හැම තිස්සෙම වැඩ කරන්න කම්මැලි දැනෙන්න හේතු – Reasons for feeling tired all day long – Sri News

0
2

ඉන්නෙ ඔෆිස් එකේ වුණත් ගෙදර වුණත් වැඩක් කරන්න හිත දෙන්නෙම නැත්නම් එක ඔබටම කරදරයක් වෙලා ඇති. වැඩ කන්ද උසට තිබුණාට ඒ එකක්වත් ඉවර කරන්න කොහෙන් පටන් ගන්නද කියලා කල්පනා කර කරම ඉද්දී තවත් වැඩ ගොඩ වැඩි වෙනකොට සේරම දමලා ගහලා වනගත වෙන්නත් හිතෙනවා ඇති. හැබැයි ඉතින් අපිට මෙහෙම වැඩ කරන්න කම්මැලි වෙන්න හේතු බොහොමයක් තියෙන්න පුළුවන්. මේ ඒවායෙන් ටිකක්.

 

ඔබ නිදා ගන්න ප්‍රමාණය කිසියම් හේතුවක් නිසා අඩුව ගොසින් තිබුණා නම් දවසක් වෙන් කරගෙන එදාට හොඳට නිදාගන්න. එහෙම නිදාගනිද්දි හෝ ඒ විධියට දවසක් වෙන් කරගන්න අමාරු නම් රෑට නිදාගනිද්දී ඔබට කරන්න තියෙන කිසිම වැඩක් ගැන කල්පනා කරමින් හෝ හිතේ තියෙන ප්‍රශ්න ගැන සිතමින් ඉන්න එපා. ඇස් දෙක පියාගත්තාට පස්සේ ඇතිවෙන කළුවරේ තනිවෙලා ඒ කළුවරේ තිබෙන නිදහස් බව, හුස්ම වැටෙන හැටි, හුස්ම ගනිද්දී පපුව හෝ බඩ උස් පහත් වෙන හැටි වගේ දේකට හිත යොමු කරලා හිත නිදහස් කරගන්න. කුඩා දරුවන්ට දිනකට පැය 16ක විතර නින්දක් අවශ්‍ය වුණත් එයාලාගේ වැඩේම නැගිටගෙන ඉඳන් අපිට වධ දෙන එකනේ. තරුණ වයසේ අයට පැය 9ක වත් නින්දක් අවශ්‍ය වන අතර වැඩිහිටියන්ට පැය 8ක නින්දක්වත් අවශ්‍ය වෙනවා.

 

ඩයට් කරනවා කියලා පෝෂ්‍යදායී ආහාර සේරම අතෑරලා දාලා ඉන්නවා නම් වැඩක් කරන්න තියා ජීවත් වෙන්නවත් හයියක් ඇඟට ලැබෙන්නේ නැහැ. ඩයට් කරද්දී කරන්නට ඕන හැම කෑම ම නොකා ඉන්න එක නෙවෙයි. වැඩිපුර මේද, සීනි ආදී කැලරි ලැබෙන ආහාර අතහරිමින් දිනයට අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය ටික පමණක් ලබා ගැනීමයි. ඒ වගේම ඔබ උදේට පරක්කු වෙලා නැගිටලා ඔෆිස් එකට දුවනවා නම් උදේ කෑම එකත් ගොඩක් වෙලාවට මඟහැරෙනවා ඇති. මේක හිසරදයට, ඇඟට පණ නැතිකම වගේ හේතු ගොඩකට මුල වෙනවා. යන ගමන් කරන්නම දෙයක් නැත්නම් ෂෝට් ඊට් එකක් හරි අරගෙන යන්න එනිසා අමතක කරන්න එපා.

 

අඩුවෙන් කනවා වගේම බඩජාරියා වගේ සේරම කාගෙන කාගෙන ගියාට පස්සෙත් වැඩක් කරන්න තියා හුස්මක් ගන්නත් බැහැ. ඊට පස්සේ 2ට 3ට විතර පට්ටම නිදිමතකුත් එනවා. ඊට පස්සේ ඉතින් ආයෙ ඔෆිස් එකේ කියලා සිහියක් නෑ නින්දක් ගහන්නමයි වෙන්නේ. කොහොමටත් ඇඟට තෙහෙට්ටු තියෙන වෙලාවක වැඩිපුර ආහාර ගත්තාම නිදිමත ගතිය, මහන්සි ගතිය එනවා වැඩියි. මොකද අර කෑම ටික දිරවන්නත් ඇඟ වෙහෙසෙන්න එපැයි. බඩේ පිරුණු ගතිය ගොඩක් වැඩි වුණාම මානසික වශයෙනුත් සර්ව සම්පූර්ණ හැඟීමක් ඔළුවට ගහන නිසා පොඩි මත් ගතියක් (බුදිමත) ඇවිත් අනාගතේ හීන ටිකත් අමතක කරලා නින්දෙන් හීන ටිකක් දකින්න තමයි හයිය ලැබෙන්නේ.

 

ජලය පානය කිරීමෙන් අපේ ඇඟේ තිබෙන අපද්‍රව්‍ය හොඳින් ඉවත් වීම සිදුවෙමින් ප්‍රාණවත් බවක් ගෙන එනවා. ජලය හොඳින් පානය කිරීම බාහිර පෙනුමටත් බොහොම බලපානවා. වැඩ වැඩිකම නිසා ඔබට ජලය පානය කරන්න අමතක වෙනවා නම් ෆෝන් එකේ තියෙන Water Drink Reminder වගේ ඇප් එකක ඔබ බොන ජලය ප්‍රමාණය සටහන් කරන්නටත්, දවසකට ගෝල් එකක් හදලා ඒක සම්පූර්ණ කරන්න ඇප් එක හරහාම මතක් කරවා ගන්නටත් පුළුවන්. උදේ පාන්දර නැගිට්ට ගමන් වුණත් වතුර වීදුරුවක් පානය කරන එක ශරීරයට බොහොම හොඳ දෙයක්. දවසම ප්‍රබෝධමත් වෙන්න ඒක ලොකු තල්ලුවක් වෙනවා.

 

 

ඩිප්‍රෙෂන් හෙවත් විෂාදය කියන්නේ අපේ energy level බස්සන මාර හතුරෙක්. ඔබ කැමතිම දෙයක් නොලැබී ගියාම, ලව් එක අප්සෙට් ගියාම, ගෙදර හෝ ඔෆිස් එකේ ප්‍රශ්න වගේ දේවල් ඔළුවට ගහලා ඒවා ගැන එක දිගටම හිත හිත ඉන්න ගියාම නිකම්ම ඩිප්‍රෙෂන් එනවා. ඊට පස්සේ වැටිලා පිස්සෙක් වගේ නිදාගන්න හිතෙනවා මිසක් මෙලෝ සංසාර වැඩක් කරන්න හිත දෙන්නේ නැහැ. මේකට කරන්න ඕන හොඳම දේ තමයි ඒක අමතක වෙලා යන විධියෙ කටයුත්තක නිරත වෙන එක. හිතේ දුකක් තියෙන වෙලාවට ඒකට සම්බන්ධ දෙයක් ඒ කිව්වේ රොමෑන්ටික් ෆිල්ම් බැලිල්ල, ට්‍රැෆික් එකේ හිරවෙන එක වගේ දෙයක් නොකර පොඩ්ඩක් හිත රිලැක්ස් වෙන විධියේ වැඩක් කරන්න. සේරම අමතක කරලා ගිහින් අයිස්ක්‍රම් එකක් කාලා එන්න. කන ගමන් එකේ රස විඳින්න. සින්දුවක් අහලා හොඳ කොමඩියක් බලන්න. ඊට පස්සේ වැඩට බැහැලා ඒක ගැන කල්පනාවෙන් වැඩේ කරන්න. මොකද, ප්‍රශ්නයක් අවශ්‍ය වේලාවේදී විසඳන්නේ නැතිව ඒ ගැන හිත හිත හිටියොත් වැඩ ගොඩ ගැහෙනවා විතරයි අන්තිමට.

 

මේවා හැරුණාම ඔබට තවදුරටත් වැඩ කරන්න ශක්තිය නැත්නම් රුධිරයේ ඔක්සිජන් අවම වන ඇනීමියාව, තයිරොක්සීන් හෝර්මෝනය මඳවීමට බලපාන තයිරොයිඩ් ග්‍රන්ථියේ අවබලතාව වගේ හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා එවන් ගතියක් ඔබට දැනෙනවා නම් වහාම ගොස් වෛද්‍යවරයෙක් මුණ ගැසීමයි හොඳ.

 
Cover Image Source – huffingtonpost.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here