රසවත් බීට්රූට් චපාති හදමු.. – Sri News

0
10

බීට් රූට් කියන්නේ ෆයිබර්, ෆෝලේට්, මැංගනීස්, පොටෑසියම්, යකඩ සහ විටමින් C වලින් සංතෘප්ත එළවළුවක්.

අපේ ශරීරයේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන්න, රුධිර පීඩනය අඩු කරන්න, මොළයේ නීරෝගි බව පවත්වා ගන්න වගේම ව්‍යායාම වලින් යහපත් ප්‍රථිපල ලබාගන්නත් බීට්රූට් ආහාරයට ගැනීමෙන් අපිට හැකියාව ලැබෙනවා. 

ඒත් එකම විදිහට බීට්රූට් ආහාරයට ගන්න සිදුවීම නිසා බීට් රූට් කියන්නෙ අපි බොහෝදෙනෙක් අතර ජනප්‍රිය ආහාරයක් නම් නෙමෙයි වුනත් ඒවායේ තිබෙන මේ වටිනා පෝෂ්‍ය පදාර්ථ නිසා බීට් රූට් ආහාරයට නොගැනීමත් ලොකු අවාසියක්නෙ. 

ඔන්න ඒ නිසාම බීට් රූට් වලින් ලේසියෙන්ම හදන්න පුළුවන් වෙනස්ම සහ ඉතාම රසවත් කෑමක් ගැන විස්තර අරගෙනයි අද අපි මේ ඔබත් එක්ක එකතු වෙන්නෙ. 

අපි කවුරුත් කන්න කැමති ජනප්‍රිය ඉන්දියානු කෑමක් වන චපාති බීට්රූට් රසෙන් සහ වර්ණයෙන් හදාගන්නෙ කොහොමද කියල එහෙනම් අපි බලමු. 

මුලින්ම අපිට අවශ්‍ය දේවල් මොනවද කියල බලලම ඉමුද?

අවශ්‍ය ද්‍රව්‍ය 

හොඳින් සෝදා පොතු ඉවත් කරගෙන ග්‍රේට් කරගත් හෝ සිහින්ව ලියාගත් බීට්රූට් ගෙඩියක්

සහල් පිටි කෝප්ප 02 ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

කෑලි මිරිස් තේ හැඳි 01 ක් 

සූදුරු හෝ සූදුරු කුඩු තේ හැඳි 01 ක් 

ගරම් මසාලා කුඩු තේ හැඳි 01 ක් (අත්‍යාවශ්‍යම නැත)

අමු මිරිස් කරල් 04 ක්

කුඩාවට කපාගත් ඉඟුරු කැබැල්ලක්

එළඟි තෙල් හෝ පොල්තෙල් 

වතුර 

හොඳයි, එහෙනම් අපි බලමු කොහොමද අපි බීට්රූට් චපාති හදාගන්නෙ කියල?

සාදාගන්නා ආකාරය

මුලින්ම බ්ලෙන්ඩරයේ කෝප්පයට ග්‍රේට් කරගත් බීට් රූට්, අමු මිරිස්, ඉඟුරු සහ වතුර කෝප්ප කාලක් පමණ එකතු කර මේ සියල්ලම හොඳින් අඹරා ගන්න. 

ඔබ චපාති හදන්නෙ පොඩ්ඩන්ටත් එක්කම නම් අමු මිරිස් ප්‍රමාණය අඩු කරන්න හෝ අමු මිරිස් නොදාම ඉන්නත් පුළුවන්. 

තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, ලුණු කුඩු කෑලි මිරිස්, ගරම් මසාලා සහ සූදුරු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

එයට සාදාගත් බීට්රූට් මිශ්‍රණය දමා මේ සියල්ලම විනාඩි 05 ක් පමණ හොඳින් කලවම් කරගෙන භාජනයේ සහ අතේ නොඇලෙන ගුලියක් සාදාගන්න. 

(මේ සඳහා බීට් රූට් මිශ්‍රණයේ ඇති වතුර ප්‍රමාණවත් නමුත් පිටි මිශ්‍රණය වියළි බව ඔබට දැනෙනව නම් වතුර ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්.)

සාදාගත් පිටි ගුලිය වටා තෙල් බින්දු ස්වල්පයක් හොඳින් ආලේප කර පිටි ගුලිය හොඳින් වසා විනාඩි 30 ක් පමණ තබා ගන්න. 

විනාඩි 30 කට පසු පිටි ගුලිය මෘදුවී ඇති බව ඔබට දැකගන්න ලැබේවි. 

දැන් මේ පිටි ගුලිය එක සමාන පිටි බෝල 09 කට 10 කට පමණ වෙන් කරගන්න.

රොටිය ඇලීමෙන් වළක්වා ගැනීම සඳහා මතුපිටක් මතට පිටි ඉස කුඩා පිටි බෝල ඒ මත තබමින් රෝලින් පින් එකක් හෝ වීදුරු බෝතලයක් භාවිතයෙන් ඝනකමින් අඩු රොටියක් ආකාරයට සාදාගන්න. 

එකම ප්‍රමාණයේ චපාති ලබාගන්න කුඩා පිඟානක් හෝ පියනක් වැනි දෙයක් යොදාගෙන චපාති කපාගන්න ඔබට පුළුවන්. 

මේ විදිහට සියළුම රොටී සූදානම් කරගන්න. 

දැන් රොටී තැටියක් හෝ පැතලි අඩියක් සහිත භාජනයක් ලිපේ තබා ගෙන එය රත්වීමට තබන්න. 

රත්වූ තැටිය මතට සාදාගත් චපාති රොටිය දමා එක්පැත්තක් තත්පර 15 ක් පමණ රත්කර ගෙන අනෙක් පැත්ත පෙරළා ගන්න. 

අනෙක් පැත්තත් තත්පර 15 ක් පමණ තබා නැවත අනෙක් පස හරවාගන්න.

රොටියේ උඩට හැන්ද තබා තද කරගන්න. එවිට රොටිය පිම්බෙන බව ඔබට දැකගන්න ලැබේවී. 

නැවත රොටිය අනෙක් පස හරවා එලෙසම කරගන්න. 

දැන් උඩින් ඇති පැත්තේ එළඟි තෙල් ආලේප කරගෙන තත්පර 15 කට පමණ පසු නැවත අනෙක් පැත්ත හරවා ගන්න. 

එක් පැත්තක් තත්පර 15 කට වඩා තබා නොගෙන අනෙක් පැත්ත හරවා ගන්න ඔබ සැළකිලිමත් වෙන්න ඕනමයි. 

මෙලෙස හැන්ද තදකරමින් රොටියේ තැනින් තැන තද දුඹුරු පැහැයට හැරෙන තෙක් තබා ලිපෙන් ඉවත් කරගන්න. 

මේ විදිහට සියළුම චපාති සාදාගෙන උණුසුම්වම රස විඳින්න ඔබට පුළුවන්.

චපාති කන්න හොඳටම ගැළපෙන smart lady අපේ වෙබ් අඩවියේ කලින් පලවුනු රසවත්ව  තන්දූරි චිකන් https://Sri News.lk/article/34744/cooking-14/  හදාගන්න ක්‍රමයත් අත්හදා බලන්නත් අමතක කරන්න එපා. 

ඔන්න එහෙනම්, බීට්රූට් වල පෝෂ්‍යපදාර්ථ උපරිමව ආරක්ෂා වෙන විදිහට ඕනෑම කෙනෙක්ට බය නැතුව ආහාරයට ගන්න පුළුවන් රසවත්, ගුණවත් කෑමක් තමයි අපි හදාගත්තේ. 

මේ වගේම තවත් රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

එතෙක් රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here