Google search engine
Home ගොසිප් පුවත් පෙම්වතිය හමුවෙන්න ගිය තරුණයා තාම අතුරුදන්: සිද්ධියට සැක දේශපාලකයාත් අතුරුදන්

පෙම්වතිය හමුවෙන්න ගිය තරුණයා තාම අතුරුදන්: සිද්ධියට සැක දේශපාලකයාත් අතුරුදන්

0
15

kuliyapitiya-incident

සිය 18 හැවිරිදි පෙම්වතිය මුණගැසීමට කුලියාපිටිය නිවසට ගොස් දින 9ක් තිස්සේ අතුරුදන් වී සිටින තරුණයා සම්බන්ධයෙන් ඊයේ (30දා) සවස් වනතුරුත් කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක්  පැවසීය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළ පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා කීය.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ කුලියාපිටිය, දීගල්ල පදිංචි සුසිත් ජයවංශ නමැති තරුණයෙකි. ඔහු චීන අවන්හලක් පවත්වාගෙන යන අයකු බවද පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් පසු පෙම්වතියත්, පියාත් ඇගේ 12 සහ 8 යන වයස්වල පසුවන සහෝදරියත්, සහෝදරයාත් පෙම්වතියගේ පියාගේ නැඟණියත්, නැඟණියගේ සැමියාත් ගේ දොර අත්හැර පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

අතුරුදන් වී සිටින තරුණයාගේ අත් පා බැඳ මෝටර් රථයක දමාගෙන හිටපු දේශපාලනඥයකුගේ නිවසකට රැගෙන ගියේ යැයි කියන තොරතුරක් සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙම තරුණයාව අතුරුදන් කර ඇතැයි කියැවෙන පෙම්වතියගේ පියා සම්බන්ධයෙන් ද පොලිස් ඇස යොමු වී තිබේ.

තරුණයාව සිය දියණිය හරහා මෙම පියා ගෙන්වාගෙන ඇතැයි පෙනී යන බවද පොලිසිය කියයි. පෙම්වතියගේ පියා තම හිතවතුන් දෙදෙනකු ද ගෙන්වාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිව ඇත. ඔවුන් පෙදරේරුවන් බවත් ඔවුන් දෙදෙනාම සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

ඔවුන් මෙම තරුණයාගේ ජීවිතයට කිසිදු හානියක් නොකළ බව පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

කෙසේ වෙතත්, ඔහුව මෝටර් රථයක දමාගෙන දේශපාලනඥයකුගේ නිවසට රැගෙන ගිය බව ඔවුන් දෙදෙනා පොලිසියට පවසා තිබේ. එම තරුණයාට ඉන්පසු සිදුවූ කිසිවක් නොදන්නා බව ඔවුන් පොලිසියට පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම තරුණයන් දෙදෙනා පවසනුයේ සත්‍යයක් දැයි යන්න වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් පොලිසිය පවසයි. අදාළ දේශපාලනඥයාගේ නිවස පිහිටි ප්‍රදේශයේ ආවේක්ෂණ කටයුතුවල බුද්ධි නිලධාරීන් නිරත වන බවද පොලිසිය පවසයි.

මේ වනවිට එම දේශපාලනඥයා හා ඔහුගේ පවුලේ පිරිස් ද අතුරුදන්ව ඇතැයි ද පොලිසිය පවසයි. අදාළ තරුණයාගේ ජීවිතයට හානියක් සිදුකරන්නට ඇතැයි මේ වනවිට පොලිසිය සැකපළ කරයි.

පෙම්වතියගේ පියා අවසන්වරට පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර පරාජයට පත්වූ අයකු බවද පැවැසේ. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් ඒකාබද්ධව පරීක්ෂණ සිදුකරයි.

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ජයසංඛ පතිරාජ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here