කූනිස්සො එක්ක රසට හැපෙන කෙසෙල් මුව සීනි සම්බෝලයක් හදමු.. – Sri News

0
9

ගමේ රසට මුල්තැන දෙන කෑම වැඩි වැඩියෙන් පිළියෙල වෙන මේ අවුරුදු කාලෙ අමුත්තන්ට සංග්‍රහ කරන්න ඔබ පිළියෙල කරන කෑම මේසයට, බත් මුලට වගේම විදේශගත වෙලා ඉන්න ඔබේම ආදරණීයයන්ට යවන්න වුනත් ඉක්මණින් පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් රසවත් කෑමක් ගැන කියන්නයි smart lady අපේ අද සූදානම.

කෙසෙල් මුව කියන්නෙ අපේ වත්ත පිටියෙ, සතිපොලේ වගේම අද වෙද්දි නම් සුපිරි වෙළඳසැල් වලත් දකින්න ලැබෙන හරිම සුලබ ආහාරයක්නෙ. ඉතිං නිවැරදි විදිහට පිළියෙල කරගත්තොත් කල්තියා ගන්න වුනත් පුළුවන් රසම රස කෙසෙල් මුව සීනි සම්බෝලයක් පිළියෙල කරන්නෙ කොහොමද කියල තමයි අද අපි ඔබට කියන්න යන්නෙ.

එහෙනම්, මුලින්ම බලමු මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නෙ මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් මුවක්

කූනිස්සෝ 100 g ක් (වේලාගත් ඉස්සන් හෝ හාල්මැස්සන් වුනත් යොදාගන්න පුළුවන්)

ලොකු ලූණු ගෙඩියක් හෝ දෙකක්

සුදු ලූණු බික් 05 ක් 06 ක්

අමු මිරිස් කරල් 05 ක් 06 ක්

සියඹලා 05 ක් 

කරපිංචා ඉති 03 ක කොල

රම්පෙ කැබැල්ලක් 

අඟලක පමණ කුරුඳු පොතු කැබැල්ලක්

කරදමුංගු 03 ක් 

කරාබුනැටි 03 ක්

සීනි

කෑලි මිරිස්

ලුණු කුඩු

කහ කුඩු

දෙහි බෑයක්

බැඳගැනීමට තෙල්

වතුර

හොඳයි මේ දේවල් සූදානම් කරගත්තට පස්සෙ අපි බලමු කොහොමද සීනි සම්බෝලෙ හදන්නෙ කියල?

සාදාගන්නා ආකාරය

මුලින්ම කෙසෙල් මලක් ගෙන එහි වටේ පොතු ඉවත් කරගන්න.

කෙසෙල් මුව හොඳින් සෝදා වතුර බේරීමට තබන්න.

දැන් භාජනයක් ගෙන එයට වතුර දමා වතුරට කහ කුඩු තේ හැන්දක්, ලුණු කුඩු තේ හැන්දක් සහ දෙහි බෑයක යුෂ එකතු කර හොඳින් කලවම් කරගන්න.

වතුර බේරුනු කෙසෙල් මුව දෙකට මැදින් පලාගෙන මැද ඇති නාරටිය ඉවත් කරගන්න. 

දැන් කෙසෙල් මුව සිහින්ව ලියාගන්න.

ලියාගත් කැබලි කහට පිපීමෙන් වළක්වා ගැනීමට කහ වතුරට දමන්න.

ලියාගත් කෙසෙල් මුව කැබලි ටික වේලාවක් කහ වතුරේ තබා ගන්න. මේ අතරතුර අනෙක් ද්‍රව්‍ය සූදානම් කරගන්න ඔබට පුළුවන්. 

ඒ සඳහා ලොකු ලූණු ගෙඩිය දෙකට කපා සිහින්ව ලියාගන්න.

සුදු ලූණු පෙති කපාගන්න.

අමු මිරිස් වෙන් නොවෙන සේ දෙකට මැදින් පලාගන්න.

රම්පෙ සහ කරපිංචා සිහින්ව ලියාගන්න.

කරදමුංගු සහ කරාබුනැටි එකට දමා මඳක් තලාගන්න. 

වතුර මේස හැඳි 02 ක් පමණ ගෙන එහි සියඹලා හොඳින් දියකර උකු සියඹලා ද්‍රාවණයක් සාදාගන්න. (වැඩිපුර වතුර භාවිතා කිරීමෙන් වැළකිය යුතුමයි)

දැන්, වතුර පොඟවා ගත් කෙසෙල් මුව කැබලි වල වතුර හොඳින් මිරිකා ඉවත් කර අතුරා තබන්න.

තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත්වෙන විට විට වතුර බේරා ගත් කෙසෙල් මුව කැබලි කොටසින් කොටස එක්කර රන්වන් පැහැවන තුරු බැඳගන්න.

ඊළඟට ලූණු කැබලිත් රන්වන් පැහැවන තුරු බැඳගන්න.  

ඊළඟට, අමුමිරිස් කරල් බැඳගන්න. 

ඔබ කූනිස්සන් වෙනුවට හාල් මැස්සන් යොදාගන්නවා නම් හාල් මැස්සන් දෙකට මැද්දෙන් ඉරා රන්වන් පාට වනතුරු බැඳගන්න.

දැන්, භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැන්ඳක් දෙකක් එකතු කර තෙල් රත්වන විට කූනිස්සන් හෝ වියළි ඉස්සන් දමා බැඳගන්න.

වතුර ගතිය ඉවත්වී සැහැල්ලු වෙන තෙක් බැඳුනු පසු එයට කෑලි මිරිස් මේස හැඳි 02 ක්, සීනි මේස හැඳි 02 ක්, කරපිංචා, රම්පෙ සහ තලාගත් කරදමුංගු, කරාබුනැටි මිශ්‍රණය එක්කර හොඳින් කලවම් කරගන්න. 

රස අනුව ලුණු කුඩුත් එක්කර කලවම් කරගන්න. 

විනාඩියක් පමණ තබා බැඳගත් කෙසෙල් මුව, ලූණු, සුදු ලූණු සහ අමු මිරිස් එක්කර හොඳින් කලවම් කරගෙන එයටම සාදාගත් සියඹලා යුෂත් එකතු කර කලවම් කරගන්න.

වතුර ගතිය අඩුවූ විට වැඩි කාලයක් තබාගන්න පුළුවන් නිසා සියඹලා යුෂ සමඟ එක්කර ගත් වතුර ඉවත් වන තෙක් විනාඩි 03 ක් 04 ක් පමණ ලිපේ තබා ගෙන ලිපෙන් බාගන්න. 

හොඳින් නිමුණු පසු හොඳින් සෝදා වතුර ඉවත් කරගත් වීදුරු භාජනයක අසුරා කල්තබා ගන්න ඔබට පුළුවන්.

එහෙනම්, හදල බලමුද කෙසෙල් මුව සීනි සම්බෝලයක්?

මේ වගේම රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

රසට කන්න – සුවෙන් ඉන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා  

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here