මිරිසට හදන තෙල් පෑදුණු සාඩින් කරියක්.. – Sri News

0
17

සාඩින්, සැමන් හෝ ටින්මාළු විදිහට හඳුන්වන කල්තබා ගන්න පුළුවන් විදිහට ඇසුරුම් කරපු මේ මාළු වර්ග ශ්‍රී ලාංකීය අපි අතර බොහොම ජනප්‍රිය කෑමක්නෙ.

කපපු ලූණු, මාළු මිරිස්, තක්කාලි එක්ක කලවම් කරල හදපු සැමන් සම්බෝල, අල එක්ක කලවම් කරල හදන සැමන් කට්ලට්, සාඩින් වලින් අපි නිතරම හදන කෑම වර්ග කියල ඔබ දන්නව. 

හැබැයි, ඉස්සර සැමන් ටින් එකක් කඩද්දි ගේ පුරා විහිදුනු සැමන් සුවඳ දැන් අඩුවෙලා, සැමන් වල රස අඩුවෙලා කියල බොහෝ ගෘහණියන්ගෙන් අපිට අහන්න ලැබෙනවා.  

අන්න ඒ නිසා ගෑවුනු තැන කන්න පුළුවන් මිරිසට සැමන් උයන ක්‍රමයක් කියල දෙන්නයි smart lady අපි අද බලාපොරොත්තු වෙන්නෙ. 

මුලින්ම අපි බලමු, අපිට අවශ්‍ය කළමණා මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

කටු ඉවත්කර පිරිසිදු කරගත් සැමන් ටින් එකක මාළු 

වතුර කෝප්ප 03 ක් 

අඟලක පමණ රම්පේ කොළ කැබැල්ලක් 

කරපිංචා ඉත්තක කොළ 

පෙති කපාගත් සුදුලූණු බික් 04 ක් 05 ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක් 

සිහින්ව කපාගත් අඟල් භාගයක පමණ ඉඟුරු කැබැල්ලක් 

අඟලක පමණ කුරුඳු කැබැල්ලක් 

සූදුරු මේස හැඳි 01 ක් 

අබ තේ හැඳි 01 ක් 

වෙන් නොවෙන සේ දෙකට පලාගත් අමු මිරිස් කරල් 03 ක් 

ගොරක කැබැල්ලක් 

කරදමුංගු ගෙඩි 02 ක් 

කරාබුනැටි 02 ක් 

මිරිස් කුඩු මේස හැඳි 02 ක් 

කහ කුඩු තේ හැඳි ½ ක් 

තුනපහ කුඩු මේස හැන්ඳක් 

ලුණු කුඩු 

පොල්තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට පොල් තෙල් එකතු කරගන්න.

පොල්තෙල් රත්වූ විට අබ එකතු කරගන්න.

අබ ඇට පුපුරන විට සූදුරු එකතු කර බැදෙන්නට හරින්න. 

එයට කපාගත් සුදුලූණු, ඉඟුරු එකතු කරගන්න. 

සුදුලූණු සුවඳ එනතෙක් බැඳුණු පසු ලොකු ලූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා සහ කුරුඳු පොතු එක්කර ගන්න.

සියල්ලම හොඳින් කලවම් කර ලූණු රන්වන් පැහැයට හැරෙන්න පටන් ගන්නා තුරු බැඳෙන්නට තබන්න. 

දැන් එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 02 ක් පමණ තබා වතුර කෝප්ප 03 එක්කර ගන්න. 

වතුර එක්කර හොඳින් කලවම් කරගෙන විනාඩියක් පමණ තබා එයට ගොරකා කැබැල්ල එකතු කරගන්න. 

දැන් හොඳින් හැඳි ගා ගන්න. 

වතුර නටන තුරු මඳ ගින්නේ තබා වරින් වර හැඳිඟාන්න අමතක කරන්න එපා. 

වතුර නටන්න පටන් ගත් විට, පිරිසිදු කරගත් සැමන් කැබලි එයට එක්කර ගන්න. 

සැමන් කැබලි පොඩි නොවෙන සේ ප්‍රවේශමෙන් කලවම් කර විනාඩියක් පමණ තබා රස අනුව ලුණු එකතු කර නැවත සෙමින් කලවම් කරගන්න. 

නැවත වතුර නටන තුරු තබා ලිපෙන් ඉවත්කර ගන්න. 

පාන්, ඉඳි ආප්ප, බත් මේ ඕනෑම ආහාරයක් සමඟ උණුසුම්වම රස විඳින්න පුළුවන් රසම රස සාඩින් කරිය ඔන්න ලෑස්තියි. 

එහෙනම්, හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

මේ වගේම රස, ගුණ, සුවඳ පිරුණු කෑමක් අරන් අපි නැවත හමුවෙමු. 

එතෙක් ඔබට සුව දවසක් වේවා !

සටහන – දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here