අපේ ගුවන් හමුදාව සතුරන්ට එරෙහිව හරි හරියට පාවිච්චි කළ ගුවන් යානා – Sri News

0
2

ශ්‍රී ලංකාව දශක තුනකට එහා කාලයක් ඇදුණු ත්‍රස්තවාදී ගැටුම් වලින් 2009 දී නිදහස් විය. එම යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදාවන්ට ශක්තියක් වූ ගුවන් හමුදාව ගුවනින් ගොස් ත්‍රස්තවාදී මර්මස්ථාන රැසක් අඩපණ කිරීම, ගොඩබිමින් ඉදිරියට ඇදුණු පාබල හමුදාවන්ට නොමද සහායක් විය. ත්‍රස්තවාදීන්ගේ සැපයුම් අඩාල කිරීම, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගුවනින් නිරීක්ෂණය කිරීම මෙන්ම කොටුවුන හමුදාවන් සහ සාමාන්‍ය ජනයා ගලවා ගැනීමටද ගුවන් හමුදාව යුද්ධයේදී දායක විය. ඊට අමතරව යුද්ධයේදී සිදුවූ සැපයුම් ලබා දීමටද ගුවන් යානා භාවිතා විය. සතුරන් සුනු විසුණු කරන්නට ප්‍රහාර එල්ල කළ යානාවෝ සේම හමුදාවන්ට ශක්තිය සැපයූ සැපයුම් යානාවන්ද යුද්ධයකදී එකසේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.

 

අශ්ව බල 2200 එන්ජින් දෙකක් මගින් බලගැන්වෙන, තටු 5කින් සමන්විත මෙම ප්‍රහාරක හෙලිකොප්ටරය පැය දෙකක් පමණ ගුවන් මෙහෙයුම් වල නිරත වීමට හැකි ලෙස නිපදවා තිබේ. දිවා රාත්‍රී දෙකේම ප්‍රහාර එල්ල කළ හැකි එම් අයි 24 යානාවේ මිසයිල සහ ප්‍රහාරක රොකට් අවි රැසක් ඒ ඒ කාණ්ඩ යටතේ ගබඩා කරගෙන යා හැකිය. මෙම යානාව කෙලින්ම එතැන අහසට නැංවීම සහ සාමාන්‍ය ගුවන් යානයක් මෙන් ධාවන පථය දිගේ ගොස් ගුවන් ගත වීමේ හැකියාවන් දෙකෙන්ම සවිමත් වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෙනමම බලඝනයක් මගින් පාලනය වන මෙම එම් අයි 24 හෙලිකොප්ටර් යානා, භූමියේ පිහිටි ඉලක්ක වෙත සම්පූර්ණ ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රබල හැකියාවකින් යුක්තය.

රුසියාවේ නිෂ්පාදිත මෙම එම් අයි 24 හෙලිකොප්ටරයේ නිර්මාතෘ මිහයිල් මිල් නැමැත්තෙකි. 2009 මැයි 18වැනිදා ප්‍රභාකරන්ගේ මරණයෙන් අවසන් වූ සම්පූර්ණ මානුෂික මෙහෙයුම තුළ මර්මස්ථාන 250කට අධික ප්‍රමාණයක් විනාශ කරලීමට එම් අයි 24 හෙලිකොප්ටර් බලඝනයට හැකියාව ලැබුණි. ඒ ඔස්සේ ඉදිරියට ඇදුණු පාබල හමුදාවන්ට අහසින් ශක්තියක් වන්නට මෙම ප්‍රහාරක හෙලිකොප්ටරයට හැකියාව ලැබුණි.

එම් අයි 24 මගින් විනාශ කළ සතුරු මර්මස්ථාන…

 

චීනයේ නිෂ්පාදිත එෆ් 7 කාණ්ඩයේ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වන්නේ 1991 දීය. අපේ ගුවන් හමුදාව විසින් මිලදීගත් ශබ්දයේ වේගය පරයා ඇදෙන පළමු ගුවන් යානය වූ එෆ් 7 සාර්ථක ගුවන් මෙහෙයුම් රැසකට ගුවන් හමුදාවට දිරිය ලබා දුන් යානාවකි. 2008 සැප්තැම්බර් මසදී එල්. ටී. ටී. ඊ කුරුම්බැට්ටි ගුවන් යානාවක් බිම හෙලන්නේද මෙම එෆ් 7 ප්‍රහාරක යානාවක් මගිනි. අධිවේගී කෆීර් යානා වලට ගුවන් නියමුවන් පුහුණු කිරීමේ යානාවක් ලෙසද වර්තමානයේ දී එෆ් 7 යානාව ගුවන් හමුදාව විසින් භාවිතා කරනු ලැබේ.

 

අහස ගුගුරුවා ඇදෙන කෆීර් යානාවක ශබ්දය ඇසෙන විටම අහස දෙස බැලුවත් එය බලාගන්නට හැකි වන්නේ මොහොතක් පමණි. ශබ්දයේ වේගයද ඉක්මවා වේගයෙන් සතුරු ඉලක්ක කරා ඇදෙන මෙම කෆීර් යානා ඊශ්‍රායලයේ නිෂ්පාදනයකි. ඇමරිකාවට පවා යුධ තාක්ෂණය බෙදා දෙන ඊශ්‍රායලයේ මෙම නිෂ්පාදනය අපගේ වන්නි මෙහෙයුම් වලදී ත්‍රස්තවාදීන් ශබ්දයෙන් පවා බියෙන් වෙවුලවන්න සමත් වූ බලගතු ප්‍රහාරක යානාවක් විය. ගොඩබිමේ ඉලක්ක වෙත වඩාත් නිවැරදිව පහර දීමේ හැකියාවක් මෙම කෆීර් යානා සතුව තිබේ. යුධබිමේදී කිසිදු කෆීර් යානාවකට හානි කිරීමට ත්‍රස්තවාදීන්ට නොහැකි වුවත්, කටුනායක ගුවන් තොටුපලට 2001 ජූලි 24 වෙනිදා එල්ල වූ අපකීර්තිමත් ත්‍රස්ත ප්‍රහාරයේදී කෆීර් යානාවක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, තවත් යානා කිහිපයකට දැඩි අලාභහානි සිදුවිය.

 

පසුගිය කාලයේ ගුවන් යානා සම්බන්ධ ගනුදෙනු වලදීද ඉහළින්ම කියවුණු මිග් 27 යානා රුසියාවේ නිෂ්පාදිත ඒවා වේ. 70 දශකයේදී සෝවියට් රුසියාවේ ඉපදුණු මිග් 27 අයත් වන මිග් වර්ගයේ යානා වල අතීතය දෙවන ලෝක යුධ සමය දක්වා දිව යයි. යුද්ධයේ අවසාන සමයේදී ලංකාවේ ගුවන් හමුදාවට කුඩා කුරුම්බැට්ටි යානා මගින් ප්‍රහාර එල්ලකිරීමට ත්‍රස්තයින් උත්සාහ ගත්හ. ඉතා කුඩා පරිමාණ උත්සාහයක් වූ ඒ හැර අහසේදී දෙපාර්ශවයේ යානා අතර සටනක් අපේ ගුවන් හමුදාවට නොවීය. එහෙත් අවශ්‍ය නම් ගුවනේදීද සතුරු යානා සුනු විසුණු කර දැමිය හැකි බලයක් මිග් 27 යානාවන්ට තිබේ.

ඕනෑම රළු ගුවන් පථයකට වුවද ගොඩබැස්වීමේ හැකියාව ඇති මිග් 27 යානා පහළින්ම ගොස් සතුරු ඉලක්ක විනාශ කිරීමට හැකියාව ඇති යානාවකි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here