඕස්ට්‍රේලියාවට ගිය ජෙසිකා දැක්කෙ තව දුරටත් එකා වගේ හිනාවන් සහ රහස් බෙදාගෙන එකට ගුලිවෙලා ඉන්න තමන්ගෙ සහෝදර සහෝදරියන් නම් නෙමෙයි. 

ඒ වෙනුවට නිවසින් පිටත් වෙන වෙලාවක් හෝ නැවත නිවසට පැමිණෙන වෙලාවක් දන්නෙ නැති, දැනුවත් කරන්නෙ නැති, ඔවුන්ට ආවේණික විනෝදාංශ වල නිරත වුණු දැඩි ලෙස මිතුරන් ආශ්‍රයට ඇබ්බැහි වුණ තමන්ගෙ සහෝදර සහෝදරියො දැක්කම ජෙසිකාට ඇතිවුනේ ලොකු දුකක් සහ කලකිරීමක් විතරයි. 

ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳ තවදුරටත් ඉගෙන ගන්න ආස කරපු ජෙසිකා ඒ සඳහා billy blue college of design ආයතනයට ඇතුළත් වුණා වගේම ටිකෙන් ටික තමන්ගෙ පාලුව සහ තනිකම නැති කරගන්න අලුත් යහළුවො අඳුරගන්නත් පෙළඹුනා. 

යහළුවො අතරේ ඉතාම ජනප්‍රිය චරිතයක් වුන ජෙසිකා ඕනෑම කෙනෙක්ගෙ මූණකට හිනාවක් ගේන්න පුළුවන් හරිම විනෝදකාමී සහ සමාජශීලි චරිතයක් විදිහටයි විශ්ව විද්‍යාලයේ සිසුන් අතරේ ප්‍රසිද්ධියට පත්වෙලා හිටියෙ. 

මියානා සහ හනී

මේ අතරේ ජෙසිකාට තමන් වගේම ඉන්දුනීසියාවේ ජකර්තා නුවරින් උසස් අධ්‍යාපනය හදාරන්න ඕස්ට්‍රේලියාවට ඇවිල්ල හිටපු මියානා සලීහින් මුණ ගැහුණා. 

මියානා කියන්නෙත් වොග්න්සෝ පවුල වගේම ඉතාම ධනවත් ව්‍යාපාරික පවුලක නිවුන් දියණියන් අතරින් කෙනෙක්. 

ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වුන එඩී සලීහිම් මියානගෙ පියයි. 

දිගු කාලයක පටන් ඇය ඇසුරු කරපු ඇගේ පෙම්වතා අයිෆ් ඒ වන විටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිය උසස් අධ්‍යාපන කටයුතු හදාරමිනුයි හිටියෙ. 

එක හා සමාන පවුල් පසුබිම නිසා ඉතාම ඉක්මණින් හොඳම මිතුරියන් බවට පත්වුණත් මියානා සහ ජෙසිකාට තිබුනේ එක හා සමාන චරිත ලක්ෂණ නම් නෙමෙයි. 

මියාන කියන්නෙ තමන්ගෙ පාඩුවේ ඉතාම නිශ්ශබ්ද සහ නිස්කලංක ජීවිතයක් ගත කරපු සමාජශීලි නොවුනු චරිතයක්. හැමවෙලේම තමන්ගෙ පුද්ගලිකත්වය අගය කරපු මියානා මිතුරු හමු, සාද සහ උත්සව වල වැඩිපුර දකින්න ලැබුනෙත් නැහැ. 

ජෙසිකා සහ මියානාගෙ පොදු මිතුරියක් වුන හනීත් ඉන්දුනීසියාවෙන් ඕස්ට්‍රේලියාවට සිය උසස් අධ්‍යාපනය හදාරන්න ආව තවත් සිසුවියක්.

ඒ කොහොම වුනත් එකිනෙකාව හොඳින් තේරුම් ගැනීම සහ එකිනෙකාගේ කැමැත්තට ගරු කිරීම නිසා ඔවුන් අතරේ තිබ්බ වෙනස් චරිත ලක්ෂණ ඔවුන්ගෙ මිත්‍රත්වයට කිසිදු බාධාවක් ඇතිකලේ නෑ. 

මේ විදිහට සිය අධ්‍යාපන කටයුතු නිමකරපු මිතුරියන්ට උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සෙ එකිනෙකාගෙන් වෙන් වෙන්න සිදුවුනේ මියානා සහ අයිෆ් නැවත ඉන්දුනීසියාවට යන්න තීරණය කරපු නිසයි. 

මිත්‍රත්වය බිඳ දැමූ නිවාඩුව

ඉන්දුනීසියාවට ගිහින් ටික කාලෙකට පස්සෙ 2015 ජූනි මාසේ ඕස්ට්‍රේලියාවේ නිවාඩුවක් ගත කරන්න මියානා තීරණය කරේ ඕස්ට්‍රේලියාවේ සුන්දර මුහුදු තීරයන් නැරඹීමේ දැඩි ආශාව නිසාමයි. ඒ අතරේ තමන්ගේ මිතුරියන් හමුවෙන්නත් මියානාට තිබුණේ ලොකු උවමනාවක් සහ කැමැත්තක්. 

මේ වෙද්දි ඔවුන්ගේ උපාධි ප්‍රදානෝත්සය අවසන් වෙලා වසර 04 ක් නික්ම ගිහිල්ලයි තිබුණේ. තමන්ගේ මිතුරියන් මුණ ගැසීමේ දැඩි ආශාවකින් හිටිය මියානා නොදන්න සිද්ධීන් රාශියක් මේ වෙද්දී ජෙසිකාගෙ ජීවිතේ සිදුවෙමින් තිබුණා.

ඕස්ට්‍රේලියාවට පැමිණි මියානා රාත්‍රී ආහාර වේලක් සඳහා ජෙසිකාට ආරාධනා කල අතර ඔවුන් එකිනෙකා මුණ ගැසුනු පසු ඉතාම ආදරණීය ලෙස එකිනෙකාව වැළඳගත් මිතුරියන් ටිකෙන් ටික තමන්ගෙ තොරතුරු එකිනෙකා සමඟ බෙදාගන්න පටන් ගත්තා.  

මීට ටික දවසකට කලින් තමන් සහ අයිෆ් විවාහ ගිවිසගත් බවත් තව මාස කීපයකින් පැවැත්වීමට නියමිත ඔවුන්ගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් ඔවුන් සූදානම් වෙන බවත් මියානා පැවසූයේ දැඩි සතුටකින්. 

මියානා තමන්ගෙ පෙම්වතා එක්ක ඉන්දුනීසියාවට වෙලා ඉතාම සාර්ථක සහ ආදරණීය  ජීවිතයක් ගත කරමින් හිටියත් ජෙසිකා හිටියේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙමිනුයි. 

ජෙසිකා තමන්ගෙ පෙම්වතා වුනා පැට්‍රික් සමඟ එකට වාසය කරන්න පටන් අරන් තිබුණත් ඔහු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පානය කරන්නත් ඒවායේ බලපෑම මත ජෙසිකාට හිංසා පීඩා කරන්නත් පටන් අරන් තිබූ බවයි ජෙසිකා මියානාට සඳහන් කරේ.

ඒ නිසා තමන් දැඩි මානසික පීඩාවකට මුහුණ දෙන බවත් ජෙසිකා මියානාට පැවසූවා. 

මේ ප්‍රවෘත්තිය නිසා දැඩි ලෙස තැතිගැන්මකට ලක්වුනු මියානා තමන්ගෙ මිතුරිය ගැන අවංක සිතින්ම කණගාටුව ප්‍රකාශ කරා. 

කිසිවෙක්ට ඇයට හානියක් කිරීමේ අයිතියක් නැතිබව ඍජුවම ප්‍රකාශ කරපු මියානා ජෙසිකාට පැවසූයේ ඇයට වටිනාකමක් නොදෙන, ගරු නොකරන සහ රිදවන කෙනෙක් සමඟ තවදුරටත් රැඳී සිටීමෙන් ඇයට කිසිදු යහපත් ප්‍රතිඵලයක් නොලැබෙන බවත් තමන්ගේ මානසික සුවය වෙනුවෙන් හැකි ඉක්මණින් පැට්‍රික් අතහැර අලුත් ජීවිතයක් ආරම්භ කිරීම වඩා යහපත් බවයි. 

නමුත්, මේ ප්‍රකාශයට පිළිතුර ලෙස මියානාට ලැබුනේ ඇය කිසි දිනක අපේක්ෂා කරපු හැසිරීමක් නම් නෙමෙයි. 

මියානගෙ ප්‍රකාශයෙන් පස්සෙ වචනයක්වත් කතා නොකර ඇය දෙස එක එල්ලේ බලා සිටි ජෙසිකා එක්වරම සිය අසුනින් නැගිට හෝටලයෙන් පිටත් වුනේ මියානාව දැඩි අපහසුතාවයකට සහ දැඩි තැතිගැන්මකට ලක්කරමිනුයි. 

මේ රාත්‍රී හෝජන සංග්‍රහය නිමාවෙද්දී ඔවුන් අතර තිබුනු දැඩි මිත්‍රත්වයත් නිමාවී තිබුනේ එලෙසිනුයි. 

සිදුවූ දේ පිළිබඳ අයිෆ්ව දැනුවත් කරපු මියානා දැඩි කලකිරීමෙන් ජෙසී සමඟ තිබූ මිතුදම නිමකරන්නත් නැවත ඇයත් සමඟ කතාබහ නොකරන්නත් තීරණය කරා. 

මියානාගේ විවාහය

මේ සිදුවීමෙන් පස්සේ නැවත ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය මියානා ඊට මාස කීපයකට පස්සේ ඉතා අලංකාර විවාහ මංගල්‍ය උත්සවයකින් තමන්ගෙ දීර්ඝකාලීන පෙම්වතා වුන අයිෆ්ව විවාහ කර ගැනීමේ භාග්‍ය හිමිකර ගත්තා.

ඉතාම සුන්දර මනාලියක් ලෙස හැඩගැන්වුණු මියානා පුරුදු නිස්කලංක සහ අලංකාර සිනාවෙන් අමුත්තන් පිළිඟන්න අමතක කරේ නෑ.

විවාහයට ඇගේ සියළුම මිතුරියන්ට ආරාධනා කලත් ජෙසිකාට ආරාධනා නොකරන්න මියානා තීරණය කරේ අවසන් වරට ඔවුන්ගේ හමුවීම යහපත් අයුරින් නිමවූයේ නැති නිසත් තමන්ව එලෙස අපහසුතාවයට ලක් කිරීම නිසා ජෙසිකා ගැන ඇගේ තිබූ නොපැහැදීමත් නිසයි. 

ජෙසිකාගේ වියවුල

තමන්ගෙ සුන්දර විවාහා මංගල්‍යයෙන් පස්සේ මියානා ඉතාම සතුටින් ඉන්දුනීසියාවේ ජීවත් වුනත් ඕස්ට්‍රේලියාවේ සිටි ජෙසිකාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත්වී තිබුණා. 

මියානා ගේ විවාහයෙන් මාසයකට පමණ පසු එක් රාත්‍රියක බීමතින් සිටි ජෙසිකා පැදවූ මෝටර් රථය ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි නිවාසකට කඩා වැදුණේ ජීවිත හානි කිසිවක් සිදුනොවුනත් ජෙසිකාගේ මෝටර් රථයට සහ වැඩිහිටි නිවාසයට දැඩි අලාභහානී කරමිනුයි. 

ජෙසිකා මියානාට පවසා තිබූ කතාව කොහොම වුනත් මේ සිදුවීමෙන් පස්සෙ ජෙසිකා ගැන විමර්ෂණය කරපු ඕස්ට්‍රේලියානු බලධාරීන්ට දැනගන්න ලැබුනේ ජෙසිකා තමන්ට දැඩි මානසික හිංසන කරන බවත් ඒ නිසා ඇතිවූ පීඩාව ඉවසාගත නොහැකිව තමා ඇයව අතහැර දැමීමට තීරණය කර පසු ඇය තමාටත් තමාගේ පවුලේ උදවියටත් මරණ තර්ජන කර ඇති බව ජෙසිකාගේ පෙම්වතා වූ පැට්‍රික් පොලීසියට දැනටමත් පැමිණිලි කර ඇති බවයි. 

මේ නිසාම ජෙසිකාට තමා මුණ ගැසීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝග පවා ලබාගන්න පැට්‍රික් කටයුතු කර තිබුණා. 

බීමත්කම සහ අධික කේන්තිය නිසා තම රැකියා ස්ථානයේදී නිරන්තරයෙන් ගැටුම් ඇති කරගත් ජෙසිකා අවසානයේ තමන්ගේ කළමණාකරුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පවා මරණ තර්ජන කර ඇති නිසා ඇයව රැකියාවෙන් ඉවත් කරන්නත් ඔවුන් මේ වෙද්දි කටයුතු කරලයි තිබුණේ. 

මේ විදිහට තමන්ගෙ ජීවිතේ අවුලෙන් අවුලට පත්වෙද්දි නැවත ඉන්දුනීසියාවට යන්න ජෙසිකා තීරණය කරා වගේම එය ඇගේ ජීවිතයට අලුත් ආරම්භයක් ගෙන දේවී කියල ඇගේ සමීපතමයන් බොහෝ දෙනෙක් විශ්වාස කළා. 

අලුත් වූ මිතුදම

ඉන්දුනීසියාවට ගිය ජෙසිකා නැවත පරණ පුරුදු යාළුකම් අලුත් කර ගැනීමේ අරමුණු ඇතුව ඒ වෙද්දිත් ඉන්දුනීසියාවේ ජීවත් වුණ මියානාව සහ හනීව ඇතුළත් කරපු වට්සැප් සමූහයක් නිර්මාණය කළා.

මුලින්ම ජෙසිකාගෙ කිසිදු පණිවිඩේකට ප්‍රතිචාර දක්වන්න මියානා කටයුතු කලේ නැතත් ජෙසිකා සිදුවූ දේ පිළිබඳ ඇගෙන් සමාව අයදින්නත්, හනී ජෙසිකාට සමාව දෙන ලෙස ඇගෙන් කල ඉල්ලීම් නිසාත් කෙටියෙන් ඇගේ පණිවිඩ වලට පිළිතුරු දෙන්න මියානත් තීරණය කළා. 

කෝපි බොමුද?

මේ අතරේ එක දවසක් වට්සැප් සමූහයට පණිවිඩයක් යොමුකරපු ජෙසිකා පරණ පුරුදු යාළුකම් අළුත් කරගන්න නැවත මුණගැසෙමුයි කියන යෝජනාව ඉදිරිපත් කරා. මේ සඳහා ජකර්තා නුවර අති සුඛෝපභෝගී හෝටලයක් තෝරගත්ත ජෙසිකා, හනීගෙන් සහ මියානාගෙන් විමසූයේ ඔවුන් බොන්න කැමති මොනවද කියලයි. 

හනී කොක්ටේල් බොන්න තමන් ප්‍රිය කරන බවත් මියානා තමන්ට අයිස් කෝපි පමණක් ප්‍රමාණවත් බව සහ පැමිණියාවට පසු එය ඇණවුම් කරන්න කැමති බවත් සඳහන් කළා. කොහොම වුනත් 2016 ජනවාරි 06 වෙනිදා හවස 5 ට ඔවුන් මුණගැසීමට එකඟතාවයක් ඇති කරගෙනයි තිබුණේ. 

සිදුවූයේ කුමක්ද?

2016 ජනවාරී 06 වෙනිදා සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලිව අවබෝධ කරගන්න විමර්ෂණ නිළධාරීන්ට හෝටලයේ කැමරා පරීක්ෂා කරන්නත්, සේවකයන්ගෙන් සාක්ෂි ලබාගන්නත්, හනීගෙන් විමසන්නත් සිදුවුනා. ඒ සියල්ලම පදනම් කරගනිමින් එදා සිදුවීම ගැන ඒ ගැන විමර්ෂණය කරන නිළධාරීන් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කරා. 

මුණගැසීමට අපේක්ෂිත වෙලාව වූ පස්වරු 05 ට විනාඩි 45 කට කලින් පස්වරු 4.15 ට හෝටලයට පැමිණි ජෙසිකා ඉතාම විමසිල්ලෙන් සියළුම මේස දෙසත් කැමරා දෙසත් සිය අවධානය යොමු කරමින් විනාඩි 10 ක් පමණ ගත කර අවසානයේ බිත්ති කැමරා වලට ආවරණය වන සේ පැලෑටි වාවා තිබූ බිත්තියක් ලඟ තිබූ මේසයක් තෝරාගත් බව කැමරා නීරික්ෂණය කිරීමේදී පෙනි ගියා. 

එය ඔවුන් වෙනුවෙන් වෙන්කර තබන ලෙස හෝටල් කාර්‍යමණ්ඩලයට පවසා ඉන් පිටත්ව ගිය ජෙසිකා ප්ලාස්ටික් මළු තුනක් රැගෙන නැවත හෝටලයට පැමිණ තිබුණා. 

ඇය පිටත්ව යන විට ඇණවුම් කර තිබූ කොක්ටේල් වීදුරු දෙක සහ අයිස් කෝපි වීදුරුව ඇය නැවත පැමිණි පසු සේවකයෙක් ඇයට පිළිගැන්වූ අතර ඒ වීදුරු ආවරණය වන ලෙස ඒවාට ඉදිරියෙන් තමා රැගෙන ආ ප්ලාස්ටික් මළු තුන තබන්න ජෙසිකා කටයුතු කරා. එලෙස, වීදුරු කැමරා වලින් සඟවන්න ඇයට හැකියාව ලැබුණා.

ඉන් අනතුරුව ඇය සිය බෑගයෙන් ගත් යමක් අයිස් කෝපි තිබූ වීදුරුවට දමා සිය ඇඟිල්ලෙන් එය කලවම් කරන බවත් කැමරා වල සනිටුහන් වුණා.

මේ සියල්ලම කර සිය මිතුරියන් එනතුරු ඇය සිය නිස්කලංකව ජංගම දුරකථනය දෙස බලමින් කාලය ගත කරා. 

මුණගැසීමට පොරොන්දු වූ වේලාවට විනාඩි 15 ක් පමණ පසු හනී සහ මියානා හෝටලයට පැමිණෙන අයුරුත් ජෙසිකා හමුවේ මියානා අපහසුවෙන් සිටින බවත් කැමරාවල දකින්න ලැබුණා. 

ජෙසිකාගේ දැඩි ඉල්ලීම මත හනී සහ ජෙසිකාට මැදින් අසුන්ගත් මියානා සිටියේ දැඩි අපහසුවෙන් බව හනී ද පිළිඟත් අතර ඊට ඉතා සුළු වේලාවකට පසු තමන් ඇණවුම් කළ බීම වර්ග පානය කරන ලෙස ජෙසිකා ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් හනී සඳහන් කළා. 

බීම බටයෙන් එක්වරක් පමණක් සිය අයිස් කෝපි වීදුරුවෙන් ඉතා සුළු ප්‍රමාණයක් පානය කළ හනී දැවිල්ලක් ඇතිවූ ලෙස සිය අතින් කටට පවන් ගසන ගමන්ම තමන්ට යම් අපහසුතාවයක් ඇතිවූ බව ප්‍රකාශ කළ සිටියා. 

තත්පරයක දෙකක කෙටි කාලයකින් පසු ඇගේ බෙල්ල කඩා වැටී කටින් සෙම වැනි යමක් පිටවීමත්, ඇය නිශ්චල වීමත් සිදුවුණා. 

හෝටල් පරිපාලකයන් විසින් කල ඉක්මන් දැනුම්දීමකින් පැමිණි ගිලන් රථයකින් ඇයව වහාම රෝහල් ගත කර අතර හනී විසින් කල දැනුම් දීමකින් පසු ඉතා ඉක්මණින් අයිෆ් ද රෝහලට පැමිණියා. 

වෛද්‍යවරුන්ගේ දැඩි උත්සහය අපතේ යවමින් අයිෆ් රෝහලට පැමිණෙන විටත් ඉතා ඛේදජනක අයුරින් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සුන්දර යුවතියක් වූ මියානා මෙලොව හැරගොස් සිටියා. 

ජෙසිකා කළ අපරාධය

මියානාගේ සිහිසුන් වීම සමඟ හෝටල් කාර්‍යමණ්ඩලය සහ හනී දැඩි කලබලයෙන් ඇයට ප්‍රතිකාර ලබාදෙන්න උත්සහ කරද්දි පසෙකට වී සිය සායේ දෑත් පිසිමින් කිසිදු කලබලයක් නොකර කිසිදු හැඟීමකින් තොරව බලා සිටින ජෙසිකාව කැමරාවල පැහැදිලිව සටහන් වී තිබුණා. 

ඒ අතරම හෝටල් කළමණාකරුගේ එක් විශිෂ්ඨ කාර්‍යක් නිසා පොලීසියට සිය විමර්ෂණ පහසුවෙන් කිරීමේ හැකියාවත් ලැබුණා. 

මියානා සිහිසුන් වීමත් සමඟ එතනට පැමිණි හෝටල් කළමණාකරුගෙන් ජෙසිකා විමසා තිබුණේ “මොනවද ඔයාල බීම එකට දැම්මේ?” කියලයි. 

සිදුවූ කලබලයත් සමඟ වුනත් මේ ප්‍රකාශයේ කිසියම් අමුත්තක් ඇතිබව ක්ෂණිකව අවබෝධ කරගත් කළමණාකරු වහාම මියානා පානය කල කෝපි වීදුරුව ඉවත් කරන ලෙසත් එය සීල් කර තබන ලෙසත් සිය කාර්‍යමණ්ඩලයට දන්වන්න කටයුතු කර තිබුණා. 

හැකි ඉක්මණින් එය පොලිස් භාරයට ලබාදෙන්නත් ඔහු කටයුතු කලේ ඉතාම බුද්ධිමත් අයුරිනුයි. 

කෙසේ නමුත් අවසානයේ මියාගේ උදරයේ සහ අයිස් කෝපි වීදුරුවේ පුද්ගලයෙක් මරණයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් සයනයිඩ් විෂ අන්තර්ගත බව විමර්ෂණ නිළධාරීන් අධිකරණයට කරුණු දැක්වූ අතර ඒ අනුව ජෙසිකා අත්අඩංගුවට ගන්න ඔවුන් කටයුතු කරා.  

කැමරාවල සටහන් වී තිබූ පරිදි ඇය සිය සායෙ පිසිමින් අත කැසුවේ සයනයිඩ් අතේ ස්පර්ශ වී දැවිල්ල ඇතිවී තිබීම නිසා විය හැකියැයි විමර්ෂණ නිළධාරීන් සැක පළකරා. 

නඩු විභාගයේදී ඕස්ට්‍රේලියාව සතු ජෙසිකාගේ අපරාධ වාර්තා ලබාගන්න විමර්ෂණ නිළධාරීන්ට හැකියාව ලැබුනේ මේ සිදුවීමට ජෙසිකා වරදකරු වුවත් ඇයට මරණ දඬුවම ලබා නොදෙන බව ඉන්දුනීසියානු රජය සහ ඕස්ට්‍රේලියානු රජය ඇතිකරගත් ගිවිසුමකින් පසුවයි. 

ඒ ඇය ඒ වන විට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා තිබුණු නිසයි. 

ඒ වාර්තා වල ඇය සතුව නිරන්තරයෙන් පැවති මරණීය චේතනා ගැන ඕනෑතරම් සාක්ෂි සටහන්ව තිබුණා. 

සිය දෙමාපියන්ගේ අසීමිත මුදල් කන්දරාවේ සැඟවෙමින් සිනාමුසුව මල්වත්තක ඇවිද යනවා සේ නඩු විභාගයට පෙනී සිටීමට අධිකරණයට යන එන ජෙසිකාට එරට මාධ්‍ය සහ ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. 

ඉන්දුනීසියාවේ ඉහළම සහ දක්ෂතම නීතිඥයන් 15 ක් පමණ ඇය වෙනුවෙන් පෙනී සිටියා. 

නමුත් අවසානයේ පැමිණිල්ලේ නීතිඥයන් සහ විමර්ෂණ නිළධාරීන්ගේ අපක්ෂපාතී, පැහැදිලි සහ ඍජු කරුණු දැක්වීම නිසා සිය මිතුරිය මියානා සලිහීම් ඝාතනයට ජෙසිකා වොන්ග්සෝ වරදකරු බව ඉන්දුනීසියානු අධිකරණය විසින් තීරණය කරනු ලැබූවා. 

ඕස්ට්‍රේලියානු රජය සමඟ ඇතිකරගත් ගිවිසුම නිසා ඇයට මරණ දණ්ඩණය ලබාදීමේ හැකියාවක් ඉන්දුනීසියානු අධිකරණයට හිමිවුනේ නෑ. 

ඒ වෙනුවට ඇයට වසර 20 ක සිරදඬුවමක් නියම වුණා. 

මාස දෙකකට පෙර සුන්දර මනාලියක් ලෙස සිය නෑදෑ හිත මිතුරන් සමඟ සතුටින් කාලය ගෙවූ මියානා මිත්‍රත්වයට නැවත අවස්ථාවක් දීමට තීරණය කිරීමේ ප්‍රථිපලයක් ලෙස අයිෆ් සමඟ ගොඩනැගූ සියළු සිහින දවා අළුකරමින් සිය ජීවන ගමන ඛේදජනක ලෙස නිමාකරේ එලෙසිනුයි. 

මියානා ගත කල ආදරණීය ජීවිතය ගැන ඊර්ෂ්‍යාවකින්, ඇය සිය විවාහයට තමාට ආරාධනා නොකිරීම ගැන තරහකින් ජෙසිකා මේ අපරාධය කල බවයි බොහෝ දෙනෙක්ගේ අදහස.

ඔබ මොකද හිතන්නෙ? 

ජෙසිකා එහෙම කලේ ඇයි?

සටහන – දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here