Google search engine
Home ගොසිප් පුවත් සුපර් ක්‍රොස් අනතුරට හේතුව නොසැලකිල්ලයි – වාර්තාවක්

සුපර් ක්‍රොස් අනතුරට හේතුව නොසැලකිල්ලයි – වාර්තාවක්

0
4

foxhill-accident-update

 නරියා කන්ද සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී පුද්ගලයන් 7 දෙනකුට ජීවිත අහිමි කරමින් තවත් පුද්ගලයන් 21 දෙනකු අනතුරට ලක්කළ මාරක අනතුරට හේතුව තරගාවලි අධ්‍යක්ෂවරයාගේ සහ සෙසු ප්‍රධාන නිලධාරීන්ගේ නොසැලකිල්ල, ප්‍රමාදය සහ අදක්ෂ බව යැයි මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ නිරත වන සියලුම ක්‍රීඩකයන් නියෝජනය කරන ශ්‍රී ලංකා රේසිං ධාවකයන්ගේ සංගමය කියයි.

සභාපති ටිරොන් හෙන්දවිතාරණ මහතාගේ සහ ලේකම් නයිජල් ගයාන් පෙරේරා මහතාගේ යුත් මාධ්‍ය අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ  බව කියා සිටින අතර මියගිය  පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහ අනතුරට පත්වූවන් කෙරෙහි සියලුම මෝටර් රථ ධාවකයන් බලවත් ශෝකය පළ කර සිටින බවද නිවේදනයේ සඳහන් වේ.

මින් පෙර පැවැති නරියා කන්ද තරගාවලීන්ට සාපේක්ෂව මෙවර තරගාවලියේදී අනතුරු වැඩි ප්‍රමාණයක් සිදු වූ බවත්, ඇතැම් අවස්ථාවල මෝටර් රථ පෙරළී තිබියදී පවා රතු කොඩිය භාවිත කර තරගය නැවැත්වීමට සංවිධායකයන් පියවර නොගත් බවත් රේසිංධාවකයන්ගේ සංගමය පවසයි.ක්‍රම ක්‍රමයෙන් ධාවන පථයේ දූවිලි ඇවිස්සෙන ප්‍රමාණය වැඩි වන විට ක්‍රීඩකයන් සහ ඇතැම් නිලධාරීන් කෙතරම් ඉල්ලීම් කළද, තරගාවලි අධ්‍යක්ෂවරයා සහ සෙසු නිලධාරීන් ධාවන පථයට ප්‍රමාණවත් ලෙස ජලය නොදීමට තීරණය කර ඇතැයිද මෙම නිවේදනය ඔස්සේ රේසිං ධාවකයන්ගේ සංගමය චෝදනා නගයි.

සාමාන්‍යයෙන් නරියා කන්ද සහ අනෙකුත් ධාවන පථවල සෑම ඉසව් 3 කට වරක්වත් ජලය දැමීම සිදු කෙරෙන නමුත් කොතෙක් ඉල්ලීම් කළද මෙම තරගාවලියේදී ධාවන පථයට අවශ්‍ය ප්‍රමාණයට  ජලය නොදැමීම මාරක අනතුරට ප්‍රධාන හේතුවක් වූ බවද නිවේදනයේ සඳහන් වේ. එක පිට එක අනතුරු සිදුවන විටත් රතු කොඩි දමා තරගය නැවැත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් තරගාවලි අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු ප්‍රධාන නිලධාරීන්, ආරක්ෂිත ස්ථානවල සිට ක්‍රීඩකයන්ට උපදෙස් දිය යුතු තරග මෙහෙයුම් නිලධාරින් ධාවන පථය දෙපස අපරික්ෂාකාරී ලෙස ස්ථානගත කිරීමට කටයුතු කර ඇතැයිද රේසිං ධාවකයන්ගේ සංගමය නිවේදනය ඔස්සේ කරුණු ගොනු කරයි.

මෙම අනතුරුවලදී ඇතැම් තරග මෙහෙයුම් නිලධාරීන් ගුවන්විදුලි සන්නිවේදන ඔස්සේ රතු කොඩියක් ඉල්ලා ඇති නමුත් තරග පාලනය කරන ප්‍රධාන නිලධාරීන් රතු කොඩි දැමීම ප්‍රතික්ෂේප කර කහ කොඩිය යටතේ දිගටම එම තරග පවත්වන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇතැයි නිවේදනයෙන් කියැවේ.ඊට හේතු වී ඇත්තේ ප්‍රේක්ෂකයන්ගේ, ක්‍රීඩකයන්ගේ සහ තරග මෙහෙයුම් නිලධාරීන්ගේ ආරක්ෂාවට වඩා තරග කාලසටහන පිළිබඳව සංවිධායකයන් අවධානය යොමු කිරීම බවද, තරගාවලිය මෙහෙයවීම සඳහා පත් කරන ලද ප්‍රධාන නිලධාරීන්ට මෙතරම් විශාල තරගාවලියක් පැවැත්වීම සඳහා අවශ්‍ය අවශ්‍ය පළපුරුද්ද සහ ප්‍රවීණත්වය නොතිබුණ බවද රේසිං ධාවකයන්ගේ සංගමය අවධාරණය කරයි.

තරගාවලිය පැවැත්වූආකාරය දෙස බැලීමේදී සංවිධායකයන් නියමිත වේලාවට තීරණ ගැනීමට අපොහොසත් වීමෙන් ඔවුන්ගේ විෂය දැනුම හා අත්දැකීම් නොමැතිකම මනාවට පෙන්නුම් කරන බව කියන රේසිං ධාවකයන්ගේ සංගමය, මෙම අනතුර සම්බන්ධයෙන් පූර්ණ වගකීම තරග සංවිධායකයන් භාරගත යුතු බවද වැඩි දුරටත් කියා සිටියි.
 ශානුක අරවින්ද

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here