තක්කාලි වලින් ලස්සන වෙමු.. – Sri News

0
14

තක්කාලි භාවිතා කිරීමෙන් ඔබට ලස්සන වෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද ? ඇත්තටම තක්කාලි කියන්නේ ඔබට ඔබේ සම සඳහා භාවිතා කරන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් එකක්.නමුත් ඔබට හොඳම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්නේ තක්කාලි නිවැරදි ආකාරයෙන් භාවිතා කළොත් විතරයි.

තක්කාලි වලින් සමට ලැබෙන වාසි මොනවද ? 

මැරුණු සෛල ඉවත් කරයි

තක්කාලි යුෂ මුහුණේ ආලේප කරන විට සම මත ඇති මැරුණු සෛල පහසුවෙන් ඉවත් කරගන්නට හැකියාව තියෙනවා.මෙයට හේතුව වන්නේ තක්කාලි වල ඇති ස්වාභාවික ලෙස exfoliate කිරීමේ එන්සයිම බොහෝමයක් අඩංගු වීමයි.ඔබේ මුහුණ සඳහා මෘදු exfoliater එකක් ලෙස තක්කාලි සමඟ සීනි භාවිතා කරන්නට පුළුවන්.

කුරුලෑ පාලනය කරයි 

තක්කාලි විටමින් C , A සහ ​​K වලින් පොහොසත් වෙනවා. එසේම, එය ආම්ලික ගතියෙන්ද යුක්ත වන අතර, ඔබේ සම ගැඹුරින් පිරිසිදු කරමින් සමේ pH අගය පවත්වා ගැනීමට උපකාරී වනවා . කුරුලෑ ඇති සම මත තක්කාලි දිනපතා යෙදීමෙන් කුරුලෑ ඇතිවීම වළක්වා ගත හැකියි

සමෙහි සිදුරු වැසීමට උපකාරී වෙයි 

සමෙහි ඇති සිදුරු විවෘත වී තිබෙන විට අපිරිසිදු බැක්ටීරියා , විෂ බීජ සහ වෙනත් අපද්‍රව්‍යයන් සමට ඇතුළු වී ආසාදන ඇති කිරීම සහ කුරුලෑ ඇතිවීම සිදු වනවා.සම මත තක්කාලි භාවිතා කිරීම මෙම සිදුරු තද කිරීමට  හැකි ස්වාභාවික අමුද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරනවා.

හිරු කිරණින් ඇතිවන පිළිස්සීම් වලට ප්‍රතිකාර කරයි

ඔබේ සම පිළිස්සීම් වලට ලක්විය හැකි පහසුම ආකාරයක් තමයි අව් රශ්මිය කියන්නේ.මෙවැනි පිළිස්සීම් වලට ප්‍රතිකාර කිරීමට සහ අව් රශ්මිය නිසා සම මත ඇතිවිය හැකි දුඹුරු පැහැ ලප ඉවත් කිරීමට භාවිතා කළ හැකි විශිෂ්ට ස්වාභාවික අමුද්‍රව්‍යයක් ලෙස තක්කාලි හඳුන්වන්නට පුළුවන්. තක්කාලි වල බහුලව අඩංගු වන විටමින් C සහ විටමින් A මගින් සමෙහි ඇති විවිධ තත්ත්වයන් සමනය කරන අතර දුඹුරු පැහැ ලප ඉවත් කර ගැනීමටද හැකියාව ලැබෙනවා.

වියපත් වීමේ ලකුණු අවම කරයි 

තක්කාලි වල අඩංගු වන විටමින් ඩී මගින් සම මත ඇතිවන ලප , කැලැල් , අඳුරු කව , රැලි ඇතුලු වියපත් වීමේ ලක්ෂණ බොහෝමයක් පාලනය කරනවා. 

තක්කාලි ඔබේ සමට භාවිතා කරන්නේ කොහොමද ?

තක්කාලි සහ මී පැණි ෆේස් පැක් 

මී පැණි මගින් සමට තෙතමනය ලබාදී සම පෝෂණය කරන අතර එයට තක්කාලි එකතු කිරීම මගින් වැඩි ප්‍රතිලාභ ලබාගන්න ඔබට පුළුවන්.

තක්කාලි පල්ප් මේස හැඳි දෙකකට මී පැණි මේස හැන්දක් එකතු කර මුහුණේ ඒකාකාරීව ආලේප කරන්න.

එය විනාඩි දහයක් හෝ පහළොවක් මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න.

මෙම සත්කාරය සතියකට දෙවරක් කරන්න.

තක්කාලි සහ පැපොල් ෆේස් පැක් 

මෙම ෆේස් පැක් එක සම වයසට යාම පාලනය කිරීමට , කැලල් මකා දැමීමට සහ කුරුලෑ අඩු කිරීමටද උපකාරී වෙනවා.

තක්කාලි පල්ප් මේස හැඳි දෙකකට හොඳින් පොඩි කරගත් පැපොල් මේස හැඳි දෙකක් මිශ්‍ර කරන්න.

මෙම ෆේස් පැක් එක සම මත ආලේප කර විනාඩි පහළොවක් තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

මෙම සත්කාරය සතියකට දෙවරක් කරන්න.

තක්කාලි සහ ලෙමන් ෆේස් පැක්

සම පැහැපත් කර ගැනීම සඳහා ඔබට භාවිතා කරන්නට පුළුවන් හොඳම ෆේස් පැක් එකක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.

තක්කාලි පල්ප් මේස හැඳි දෙකකට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කර මුහුණේ ආලේප කරන්න.

මෙය විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මෙම සත්කාරය සතියකට වරක් පමණ කරන්න

තක්කාලි සහ යෝගට් ෆේස් පැක් 

මෙම ෆේස් පැක් එක සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට සහ සම පැහැපත් කර ගැනීමට උපකාරී වෙනවා 

තක්කාලි ගෙඩි භාගයක් යෝගට් මේස හැඳි දෙකක් සමග හොඳින් බ්ලෙන්ඩ් කරගන්න

මෙය මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න

මෙම සත්කාරය සතියකට වරක් පමණ සිදු කරන්න.

තක්කාලි කියන්නේ ඔබේ මුළුතැන්ගෙයින් ඉතාම පහසුවෙන් සොයාගන්න පුළුවන් දෙයක්. ඒ වගේම මෙය ඉතාම මෘදුව සම මත භාවිතා කළ යුතු දෙයක් බවත් ඔබ මතක තියාගන්නට ඕනේ. 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here