සුවපත් දිවියට වැදගත් ජලය නිසිලෙස පානය – Importance of drinking water – Sri News

0
8

පෘථිවි ජීවයේ උල්පත ජලය වේ. ජලය යනු මිනිසාට අත්‍යාවශ්‍ය දෙයකි.  ආහාර රහිතව සතියකටත් වඩා යාන්තමින් දිවි ගෙන යා හැකි මුත් ජලය නොමැතිව දින දෙකතුනකට වඩා දිවි ගෙවිය නොහැකිය. අපගේ ශරීරයේ බරින් තුනෙන් දෙපංගුවක්ම ඇත්තේ ජලය වේ. මෙම ජල අවශ්‍යතාවයත් එය සපුරාගැන්මත් සෞඛ්‍යසම්පන්න ජීවිතයකට වැදගත් සාධකයකි. ජලය අඩුවෙන් පානය කිරීම හෙවත් සිරුරේ ජල අවශ්‍යතාවය නිසි ලෙස සම්පූර්ණ නොකිරීම ක්ෂණිකව ඇතිවන රෝගාබාධ වලට මෙන්ම කාලාන්තරයක් තිස්සේ මූලිකව වකුගඩු, මුත්‍රා පද්ධති ආදි පද්ධති වල  ව්‍යසන රැසකට හේතුවිය හැකිය.

 

 

සාමාන්‍ය වැඩිහිටියකුගේ සිරුරේ බරින් තිහෙන් එකක ජලය කොටසක් දිනකට පානය කිරීම සුදුසු බව වෛද්‍ය නිර්දේශය වේ. එනම් සාමාන්‍යයෙන් කිලෝ හැටක් බර මනුෂ්‍යයෙකු දිනකට ජලය ලීටර දෙකක් පමණ පානය කළ යුතුය. පාරිසරික සාධක, වෛද්‍යමය හේතුන්, රෝගී තත්වයන්, සිරුර වෙහෙසීම ආදී කටයුතු නිසා පානය කළ යුතු ජල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවිය හැකිය.

 

 

ජලය පානය කරන්නට අවශ්‍ය විට විවිධ ආකාරයේ පැණි බිම වර්ග පානයට වර්ථමානයේ පිරිස් උනන්දු වි තිබේ. ඒ අතර ශක්තිජනක පානයෝද වෙති. ශක්තිජනය  පානයන් යනු ජලය අඩංගු සීනි සහ වෙනත් රසායන අඩංගු ද්‍රාවනයකි. විසිතුරු පැණි බීම රසායනික අඩංගු ශක්තිජනක නිතර පානයට හුරුවීමෙන් කැලරි අධික, සීනි අධික, කෘත්‍රීම රසායන සිරුරට ඇතුලුවීම නිසා වෙනත් රෝග ඇතිවීමේ අවධානමද ඉහල යා හැකිය. එබැවින් හැකි සෑම විටම ජලයත්; ජලයට ආසන්න සමාන තැඹිලි වතුර කුරුම්බා වතුර වැනි ස්වාභාවික බීමකට යොමුවීම වැදගත්ය.

 

ප්ලාස්ටික් බෝතල් වල ගබඩාකොට තිබෙන ජලය බෝතලයේ ලූ පමණින්ම සුදුසුයැයි පූර්ව නිගමනයට එළැඹිය නොහැක. නිසියාකාරව ඒවා ප්‍රමිතිසහතික ලබා ඇතිදැයි බලා ජල බෝතල මිලදී ගැනීම මනාය.

වර්තමානයේ මෙම ප්ලාස්ටික් ජල බෝතල් විටක සෞඛ්‍ය තර්ජනයක් ඇතිකරනවා සේම එම ජලය බී හමාර කළ ජල බෝතල් දැඩි පාරිසරික හානියකි. එබැවින් මීට දශකයකට දෙකකට එපිට අපි හුරුව සිටි පරිද්දෙන් නිවසෙන් එලියට බහින විට නටවා නිවාගත් ජල බෝතලයක් මල්ලේ රුවා රැගෙන යෑමට පුරුදු වීම හොඳ පුරුද්දකි. එවිට අපි නිවසින්ම රැගෙන යන බෝතලය නිසා රසේ වෙනසක් නැතිව විශ්වාසයෙන් ජලය පානය කළ හැකිය. රූපවාහිනි සහ පරිගණකය භාවිතා කරන විටද විටින් විට ජලය පානය කිරීමට බෝතලයක් හෝ ජල බඳුනක් භාවිත කිරීම හොද පුරුද්දකි.

විකිණීමට ඇති මිනරල් ජල බෝතල අඩු මිල ප්ලාස්ටික් වර්ගවලින් නිමවන අතර එම ජල බෝතල බොහොමයක් නැවත පුරවා භාවිතයට ගැනීම සුදුසු නොවේ. බොන වතුර යන්ත්‍රවලට සවිකරන විශාල ගැලුම් නම් නැවත පිරවිය හැකි මුත් සාමාන්‍ය ජල බෝතල බොහෝ විට නැවත ජලය පුරවා භාවිතයට ගැනීමට සුදුසු නැත. කාර්යාලයක වැනි පරිසරයකදී නම් ජලය පානය කිරීමට වීදුරු ජල බෝතලයක් තබාගත හැකිය. දරුවන්ට සහ ගමනේ යෙදෙන විට පාවිච්චිය පිණිස අලංකාර මඳක් විශාල ප්ලාස්ටික් බෝතල සහ ඇලුමීනියම් බෝතල වෙළදපොලේ තිබේ. එවැන්නකට හුරු වීම ජලය පානයට හුරුවීමේ යහපත් සෞඛ්‍ය පුරුද්දක ඇරඹුමක් මෙන්ම අතරමග ජලය පිණිස වියදම් වන අනවශ්‍ය මුදල් ටිකක්ද ඉතිරි කරගත හැකි මගකි.

 

කොමඩු ගස්ලබු වැනි පළතුරු ජලය සහිත පළතුරු වේ. කුරුම්බා වතුර සහ ඖෂධීය පානයන් වර්ග පානය කිරීමෙන් ජල අවශ්‍යතාවය යම්තරමකින් සම්පූර්ණ කරගත හැකිය. ජලය අඩංගු වුවද සීනි කැලරි වැනි අහිතකර සංඝටකයෝ අඩු බෙලිමල්, රණවරා, පොල්පලා, එරමුසු වැනි පානයෝද කැඳ වර්ගද සෞඛ්‍යයට හිතකර වේ.

 

එදිනෙදා ජීවිතයේ කාර්යබහුලතාවය නිසා  අප සිරුරට අවශ්‍යය ජලය ලබාගැනීමට මැලි වන අවස්ථා වේ. ඇතැම්විටක කාන්තාවන් නම් මග තොට අතරමග මුත්‍රා කරන්නට සිදුවේයැ යන ලැජ්ජාවෙන් නිසි අයුරින් ජලය පානය කිරිම කල්දමන අවස්ථාද වෙති. මුත්‍රා කිරීම යනු සිරුරේ අවශ්‍යතාවයකි. එබැවින් එවැනි දේට ලැජ්ජා වී සිරුරට අවශ්‍ය ජල සැපයුම ලබා නොදී කල්දැමීම නිවැරදි ක්‍රියාවක් නොවේ. ජලය පානය ගැන අවබෝධයෙන් වැඩිපුර ජලය භාවිතයට ගත යුතු අවස්ථා ගැන අවධියෙන් ජලය පානය කිරීම සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මූලික පියවරක්ද වේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here