Google search engine
Home ගොසිප් පුවත් පානදුරේ ව්‍යාපාරිකයා මරන්න බිරියගේ සොහොයුරා ගහපු ගේම

පානදුරේ ව්‍යාපාරිකයා මරන්න බිරියගේ සොහොයුරා ගහපු ගේම

0
13

panadura-sampath-murder-attempt

විසදාගත නොහැකි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් කොටුකර ගැනීමට සමහරක් පොලිසිවලට නොහැකි වුවද සී.අයි.ඩී.යට එය එතරම් අපහසු කාර්යයක් වන්නේ නැත. ඒ, ඔවුන් තුළ ඇති විමර්ශන හැකියාව සහ දක්ෂකම නිසාය. සී.අයි.ඩී. නිලධාරීන්ගේ මනා පුහුණුව සහ අපරාධකරුවන් පසුපස හඹා යාමේ ඇති හැකියාව මෙවන් අපරාධ විසඳීමට මහත් පිටිවහලකි. එලෙස විසඳුණු අපරාධ ගණන ද බොහෝය. මෙම විමර්ශනය ද එවැන්නකි. වසරක කාලයක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි අපරාධයක මහ මොළකරුවකු ඉකුත්දා සී.අයි.ඩී. නිලධාරීන් විසින් මෙලෙස

අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුනගේ  විමර්ශන හැකියාව මොනවට පෙන්නුම් කරමිනි. පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය  කෙරිණි. ඒ ඉකුත් වසරේ පෙබරවාරි 28 වැනිදාය. අදින් වසරකටත් පෙරය. තුවක්කුකරුවන් ඔහු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ, ඔහු සිය සුඛෝපභෝගී ජීප් රියේ යමින් සිටියදීය. මත්පැන් අලෙවිහල්, නිවාස සංකීර්ණ, ඉඩකඩම් ඇතුළු විවිධ ව්‍යාපාර කිහිපයකම  හිමිකරුවකු වූ ඔහු අනුරාධ සම්පත් කුඩාගොඩ නමැත්තෙකි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන අරඹනු ලැබුවේ පින්වත්ත පොලිසිය මඟිනි. පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද ඊට සමගාමීව විමර්ශනයක් සිදු කෙළේය. කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම මුලින්ම  බැර වූයේ පානදුර කේන්ද්‍ර කරගෙන මිනිස් ඝාතන කිහිපයක්ම සිදු කළ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගිණුමකටය. ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹුවද ඒ සම්බන්ධ තොරතුරු  කිසිවක් විමර්ශන නිලධාරීන්ට ලැබුණේ නැත.

මේ අතර බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කළුතර දිසා අපරාධ කොට්ඨාසය වෙත ද මෙම විමර්ශන පවරන ලදී. එහි  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  තිලංග සංජීව ඇතුළු කණ්ඩායමක් කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය පසුපස විමර්ශන ඇරඹුවේ ඉන් පසුවය.

නිලධාරීන්ගේ අවධානය සිද්ධිය වූ ස්ථානයේ  ස්ථාපිත සීසීටීවී කැමරා වෙත යොමු වූ  අතර, තුවක්කුකරු කෝටිපති ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇත්තේ ඔහු සමීපයට ගොස් බව කැමරාවල දත්ත ඔස්සේ නිලධාරීන්ට පෙනුණේය. ඒ අනුව, නිලධාරීන්ට වැටහී ගියේ වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවත්,  තුවක්කුකරු ව්‍යාපාරිකයා සමීපයටම ගොස් ගෙල ප්‍රදේශයට වෙඩි තබා ඇති බවත්ය.

වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය හරවාගෙන පටු මාවත දිගේ පැමිණ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වන අයුරු ද සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ අතර, ප්‍රධාන මාර්ගය දිගේ පැමිණෙන යතුරුපැදිය මඳ දුරක් ගොස් මාර්ගයේ නතර කරන අයුරුත් නිලධාරීන්ට පැහැදිලිව දැකගත හැකිවිය. එලෙස නතර කරන යතුරුපැදියේ පිටුපස වාඩිවී සිටි තුවක්කුකරු ඉන් බැස මාර්ගයේ ධාවනය වන බස් රියකට ගොඩ වන අයුරුත්, එම කැමරාවල සටහන්වී තිබිණි. පැදිකරු, පැමිණි යතුරු පැදියෙන්ම නික්ම යන්නේ ඉන් පසුවය.

මේ අතර පැදිකරු නිවාස සංකීර්ණයක් අසල යතුරුපැදිය නතර කර එහි තිබූ අංක තහඩු ගැලවීමට උත්සාහ කරද්දී ඒ අසල සිටි පුද්ගලයකු පොල්ලක් ද අතැතිව පැමිණ පැදිකරුට පහර දීමට සැරසෙද්දී ඔහු ගලවන ලද අංක තහඩු දෙක ද දමා පලායන අයුරු ද සීසීටීවී කැමරා නිරීක්ෂණය කරද්දී නිලධාරීන්ට දැකගත හැකි විය. ඊට  මීටර් 200ක පමණ දුරකදී පැදිකරු සිය යතුරුපැදියත් පැලඳ සිටි ජැකට්ටුවත් මාර්ගය අසල අතහැර ත්‍රීවීලරයක නැඟී ප්‍රධාන මාර්ගයට පැමිණ ගාල්ල බලා ධාවනය වන බස් රියකට ගොඩ වී ඇති බවද   නිලධාරීන් වැඩිදුර විමර්ශනයේදී සොයාගෙන තිබිණි.

විමර්ශනයේදී හෙළිවූ තවත් කරුණක් වූයේ එලෙස පැදිකරු ගොඩ වූ බස් රියටම තුවක්කුකරු ද ගොඩවී ඇති බවය.

මේ අතර, අතහැර දමා ගිය යතුරුපැදිය නිලධාරීන් සොයා ගත් අතර, ඒ ඔස්සේ  කරන ලද විමර්ශනයේදී අනාවරණය වූයේ  එහි චැසි අංකය සහ එන්ජින් අංකය මකා දමා ඇති බවකි.

කෙසේ වෙතත් කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ සබඳකම් පවත්වමින්  කරන ලද විමර්ශනයේදී එම යතුරුපැදියේ හිමිකරුවන් කිහිප දෙනකු සොයා ගැනීමට හැකි වූ අතර,  එකිනෙක මඟ  හරිමින්  විමර්ශන දිගටම සිදු කරද්දී අවසන් වරට  එම යතුරුපැදිය මිලදී ගත් තැනැත්තා සොයා ගැනීමට නිලධාරීන්ට  හැකි විය.

ප්‍රශ්න කිරීමේදී ඔහු පැවැසුවේ එම යතුරුපැදිය එක් පුද්ගලයකු තමාට  උකස් කොට රුපියල් අසූදාහක මුදලක්  ලබා ගත් බවය.

“27 වැනිදා මිනිහා ඇවිත් මට එක්ලක්ෂ  විසිදාහක් දීලා බයික් එක බේරගෙන ගියා.”

ඔහුගේ ප්‍රකාශයට අනුව එම යතුරුපැදිය මුදල් ගෙවා බේරා ගෙන රැගෙන ගොස් ඇත්තේ තෙලිකඩ පදිංචි හෂාන් නමැත්තෙකි.

“මේ පින්තූරවල ඉන්නේ මිනිහද”

කැමරාවලින් ලබාගත් සීසීටීවී දර්ශන යතුරුපැදිය අවසන් වරට මිලදී ගත් තැනැත්තාට පෙන්වූ  නිලධාරීන් එම පින්තූරවල සිටින්නේ හෂාන් නමැති පැදිකරු දැයි විමසන්නට වූයේය.

“ඔව්…සර්… මෙයා තමයි…”

27 වැනිදා යතුරුපැදිය හෂාන් විසින් බේරා ගන්නට ඇත්තේ 28 වැනිදා කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා වන්නට ඇති බව නිලධාරීහු සැක සිතූහ. ඒ සැකය මත හෂාන්  සොයා තෙලිකඩ ප්‍රදේශයට  ගිය නිලධාරීන් හෂාන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී එම ව්‍යාපාරිකයා මරා දැමීම සඳහා යතුරුපැදිය පැදවූයේ  තමා බව ඔහු පිළිගෙන තිබිණි.

“මම නෙමේ සර් වෙඩි තිබ්බේ. මම බයික් එක පැද්දා විතරයි. ධනුෂ්ක තමයි වෙඩි තිබ්බේ.”

ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන්  පසු ධනුෂ්ක  සොයා ගිය නිලධාරීන්ට තෙලිකඩ ගිනිමැල්ලගහ ප්‍රදේශයේදී ඔහු කොටුකර ගත හැකි විය. ධනුෂ්ක, කෝටිපති ව්‍යාපාරික ඝාතනයේ තුවක්කුකරු බව නිලධාරීන්ගේ සැකය විය.

පොලිස් පරීක්ෂක සංජීවට ඔහු කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හෙළි කර ඇත්තේ ඉන් පසුවය. ඒ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදීය.

“මම හතර අතේ ණය වෙලා. බස්වල ෆිනෑන්ස් ගෙවා ගන්නත් බැරිවයි හිටියේ. මට කිව්වා ලක්ෂ 30ක් දෙන්නම් වැඩක් තියෙනවා කරලා දීපන් කියලා…”

ධනුෂ්ක විමර්ශන නිලධාරීන්ට  කීවේය.

“මුලින්ම මට රුපියල් ලක්ෂ 10ක් දුන්නා. ඇඩ්වාන්ස් කියලා…”

ධනුෂ්ක කියන කතාව නිලධාරීන් සටහන් කරගත්තේය.  එමෙන්ම කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව භාරදුන් පුද්ගලයා කවුරුන් දැයි ඔහු නිලධාරීන්ට  කීවේය. ඔහු මරා දැමුණු ව්‍යාපාරිකයාගේ කසාද බිරියගේ සොහොයුරා  බව  නිලධාරීන්ට ඒත්තු ගියේය.

ධනුෂ්ක බස් රථ කිහිපයක් හිමි තෙලිකඩ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු සහ ව්‍යාපාරිකයාගේ බිරියගේ සොහොයුරා වූ චමින්ද අතර ඇත්තේ මිතු දමකි. ඒ මිතු දම මත චමින්ද සිය මස්සිනා මරා දැමීමට ධනුෂ්කට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත. තිබූ අගහිඟකම් සහ ෆිනෑන්ස් සමාගමට ගෙවිය යුතු මුදල් පියවා ගැනීමට හොඳම  මොහොත මෙය බව දත් ධනුෂ්ක, කෝටිපති ව්‍යාපාරිකයා මරා දැමීමේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේය. එහෙත් ඔහු එය වෙන කෙනකුට පැවරුවේ නැත. වෙන අයකුට කොන්ත්‍රාත්තුව භාරදුනහොත් තවත් ලක්ෂ දහයක් පහළොවක් වියදම් වනු ඇතැයි සිතූ ධනුෂ්ක චමින්ද කුඩාගොඩ ඝාතනය කිරීම තමා විසින්ම කළහොත් රුපියල් ලක්ෂ 30ම තමාට ගත හැකි බව සිතන්නට ඇත.

“මචං… මෙන්න මෙහෙම වැඩක් තියෙනවා කිව්වා. මට ඒකට කාව හරි සෙට් කරලා දියන් කිව්වා. මට ලක්ෂ 10ක් දුන්නා ඇඩ්වාන්ස් එකක් හැටියට…”

ඔහුට එම රුපියල් ලක්ෂ 10 මුදල අත්තිකාරම් ලෙස ලැබෙන්නේ ඝාතනයට මාස කිහිපයකට පෙරය.

එම රුපියල් ලක්ෂ දහයෙන් සිය බස් රියේ  හිඟ වාරික ලෙස රුපියල් එක්ලක්ෂ අසූදහස් ගණනක් ධනුෂ්ක ෆිනෑන්ස් සමාගමට ගෙවා දැමීය. ඊට පසුදා ඔහු තවත් රුපියල් 2,72,435.28ක් සිය ජීප් එකේ ලීසිං ඇරියස් එක ලෙස ගෙවා දැමීය.

ඊට පස්සේ මම හෂාන් හම්බ වෙලා කිව්වා “පොඩි වැඩක් තියෙනවා කරන්න කළුතර යන්න ඕන. උඹේ බයික් එක කෝ කියල…” ධනුෂ්කත්, හෂානුත් තෙලිකඩ පදිංචිකරුවන් මෙන්ම මිතුරන්ය. කලක් ධනුෂ්කගේ බස් රියක කොන්‍ෙදාස්තර ලෙස රැකියාව කළේ ද හෂාන්ය.

“බයික් එක මම එකෙක් ගාව උකස් තියලා   රුපියල් 80,000ක් අරන් තියෙන්නේ. පොලියත් ගෙවලා තමයි ගන්න වෙන්නේ…”

හෂාන් ධනුෂ්කට කීවේය.

“හරි… මම උඹට සල්ලි දෙන්නම් ගිහින්  බයික් එක ගමු…” ධනුෂ්ක ඒ සඳහා රුපියල් එක්ලක්ෂ විසිදහසක මුදලක් හෂාන් අත තැබීය. ඒ ඔහු කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා ලබාගත් රුපියල් ලක්ෂ දහයේ ඇඩ්වාන්ස් මුදලෙන්ය.

හෂාන් ධනුෂ්ක දුන් මුදල් රැගෙන ගොස් උකස්කරුගෙන් සිය යතුරුපැදිය බේරා ගෙන  පැමිණිය ද කළයුතු කාර්යය ධනුෂ්ක හෂාන්ට ඒ මොහොතේදීවත් පැවැසුවේ නැත.

පසුව ධනුෂ්කගේ කීම මත යතුරුපැදියට අලුත් ටයර් දෙකක් ද දමා ගන්නා හෂාන් ඉන්පසුව ධනුෂ්ක සමඟ යන්නේ ගාල්ල නගරයටය. ගාල්ල නගරයේ වෙළෙඳ සලකින්  එකක් රුපියල් 2700ක මුදලකට කළු පැහැති ජැකට් දෙකක්ද මිලදී ගන්නා ධනුෂ්ක, එතැනදී ද ඔහුට කළ යුතු කාර්යය පවසන්නේ නැත.

“හෙට උදේ 5 වෙන කොට මහවේල්ල හන්දිය ගාවට බයික් එකේ වරෙන්. පොඩි වැඩක් තියෙනවා. වෙලාවට වරෙන් ආවම වැඩේ කියන්නම්…”

ධනුෂ්කගේ ඉල්ලීමට අනුව හෂාන් සිය යතුරුපැදිය රැගෙන ගාල්ල මහවේල්ල ළඟට යන්නේ ඉන් පසුවය. ඒ 2023 පෙබරවාරි 28 වැනිදාය. දෙදෙනාම ගෙනා ජැකට් පැලඳ ගත්හ.

“යමු පානදුරේ පැත්තට…”

පානදුර දෙසට සිය යතුරුපැදිය ධාවනය කළ හෂාන්, එතැන් පටන් ධනුෂ්කගේ සැලැස්ම මත කටයුතු කරන්නට විය. වරෙක ඔවුන් සිය යතුරුපැදිය පින්වත්ත නගරයට ආසන්නයේ ඇති විදුලි සංඥා පුවරුව අසල නතර  කළේය.

“ටික වේලාවකට පස්සෙ සුදු පාට ජීප් එකක්  අපිව පහු කරගෙන ගියා. මම හෂාන්ට කිව්වා ඒක පස්සේ  යමු කියලා.”

“ඕක ඕවර් ටේක් කරපන්…”

ධනුෂ්ක හෂාන්ට කීවේය. හෂාන් සිය යතුරුපැදිය සුදු ජීප් රිය පසුකරමින් ඉදිරියට  ධාවනය කළේය.

“ඒත් එක්කම මම හෙල්මට් එක ඉස්සුවා. ජීප් එක එළෙව්වේ සම්පත්. එයා  මාව දැක්කා. එයා මාව හඳුනා ගත්තා. එයා මාව දන්නවා. මම අත වැනුවා. ඒත් එක්කම සම්පත් ජීප් එක නතර කළා. මම හෂාන්ට කිව්වා බයික් එක නතර කරන්න කියලා. මම බයික් එකෙන් බැහැලා සම්පත් ළඟට ගියා. එයා වීදුරුව පහත් කළා.  ඒත් එක්කම මම ෂොට් එකක් තිබ්බා. ඒක මිනිහගේ බෙල්ලට වැදුණා. ඒත් එක්කම බෙල්ල කඩාගෙන වැටුණා.”

ධනුෂ්ක විමර්ශන නිලධාරීන්ට කීවේය. නිලධාරීහු ධනුෂ්කගේ දෑතට මාංචු දැමූහ.

“කවුද උඹට ඔය කොන්ත්‍රාත් එක දුන්නේ.”

පොලිස් විමර්ශකයන් ධනුෂ්කගෙන් විමසුවේය.

“චමින්ද” ධනුෂ්ක කීවේය. පසුව නිලධාරීන් ධනුෂ්කත් හෂානුත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් අතර පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය  නියෝග කළේය.

කෝටිපති ව්‍යාපාරික සම්පත් කුඩාගොඩගේ  ඝාතනයට පැමිණි තුවක්කුකරු සහ පැදිකරු කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙසේ අත්අඩංගුවට ගැනුණ ද කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන කණ්ඩායමකට හැකිවූයේ නැත.

කාලය මෙසේ ගෙවී ගියේය. දින මාස ගණනින් ගෙවී වසරකටත් ආසන්න කාලයක් ළඟා විය. මේ අතරතුර සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම ඝාතනයට සම්බන්ධ ලිපිගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර කෙරුණි. එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතා විසින් මෙම ලිපිගොනුව නිරීක්ෂණය කිරීමේදී ඔහුට පෙනී ගියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා තවමත් නිදැල්ලේ සිටින බවය. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය පැවැරුණේ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක වික්‍රමාරච්චි වෙතය. එතැන් පටන් නිලධාරීන් කිහිප දෙනකු සමඟ ඔහු සිද්ධිය සම්බන්ධ විමර්ශන ඇරඹූහ.

නිලධාරීන්ට අවශ්‍ය වූයේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා  තව තවත් සාක්කි සොයා ගැනීමය.

කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනය පිළිබඳ අවධානය යොමු කළ පොලිස් පරීක්ෂකවරයා ඉන්පසුව නිලධාරීන් මෙහෙයවමින් කටඋත්තර කිහිපයක්ම ලබාගත්තේය. ඒ අතර කෝටිපති ව්‍යාපාරිකයාගේ නීත්‍යනුකූල බිරියද විය.  ව්‍යාපාරිකයාගේ සොහොයුරාත් ඔහු අවසන් වරට  ජීවත්වූ කාන්තාව ඇතුළු ව්‍යාපාරිකයාගේ  මිතුරන් ඇතුළු කිහිප දෙනකුගේ සාක්කි සටහන් කරගැනීම ඉන් පසුව සිදුවිය. ඉන් පසුව නිලධාරීන්  හැරුණේ ඒ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තුවක්කුකරු සහ පැදිකරු වෙතය.

නිලධාරීන් කළුතර බන්ධනාගාරයට ගොස් ඔවුන්ගෙන් ද නැවත දීර්ඝ ප්‍රකාශ ලබාගත්තේය.  චමින්ද නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසය. මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන්නේ අත්අඩංගුවට ගත් චමින්ද මරා දැමුණු කෝටිපති ව්‍යාපාරිකයාගේ කසාද බිරියගේ සොහොයුරා බවය.

සී.අයි.ඩී. නිලධාරීහු චමින්දගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූහ. ඒ සිය මස්සිනා වූ  කෝටිපති ව්‍යාපාරික සම්පත් කුඩාගොඩ  ඝාතනය කළේ මන්දැයි දැන ගැනීමටය. එම  ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ රුපියල් කෝටි 275කට ආසන්න වටිනාකමකින් යුත් කෝටිපති ව්‍යාපාරිකයාට අයත් දේපළ පිටස්තර කාන්තාවකට හෝ පිටස්තර පාර්ශ්වයකට යෑම වැළැක්වීම සඳහා මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවය.

මරා දැමුණු සම්පත් කුඩාගොඩ රුපියල් කෝටි ගණනාවක දේපළ සතු අයෙකි. නිවාස සංකීර්ණයකද  අයිතිකරුවෙකි.

එක් දරු පියකු වූ ඔහු විවාහක බිරියගෙන් නීත්‍යනුකූලව වෙන්වීම සඳහා අධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකර තිබේ.

2022 වසරේ සිය බිරියගෙන් ඔහු වෙන්වී යන්නේ සිය දියණියගේ සහ බිරියගේ ගිණුමකට රුපියල් ලක්ෂ 220ක මුදලක් බැර කොට තමාට කරදරයක් නැතිව ජීවත්වීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමිනි. පසුව ඔහු වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධයක් පවත්වාගෙන යමින් අතුරුගිරිය ප්‍රදේශයේ ‘එපාර්ට්මන්ට්’ එකක ජීවත්වී ඇත්තේ ඇයත් ඇගේ කලින් කසාදේ දරුවන් දෙදෙනාද සමඟිනි.

ඒ අතරතුර ඔහු පානදුර පින්වත්ත ප්‍රදේශයේ  තෙමහල් සුවිසල් නිවෙසක් තැනීම සිදුකරමින් සිට ඇත. මේ බව සම්පත්ගේ නීත්‍යනුකූල බිරිය සහ ඔහුගේ ඥාති පාර්ශ්වය දැන ගැනීමත් සමඟ ඔවුන් කෝටිපති ව්‍යාපාරික සම්පත් සමඟ සිට ඇත්තේ දැඩි වෛරයකිනි. ඒ නීත්‍යනුකූල බිරියට අයත් දේපළ පිටස්තරයකුට අයිතිවීමට යෑම හේතුවෙනි.

සම්පත් අනියම් සබඳතාවක් පවත්වාගෙන යන ඇය කළුතර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක  ගුරුවරියකි. එමෙන්ම සම්පත්ගේ නීත්‍යනුකූල බිරියගේ ළඟම ඥාති දියණියකි.

උදෑසන අනියම් බිරියත් ඇගේ දරු දෙදෙනාත් සිය ජීප් රියේ නංවාගෙන ඇය සහ දරු දෙදෙනා පාසලට ඇරලවා අලුතින් ඉදිකරන නිවෙසේ වැඩ කටයුතු බැලීමට යෑම සම්පත් පුරුද්දක් ලෙස කරගෙන ගොස් තිබේ. සම්පත් මැරුම්කන්නේ ද ඇය සහ දරුවන් පාසලට ඇරලවා නව නිවෙස ඉදිකෙරෙන පින්වත්ත ටිඩ්ලිමන්ද සිල්වා පාරට යමින් සිටියදීය.

කෙසේ වෙතත් සම්පත් ඝාතනය වන්නේ ඔහුට අයත් කෝටි ගණනක දේපළ අන් අයකුට භුක්ති විඳීමට ඇති ඉඩකඩ ඇහිරීමට වුවද, මෙතෙක් සිදුකර ඇති විමර්ශනයේදී හෙළිවී  ඇත්තේ තමාව ඝාතනය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ තිබූ සැකය මත හෝ වෙනත් කරුණක් මත ඔහු සතු සියලුම දේපළ මියයන්නට පෙර අන්තිම කැමැති පත්‍රයකින් වෙනත් පාර්ශ්වයකට ලියා ඇති බවකි.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ අනුරාධ සම්පත් කුඩාගොඩ ඝාතනය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැනීමට නොහැකිව වසරක කාලයක් නිදැල්ලේ සිට ඝාතන සැලසුම්කරු මෙලෙස පසුගියදා අත්අඩංගුවට පත්වන්නේ සී.අයි.ඩී. නිලධාරීන්ගේ දක්ෂතාව නිසාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ.බී.එල්. වික්‍රමාරච්චි ඇතුළු උප පොලිස් පරීක්ෂක ලියනගේ සහ කොස්තාපල්  ඒකනායක (96920) යන නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබිණි.

කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව ඇතුළු කණ්ඩායමක් විසින් මීට වසරකට පෙර  කෝටිපති ව්‍යාපාරික ඝාතනයේ පැදිකරු සහ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

(පොලිස් විමර්ශන ඇසුරෙන් සකස් කෙරිණි.)

කීර්ති මෙන්ඩිස් -Mawbima

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here