පැහැපත් වෙන්නත් ඕන දෙයක් කරන අයට ඕස්ට් කියන්නේ හොඳ ආලේපනයක්. ⋆ ධරණී

0
8

 

එක කාලෙක පිටරට සමාගමකින් හදපු හරි අපූරු වෙළඳ දැන්වීමක් තිබුණා. බොහොමයක් වෙළඳ දැන්වීම්වල වගේ වෙළඳ දැන්වීමෙත් හිටියේ හරි ලස්සනට ඇඳ පැළඳගත් තරුණ කාන්තාවක්. හැබැයි ඇගේ මුහුණ වයසට ගිහින්. හරියට වයසක ආච්චි කෙනෙකුගේ වගේ. ඔන්න ටිකකින් මේ තරුණිය මුහුණේ දාගෙන ඉඳපු වෙස් මුහුණක් ගලවලා ඉවත් කරනවා. එතකොට අපිට පේන්න ගන්නවා ඇය බොහොම සුන්දර උවනක් හිමි සොඳුරු කාන්තාවක් කියලා. ඉතින් මේ වෙළඳ දැන්වීමෙන් පෙන්වන්න උත්සාහ කරපු විදියට අර කාන්තාවගේ වයසක පෙනුම නැති කරලා තරුණ පෙනුමක් ලබා දීපු විශ්වකර්මයා තමයි මිත්‍රවරුනි ‘ඕට්ස්’කියන්නේ. ඇමරිකාවේ Quaker Oats කියන අතිජනප්‍රිය ඕට්ස් සමාගම තමයි ඔය කියපු වෙළඳ දැන්වීම නිර්මාණය කරලා තිබුණේ. .

 

ඕට්ස් සමාගම ඕට්ස් වැඩිපුර විකුණගන්න හිතාගෙන ඔය කියපු දැන්වීම ප්‍රචාරය කළාට මොකද ඒ කතාවෙත් ඇත්තක් නැතුවම නෙවෙයි. මොකද කාලේ ඕට්ස් කාපු උදවිය විතරක් නෙවෙයි ඕට්ස් ගාපු උදවියත් බලා ඉද්දි තිරිහන් වුණාලු. එහෙම ලස්සන වුණ අය අතරේ බ්‍රිතාන්‍ය රාජ කුමාරිකාවෝ, රුසියානු වගේම බ්‍රසීල බවලතියොත් ඉඳලා තියෙනවා. ඉතිං ඒ උදවිය රුව ලස්සන කරගන්න කරපු ඕට්ස් සත්කාර ටිකක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. 

 

ඕට්ස් කියන්නේ ගොඩක් පෝෂ්‍යදායී ධාන්‍ය වර්ගයක්. මැග්නීසියම්, පොස්පරස්, කොපර්, විටමින් බී, තන්තු, ඔමේගා 03, පොටෑසියම් ෆොලේට් අඩංගු නිසා හෘදයාබාධ, පිළිකා, කෙලෙස්ටරෝල් වගේම දියවැඩියා රෝගී තත්ත්වයන්ගෙන් වැළකෙන්නත් ඕට්ස් හොඳ කෑමක්. එකපාරක් ඇමරිකා එක්සත් ජනපදයේ වයසක උන්දැලා 19 දෙනෙකුට දිනපතා ඕට්ස් කන්න දීලා  පර්යේෂණයක් කරලා තිබුණා. ඒකෙන් හොයාගෙන තිබුණේ ඕට්ස් කන අයගේ ධමනි ආශ්‍රිත ආබාධයන් ඇත්තෙම නැහැ කියලයි. ඒ විතරක්යැ ඕට්ස්වලින් ශරීරයට ලැබෙන්නේ අඩු කැලරි ප්‍රමාණයක් නිසා බර අඩු කරගන්නත් ඕට්ස් කන්න පුළුවන්. බර අඩු කරගන්න වගේම බැක්ටීරියා රෝගවලට එරෙහිවත් ඕට්ස් සටන් කරනවා කියලයි පස්සේ කාලෙක පිටරට විශ්වවිද්‍යාලයකින් හොයාගත්තේ. ඒ කියාපු ලෙඩවලට විතරක් නෙමෙයි ලස්සන වෙන්න වගේම පැහැපත් වෙන්නත් ඕන දෙයක් කරන අයට ඕස්ට් කියන්නේ හොඳ  ආලේපනයක්.

 

අවුරුදු කාලෙ නිසාත් අව්වේ සැර නොබලා නිතර දෙවේලේ ගමන් බිමන්වල යෙදෙන නිසාත් ගොඩක් බවලතියොන්ට මේ කාලෙ තියෙන ප්‍රශ්නයක් තමයි අව්වට සම පිළිස්සිලා අවපැහැ ගැන්වෙන එක. අතිශය සුන්දර රූපකායකට හිමිකම් කියන බ්‍රසීල තරුණියන්ටත් කාලයක් ඔය ප්‍රශ්නේ තිබුණලු. ඒ ඇත්තියෝ ඒකට විසඳුම විදියට කළේ ඕට්ස්වලින් රෙදි පොට්ටනියක් හදලා නාන බේසමේ කරාමේ යටින් ගැටගහපු එක. ඊටපස්සේ ඕට්ස් පෙරිලා ආපු වතුරෙන් නෑවම පිළිස්සිලි වගේම අවපැහැගැන්වීම් ඔක්කොම කම්මුතුයිලු.

 

රුසියාවේ උන්දැලා බියුටි කචල් කරද්දී ඕට්ස් එක්ක ඔලිව් තෙල් වගේම ලෙමන් යුෂත් එක්කරලා ෆේස් මාස්ක් එකක් හදලා මුහුණේ ආලේප කරලා තිබුණා. ඒක නිසාම උන්දැලගේ සම ලස්සන වෙලා, පැහැපත් වුණාලු. 

 

ෆේස් මාස්ක් විතරක් නෙමෙයි ඕට්ස් ෆේෂල් කියන්නෙත් සමේ අතිරික්ත තෙල් වගේම මැරුණු සෛල ඉවත් කරලා සම පැහැපත් කරන දෙයක්. ඒකට ඕට්ස්වලට යෝගට්, මී පැණි පොඩි කරගත්ත කෙසෙල් හෝ පැපොල් දමා මේ ආලේප කරන්න බැරිකමක් නැහැ.

 

තෙල් සහිත සමක් නම් තියෙන්නේ ඕට්ස් හා මී පැණි එක්ක යෝගට් ස්ක්‍රබ් එකක් විදියට ගොඩක් හොඳයි.

 

සාමාන්‍ය ක්ලේන්සර් එකක් විදියට පාවිච්චි කරනවා නම් ඕට්ස්වලට මී පැණි දාලා මූණේ ආලේප කරලා බලන්න.

 

බ්ලෙන්ඩ් කරගත් ඕට්ස් තේ හැන්දකට රෝස වතුර වගේම මී පැණිත් එක්ක මුහුණේ ආලේප කරලා විනාඩි 10ක් තියලා සෝදාගන්න.

 

ඉස්සර බ්‍රිතාන්‍යයේ රාජ කුමාරිකාවෝත් ලස්සන වෙන්න ඕට්ස් පාවිච්චි කරපු බවට සාක්ෂි තියෙනවා. ඒ රහස තමයි වතුර මේස හැඳි තුනකට ඕට්ස් කෝපප බාගයක් දාල මද ගින්නේ පිසගන්න ඕනෑ. ඊටපස්සේ ඒකට මී පැණි මේස හැඳි දෙකක්, පොඩි කර කරගත් ඉදුණු කෙසෙල් ගෙඩියක්, යොදය සහිත කිරි මේස හැඳි දෙකයි, මුදවපු කිරි මේස හැන්දයි එක්කරලා විනාඩි දෙකක් තියලා බඳුනකට දාගන්න ඕනෑ. ඒ හදාගත් මිශ්‍රණය පිරිසිදු කරගත් මූණේ ගාලා විනාඩි 40ක් විතර ඉඳලා සෝදා හැරියාම බ්‍රිතාන්‍ය රාජ කුමාරිකාවෝ වගේම ලස්සන වෙන්න පුළුවන්. මේ සත්කාරය දින හතරකට සැරයක් කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

 

ඒ වගේම හිස්කබලේ තියෙන කුණු දූවිලි ඉවත් කරන්න ඕනනම් ඕට්ස්වලට දුඹුරු සීනි හා කන්ඩිෂනර් තේ හැඳි දෙක බැගින් එක්කරලා ස්ක්‍රබ් එකක් හදාගන්න. ස්ක්‍රබ් එක හිස්කබලේ ආලේප කරගත්තට පස්සේ හොඳින් සම්බාහනය කරලා නා ගන්න ඕනෑ.

 

කොණ්ඩෙට කරන කෙරටින් සත්කාරයක් විදියටත් ඕට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඕනෑ කරන්නේ ෂියා බටර් තේ හැඳි තුනයි, ඔලිව් ඔයිල් වගේම සුදු පොල්තෙල් තේ හැන්ද බැගින්, ඕට්ස් තේ හැඳි තුනයි, වතුර කෝප්ප දෙකක් එක්ක කෝන් පවුඩර් තේ හැඳි දෙකක් විතරයි.

 

 

නෙත්මි තෂාරා

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here