ජීවිතය යනු සිහිනයක් ද? – is life a dream – Sri News

0
9

දවස තිස්සේම නැහිලා නැහිලා; නිදා ගන්න ඇඳට වැටුණාම දැනෙන පරම හැඟීම වචනයෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නොවෙයි. නමුත් නින්ද ගියාට පස්සේත් ඔබේ දවස හොඳ එකක්ව තිබුණේ නැත්නම් හෝ කාර්යබහුල එකක් වුණානම් හීනෙනුත් ඒ වැඩ ටිකම කරමින් කාලය ගත කරන්නට ඔබට සිදුවෙලා ඇති. දවස හොඳින් ගෙවිලා ඔබේ සිත නිරවුල්ව තිබුණා නම් අනිවාර්යයෙන් ම හොඳට නින්ද ගිහින්, නින්දේ අතරමැද කාලයකදී යහපත් සිහින දකිමින් කාලය ගත කරන්නට ඇති. එ් කෙසේ නමුත් සිහිනය දකින අවස්ථාවලදී අපිට මේ දකින්නේ ස්වප්නයකැයි සිතෙන්නේ ම නැති තරම්. අපි ඒ වෙලාවේ දකින මිනිස්සු ඇත්තම අය. කතා කරන්නේ අපි එවේලේ ම හිතලා. අතින් අල්ලා ගත්තාම ඒ දේවල් ඇත්තටම දැනෙන නිසා මේක බොරුවක් කියලා හිතෙන්නේ නැහැ.

බඩගින්නේ ඉඳලා නිදාගත්තා නම් කෑම වර්ගවල රස, සුවඳ වුණත් හොඳින්ම දැනෙනවා. ඉතින් මෙහෙම ගෙවෙන සුන්දර සිහිනයකින් ඇහැරුණාම සමහර විට දරාගන්න බැරි දුකක් දැනෙන්නත් ඇති. ඔබ කැමති හැමදේම ලබා ගත්තාට පස්සේ එකවරම අවදිවුණාම ඒ සේරම දේවල් නැති වෙලා යළිත් මේ දුක්බර ජීවිතයටම වැටුණාම එහෙම දැනෙන එක පුදුමයක් නෙවෙයි. නමුත් මේ ජීවිතය ගත කරද්දීත් අපට එය සැබෑවක්ම ලෙස වැටහෙනවා. එවිට මරණය යනු මේ සිහිනයේ පිබිදීම නම්, අපිට නැවතත් අවධි වන්නට සිදුවන්නේ තවත් කුමන ආකාරයේ ‘ජීවිතය’කටද? එහෙමත් නැත්නම් එය ඊටත් ඉහළින් ඇති ජීවිතයක සිහිනයක් විය හැකි ද?

 

https://www.youtube.com/watch?v=McpL_rzlbl0

සිහිනයක් කියා කියන්නේ සරලවම අපි නින්දට ගියාට පස්සේ මනසේ ගොඩනැගෙන රූප පෙළහරක්. මෙය වීඩියෝ එකක් යැයි නොකියා රූප පෙළහරක් කියා හැඳින්වූයේ සැබැවින්ම වීඩියෝ හෝ චලන රූප කියා දෙයක් මෙලොව නැහැ. අප නොදැනුවත්ව මෙලොව තිබුණත් අපේ ශරීරයේ සැකැස්ම අනුව වරකට අපට දැකිය හැක්කේ එක් ඡායාරූපයක් විතරයි. හැබැයි ඉතාමත් වේගයෙන් මේ ඇස නමැති කැමරාවට බාහිරින් ඉතා වේගයෙන් ඡායාරූප ලැබෙද්දී ඒ එකින් එක මොළය විසින් විශ්ලේෂණය කරලා එකට ආඳලා මේ සියල්ල වේගයෙන් සිදුවන චිත්‍රපටයකැයි අපිට දන්වනවා. අපිත් ඉතින් ඒකට රැවටිලා මේ ලෝකය නමැති චිත්‍රපටය දෙස බලාගෙන ඉන්නවා. හැබැයි ඒක පිටුපස ඉන්න මොළය නමැති අධ්‍යක්ෂකවරයා අපිට අමතක වෙනවා. ඇත්තටම මොළයට අවශ්‍ය වෙන්නේත් මේ හැම එකක් පිටුපසම ඔහු සිටින බව අපට අමතක කරලන්නටයි. එවිට තමයි චිත්‍රපටය රසවත් වෙන්නේ.

ඔබ ලැප්ටොප් එකේ හෝ සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලන අතරතුරේ මේකේ පිටුපස අධ්‍යක්ෂකවරයෙක්, වේෂ නිරූපණ ශිල්පීන්, තමන්ගේ ජීවිතයෙන් වෙනස්ම චරිතයක් කුඩා කාලයකට කථාව වෙනුවෙන් ඇඟට ආරෝපණය කරගත් නළුවන් ලෙස චිත්‍රපටය කුඩා කුඩා කොටස්වලට කඩා අසංතතිකව බැලුවොත් ඔබට චිත්‍රපටය බැලීම සුළු වෙලාවකින්ම එපාවී යාවි. ඉතින් රස පවත්වාගන්නට නම් පසුපස කතාව අමතක කරලන්නට ම සිදු වෙනවා. එසේම ප්‍රායෝගිකව මෙය අත්හදා බලන්නට කැමති නම් වේගයෙන් යන වාහනයක සිට පිටත බලා සිටින කෙනෙක්ගේ දෑසේ චලනය දෙස බලාගෙන හිඳින්න. අපේ ඇසට එක් වරකට අවධානය යොමු කළ හැක්කේ එක් දෙයක් දිහා පමණක් නිසා වාහනය වේගයෙන් යද්දී පිටත බැලුවාම වාහනය ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට බලා සිටින්නකුගේ ඇස චලනය වෙනවා, නැවතත් මැදට පැමිණෙනවා. මේ ආකාරයෙන් තමයි ඉදිරියට යන බව අපි දැනගන්නේ. බලෙන්ම ඇස එක් තැනක තියාගෙන හිටියොත් බාහිර පරිසරය ටික වෙලාවකින් බොඳවී යනවා.

 

ඕස්ට්‍රියානු නියුරෝන විශේෂඥයෙකු සහ මනෝවිශ්ලේෂණයේ පියා වන සිග්මන් ෆ්‍රොයිඩ් අර්ථ දක්වන ආකාරයට සිහින යනු අපේ භවාංගගත සිතෙහි, එහෙමත් නැත්නම් නිශ්චලව පවතින යටි සිතේ ප්‍රතිමූර්තියක්. ඔහු පවසන ආකාරයට සිහිනයක් හරහා කිසියම් පුද්ගලයෙක් සිහි මඳව සිටින විට ඔහුට කිරීමට සිතෙන දේවල්, අදහස් සහ ඊට ඇති උනන්දුව පිළිබිඹු වෙනවා. සෑම පුද්ගලයකු සතුවම දඟකාර කුඩා දරුවෙකු සිටිනවා. ගතින් වැඩිවිය එද්දීම සමාජයට අවශ්‍ය ලෙස සංස්කෘතිය, නීති රීති, සාරධර්ම ආදී වැට කඩුළු බැඳලා අපි ඒ දරුවාව පාලනය කර ගනිමින් වගකීම් සහිත පුද්ගලයකු බවට පත්වූවත් යටි සිතට හැමවිටම ඕනෑ ඒ වැට කඩුළු බිඳදාලා (සමාජ දෘෂ්ඨිකෝණය, මිණුම් දණ්ඩ අනුව) අයුතු යැයි සැලකෙන දෙයක් කිරීමටයි. එනමුත් කෙනෙක්ගේ සිහින අපිට කියවන්නට, දැකගන්නට තරම් තාක්ෂණය තවමත් දියුණුවී නැති නිසා එය දැනගන්නට විධියක් නැහැ. ඉතින් ඔවුන්ගේ අධික කෝපය, අධික රාගය මතුවුණාම වගේම මත්පැන් පානය කළාම අපිට බාහිර වශයෙන් ඔවුන් තුළ සිටින මෘගයා දැකගන්නට අවස්ථාව ලැබෙනවා. එවන් අවස්ථා වලදී ඔවුන් නිදැල්ලේ කටයුතු කරන නිසා තමයි අවසානයේ බාහිරින් සිටින ශරීරයට පොලිස් කූඩුවක සිරවන්නට සිදු වන්නේ. මෙය ඔබටම දැනුණු අවස්ථාවන් ඕනෑතරම් ඇති. සිහිනයකින් පිබිදිලා ඒ දැකපු දේවල් ගැන කල්පනා කරගෙන යද්දී දෙවියනේ මට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද? කියලා සිතෙන්නට තරම්, කාටවත් කියන්න තරම්වත් ලැජ්ජා හිතෙන තරම් දැකලා ඇති. WebMD වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට විශේෂඥ මතය වන්නේ එවන් අයුතු හීන වුවත් බැහැර නොකොට ඔබට දිනපොතක සටහන් කළ හැකි නම් ඉතා සිහියෙන් යුතුව සිහිනයක් වුව පාලනය කරන්නට හැකියාව ලැබෙන බවයි.

 

සිහින පාලනය කිරීම දැනට ලෝකයේ කතාබහට ලක්වන සහ සාර්ථකව සිදුවන ක්‍රමවේදයක්. ඔබ නින්දට යද්දී මා මේ නින්දට පිවිසෙනවා ය යන අවබෝධයෙන් නිදාගත්විට සිහින දැකීම ආරම්භ වෙද්දී මේ දකින්නේ සිහිනයකැයි යන අවබෝධය නිතැතින්ම ලැබෙනවා. හැබැයි ඒ සඳහා ටිකක් කල් සිත පුරුදු පුහුණු කරගන්නට සිදු වෙනවා. මෙම ක්‍රියාවලිය ලුසිඩ් ඩ්‍රීමිං හෙවත් සුබෝධ සිහින දැකීම ලෙස නම් කරන ලද විශේෂ ක්‍රියාවලියක්. මෙම තත්ත්වයට පත්වීමේදී ඔබට ඔබ දකින සිහිනයට විවිධ වෙනස්කම් කරගෙන එය උපරිමෙන් අත්විඳීමට හැකියාව ලැබෙන බවයි පැවසෙන්නේ. මෙය පහසු කරගැනීමට හිස් පළඳනා ද මේ වන විට සකසා තිබෙන අතර අප නින්දට ගිය බව අවබෝධ කරගෙන සිහින දැකීමට ආසන්න වන අවස්ථාවේදී දෑස මතට එම පළඳනාවෙන් විදුලි බල්බ හරහා එළියක් ලබා දෙමින් සිහින් ස්වරයකින් යුත් නින්දට බාධා නොවන ගීත ඛණ්ඩයක් ධාවනය කරවනවා. මෙය ඔබට අවබෝධවූ විට මේ දකින්නේ සිහිනයක් බව වැටහෙන නිසා අඩ නින්දේ සිටම ඔබට සිතැඟි පරිදි එය හසුරුවා ගෙන උපරිම අත්දැකීමක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. සිහිනවල ඇති හොඳම හැකියාව නම් එහි නිර්මාපකයා ඔබේ සිතුවිලි වීමයි. එවිට සිතුවිලි පාලනය කර ගැනීමෙන් ඔබට මෙතෙක් ගන්නට නොහැකි වුණු මෝටර් රථය, නිවස, රට සවාරිය ආදී ඕනෑම දෙයක් සත්‍යාකාරයෙන්ම අත්විඳින්නට හැකියාව ලැබනෙවා. තවත් විධියකට කිව්වොත් හීනය ඇතුලේම සිහින සැබෑ කරගන්නට අවස්ථාවක් ලැබෙනවා.

නින්දට පිවිසුණු විට දකින දේවල් හුදෙක් වාච්‍යාර්ථයෙන්ම සිහිනයක් සේ සලකා බැහැර කිරීමෙන් එහි දකින ලද බහුබූත වලින් එදිනෙදා ජීවිතයට ඇතිවන අයුතු බලපෑම් නවත්වා ගන්නට හැකියාව ලැබෙනවා. එහෙම නැතිව ඒවා අදහාගෙන තේරුම් සොයන්නට යමින් අතරමං වනවාට වඩා යටි සිතෙහි සිටින මෘගයා පාලනය කරගෙන ජීවිතය නමැති කර්තව්‍යය වෙත සිත යොමවීම හෝ එය ද සිහිනයක් සේ බැහැර කරමින් ආශාවන්ගෙන් ඈත්ව පරම සුවය වෙත පිවිසීමයි අප කළ යුත්තේ.

 
Cover Image Source – astralchakra.com/ behance.com / freepik.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here