ලෝකයම රහසිගතව පාලනය කරනවා යැයි කියන රොත්ස්චයිල්ඩ් පවුලේ පුරාණය – Sri News

0
2

1844 වගේ ඈත කාලයක ඇලෙක්සැන්ඩර් ඩූමා අතින් ලියැවුණු මොන්ත ක්‍රිස්‍තෝ සි‍ටුවරයා පොතේ, ඒ කාලේ ලෝකයේ ධනවත්ම සහ බලවත්ම අය අතුරින් කෙනෙක් විදියට සඳහන් වෙනවා රොත්ස්චයිල්ඩ් කියන නාමය. ඒ වගේම 2018 වසරේ ලෝක කුමන්ත්‍රණ ගැන හෙළිදරවු කිරීම් පළවෙන වෙබ් බ්ලොග් අඩවියකත් රොත්ස්චයිල්ඩ් නාමය සඳහන් වෙනවා. ඇත්තටම මේ තරම් දීර්ඝ ඉතිහාසයක් තියෙන, ඉතිහාසය පුරාම අඩුවක් නැතිව සඳහන් වෙන මේ රොත්ස්චයිල්ඩ් පවුල කියන්නේ කවුද? ඇත්තටම අදටත් ලෝකේ ඉන්න සුපිරිතම ධනවත් පවුල රොත්ස්චයිල්ඩ් ද? අදටත් රහසිගතව ලෝකයම පාලනය කරන්නේ රොත්ස්චයිල්ඩ් බැංකුකරුවන්ද? ඇත්තටම ඉතිහාසය පුරාම සඳහන් වන ලෝක මට්ටමේ කුමන්ත්‍රණයන් මැද රොත්ස්චයිල්ඩ් නම තියෙනවාද?

 

රොත්ස්චයිල්ඩ් බැංකු අධිරාජ්‍යය ආරම්භ කරන්නේ ජර්මානු යුදෙව්වෙක් වුණු මේයර් ආම්ස්චල් රොත්ස්චයිල්ඩ් විසින්. මේයර් උපත ලබන්නේ 1744 පෙබරවාරි 23 ෆ්‍රෑන්ක්ෆර්ට් හිදී. රොත්ස්චයිල්ඩ් මුතුන් මිත්තන් ගැන තියෙන අදහස් නියම වශයෙන් වාර්තා විදියට නැති වුනත්, රොත්ස්චයිල්ඩ් පරපුර මූලික වශයෙන් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ වෙලා හිටියා කියලා කියන්න පුලුවන්. රොත්ස්චයිල්ඩ් මුතුන් මිත්තන්ගෙන් ඉතිහාසයේ දකින්න ඉන්න ආදිතමයා වන්නේ 1577 දී හිටි ඉසාක් එල්චනන් රොත්ස්චයිල්ඩ්. ඇත්තටම මේයර් රොත්ස්චයිල්ඩ්ගේ පියාගේ ‍රැකියාව වෙන්නේත් වෙළඳ හුවමාරු සහ මුදල් හුවමාරු කිරීම. ඔහු එකල හිටි රජ කුමාරයා විලියම්ට කාසි සපයන්නා වෙලා හිටියා කියලා කියනවා.

රොත්ස්චයිල්ඩ් බැංකු ක්ෂේත්‍රයට එන්නේ ඒ කාලේ තිබුණු සයිමන් වුල්ෆ් ඕපන්හයිමර් බැංකුවේ සේවකයෙකු විදියට වැඩ කරමින්. විදේශ ගණුදෙනු සහ මුදල් හුවමාරු සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබාගන්න මේයර් රොත්ස්චයිල්ඩ් ආයෙමත් ෆ්‍රැන්ක්ෆර්ට් වලට එන්නේ සිය සහෝදරවරුන් සමගින් එකතුවෙලා පවුලේ ව්‍යාපාරය කරගෙන යන්න. මේයර් දරුවන් අට දෙනෙකුගේ පවුලේ එක්කෙනෙක්. කොහොම හරි ෆ්‍රැන්ක්ෆර්ට් වල දුර්ලභ කාසි වෙළෙන්දෙක් වෙන රොත්ස්චයිල්ඩ් රාජ අනුග්‍රහයත් ලබමින් තමන්ගේ ව්‍යාපාරය සෑහෙන දියුණුවට ගෙන එනවා. විශේෂයෙන්ම ප්‍රංස විප්ලවයත් රොත්ස්චයිල්ඩ්ට වාසි ගෙන දෙනවා. මේ වෙනකොට රජ පවුලේ ජාත්‍යන්තර බැංකුකරුවා වෙලා ඉන්න රොත්ස්චයිල්ඩ් නැපෝලියන් ආක්‍රමණයේදී පවා ඥාණවන්ත විදියට ආයෝජනය කරලා තිබීම හේතුවෙන් ලාභ ලබා ගන්නවා.

 

මේ වෙනකොට රාජ්‍ය සබඳතා සමග ඉහළ මට්ටමේ බැංකුකරුවෙකු බවට පත්වෙලා හිටපු මේයර් ආම්ස්චල් රොත්ස්චයිල්ඩ් ජාත්‍යන්තර ණය මුදල් පවා ලබා දීම ආරම්භ කරනවා. හැබැයි ඔහුගේ බැංකු අධිරාජ්‍යය ආරම්භ වෙන්නේ තමන්ගේ දරුවන් සමගින් ව්‍යාපාරය දියුණු කිරීමත් එක්ක. මේයර්ගේ තුන්වෙනි දරුවා වෙන නේතන් මේයර් රොත්ස්චයිල්ඩ්ව එංගලන්තයට යවන්නේ, පවුලේ රෙදිපිළි ආනයන ව්‍යාපාරයේ විදෙස් ශාඛාවක් ආරම්භ කරන්නට. එහෙම වුනත් නේතන් 1810 වෙනකොට ලන්ඩනයේ බැංකුවක් ස්ථාපිත කරනවා. මේ වෙනකොට ජ්‍යෙෂ්ඨ රොත්ස්චයිල්ඩ් කරන්නේ තමන්ගේ වැඩිමහළු දරුවන් එක්ක නිල වශයෙන් ව්‍යාපාරික හවුලක් ආරම්භ කරන එක. දැන් පැරිසියට, වියානාවට සහ නේපල්සයට යන දරුවන්, ලන්ඩනයේ සිටිනා නේතන් සහ ෆ්‍රැන්ක්ෆර්ට් හි නතරව සිටිනා තවත් දරුවෙකු අතර ඇතිවෙන මේ හවුල් සමාගම හරහා තමයි රොත්ස්චයිල්ඩ් බැංකු අධිරාජ්‍යය ආරම්භ වෙන්නේ.

මේ වෙනකොට නිර්මාණය කෙරෙනවා සුප්‍රකට රොත්ස්චයිල්ඩ් වෙළෙඳ ලාංඡනය. මෙහි පෙන්නුම් කෙරෙන්නේ ඊතල පහක්. මේ වෙනකොට පුත්‍රයින් පස් දෙනා රොත්ස්චයිල්ඩ් බැංකු අධිරාජ්‍යය සාර්ථකත්වය වෙත ගෙනියන ආකාරය දැකීමෙන් පසුව එහි අර්ථය හිතාගන්නට කාටවත් අසීරුතාවයක් මතුවෙන්නේ නැහැ.

වැඩිමහළු රොත්ස්චයිල්ඩ්ගේ අභාවයෙන් පසුව වුවත් රොත්ස්චයිල්ඩ් පවුලේ වාසනාව නතර වෙන්නේ නැහැ. ලෝකයේ සාර්ථකම බැංකු පවුලක් විදියට රොත්ස්චයිල්ඩ් සහෝදරවරුන් – විශේෂයෙන්ම නේතන් රොත්ස්චයිල්ඩ්- දියුණුවට පත්වෙනවා. ඒ වගේම බොහොම දක්ෂ ව්‍යාපාරික සැලසුම් නිසා ඓතිහාසික සිදුවීම් වලදීත් ඔවුන්ට වාසි අත් වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම්, නේතන් විසින් ආරම්භ කරනා උපාය ක්‍රමයක් වෙන්නේ යුධ සමයේදී රජයට මුදල් ණයට දීම. 1814 දී වෙලින්ග්ටන්ගේ හමුදාවට නේතන් මුදල් ණයට දුන්නා. මේ උපාය ක්‍රමයේ ඥාණවන්ත කම පෙනී ගියේ යුධ සමය අවසන් වන විට මෙයින් ලැබෙනා ලාභය අහස උසට වුණු නිසායි. මේ උපාය ක්‍රමය ඉක්මනින්ම අනෙක් රොත්ස්චයිල්ඩ් සහෝදරවරුන්ද අනුගමනය කරනු ලැබුවා.

 

මේයර් ආම්ස්චල් රොත්ස්චයිල්ඩ් හට තමන්ගේ විවාහයෙනුත් තමන්ගේ බැංකු ව්‍යාපාරයට හොඳ ප්‍රාග්ධනයක් ලැබෙනවා. මේයර් විවාහ වෙන්නේ ගට්ල් ෂ්නැපර් සමගින්. ඇගේ පියාගෙන් රොත්ස්චයිල්ඩ්ට නොමසුරු දෑවැද්දක් ලැබෙනවා. මේ මුදල රොත්ස්චයිල්ඩ්ගේ නැගී එන බැංකු ව්‍යාපාරයට හොඳ සවි ශක්තියක් වෙනවා. ගට්ල් සහ මේයර් දෙදෙනාට පුතුන් පස් දෙනෙක් සහ දියණියන් පස් දෙනෙක් ලැබෙනවා.

කොහොම වුනත් මේයර් බිය වෙන කරුණක් වෙන්නේ තමන්ගේ පවුලේ ව්‍යාපාරයන් විවාහයන් හරහා වර්ධනය කරන්නට ගියොත් ඒක දියවී යා හැකියි කියලයි. මේ නිසා ඔහුගේ අන්තිම කැමැත්තෙන් රොත්ස්චයිල්ඩ් පවුලේ කාන්තාවන්ට සෘජු උරුමයක් අයත් කර දී තිබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදියට රොත්ස්චයිල්ඩ් පවුල තුළම විවාහයන් සිදුවුණා. ජ්‍යෙෂ්ඨ මේයර් රොත්ස්චයිල්ඩ්ගේ මිණිබිරියන් සිවු දෙනෙකුම විවාහ වුණේ ඔහුගේ මුණුබුරන් සමගින්. ඒ කියන්නේ ඒ මිණිබිරියන්ගේ ළඟම ඥාති සොහොයුරන් සමග. එක් මිණිබිරියක් විවාහ වුණේ තමන්ගේ රොත්ස්චයිල්ඩ් මාමා කෙනෙකු සමග.

 

බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයෙකු වෙන නියල් ෆර්ගියුසන්, රොත්ස්චයිල්ඩ් පවුල ගැන විස්තර කරන්නේ මෙහෙමයි.

“දහනව වන සියවසේ වැඩි ප්‍රමාණයක් තුළ එන් එම් රොත්ස්චයිල්ඩ් බැංකු ව්‍යාපාරය, ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළ පවා පාලනය කළ ලෝකයේ දැවැන්තම බැංකුව විදියට ලෝක ආර්ථිකයට දැනෙන බලපෑමක් එල්ල කරනවා. බොහෝ ආණ්ඩු වල ආර්ථිකය පවා ස්ථාවර කරන්නට යෙදුණේ රොත්ස්චයිල්ඩ් බැංකුව විසින්”

ලෝකයේ ධනවතුන්ම වෙන්නේ රොත්ස්චයිල්ඩ් පවුල කියලා විශ්වාස කරන බොහෝ දෙනෙකු කියන්නේ, වර්තමානයේ රොත්ස්චයිල්ඩ් පවුලේ සමස්ත ධනය ඩොලර් ට්‍රිලියන දෙකද ඉක්මවලා ගිහින් තියෙනවා කියලයි. ඒක වෙන්නත් පුලුවන්. මොකද මේ වෙනකොට රොත්ස්චයිල්ඩ් පවුලේ ධනය අනුප්‍රාප්තිකයින් ගණනාවක් අතර බෙදී ගිහින් තිබෙන නිසා. ඒ නිසා ෆෝර්බ්ස් සඟරාවේ සුපිරිතම ධනවතුන් අතර ඉහළින්ම රොත්ස්චයිල්ඩ්වරුන් නැති එකත් තේරුම් ගන්න හැකියි. තවත් සමහරු කියනවා මේ මුදල ඩොලර් ට්‍රිලියන පන්සීයක් කියලත්!

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here