හැමදාම කන Fried Rice වෙනුවට වෙනස්ම රසයක Coconut Rice කාල බලමුද?  – Sri News

0
7

සුපුරුදු කෑම බීම හැමදාම එකම රසයට රස බලල ටිකක් වෙනස් රසයක් හොයන ඔබට උදව්වක් වෙන්න smart lady අපි නිතරම වෙනස් වෙනස් කෑම බීම අරගෙන එනව කියල ඔබ දන්නවනේ. 

ඔන්න අදත් අපි අරන් ඇවිල්ල තියෙන්නෙ ඒ වගේ වෙනස්ම රසයක කෑමක් තමයි. 

ශ්‍රී ලාංකීය අපිට පොල් කියන්නෙ අලුත් දෙයක් නෙමෙයිනෙ. 

පොල් කිරි, පොල් තෙල්, ගාගත් පොල් එකතු කරල විවිධ කෑම හදන ඔබට කිරි රස පිරුණු coconut rice හදාගන්නෙ කොහොමද කියල කියන්නයි ඔන්න අපේ අද සූදානම. 

හැමදාම පුරුදු fried rice, බිරියානි, කහ බත් නැතුව මේ විදිහට පොල් බත් හදල බලන්නකෝ. 

උදේ, දවල්, රාත්‍රී කෑමට වගේම අමුත්තන්ට සංග්‍රහ කරන්න වුනත් මේ බත් වර්ගය ලේසියෙන්ම හදාගන්න පුළුවන්. 

මුලින්ම අපි බලමු අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නෙ මොනවද කියල. 

අවශ්‍ය ද්‍රව්‍ය 

බෙරි නොවෙන සේ පිසගත් බත් කෝප්ප 01 ක් 

ගාගත් පොල් කෝප්ප 01 ක්

පොල් තෙල් මේස හැඳි 01 ක් 

ගිතෙල් තේ හැඳි 01 ක් 

වටානා පරිප්පු මේස හැඳි 01 ක් 

සූදුරු තේ හැඳි ½ ක් 

අබ තේ හැඳි ½ ක් 

රස අනුව ලුණු කුඩු

තුනට කඩාගත් වියළි මිරිස් කරල් තුනක් 

කරපිංචා ඉත්තක කොළ 

කුඩාවට කපාගත් ඉඟුරු තේ හැඳි 01 ක් 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් දෙකක් 

බැඳගත් රටකජු මේස හැඳි 01 ක් 

කජු මේස හැඳි 01 ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට ගිතෙල් සහ තෙල් එකතු කරන්න. 

තෙල් රත්වූ විට එයට අබ, සූදුරු, කරපිංචා, වියළි මිරිස් සහ වටානා පරිප්පු එක්කර හොඳින් කලවම් කරගන්න. 

අබ ඇට පුපුරන තෙක් රත්වීමට තබන්න. 

අබ ඇට පුපුරා අවසන් වූ පසු එයට අමු මිරිස්, ඉඟුරු, රටකජු සහ කජු එකතු කරගන්න.

 කජු රන්වන් පැහැයට බැදෙන තෙක් තබාගන්න. 

ඉන්පසු එයට ගාගත් පොල් වලින් ¾ ක් සහ රස අනුව ලුණු කුඩු එකතු කර ලිපේ ගින්දර අඩු කරගන්න. 

සියල්ල හොඳින් කලවම් කර එයට පිසගත් බත් එකතු කරන්න. 

දැන් මේ සියල්ලම නැවත හොඳින් මිශ්‍රකර ගෙන ලුණු බලා අවශ්‍ය නම් අඩු වැඩිය එකතු කරගන්න. 

ඉතිරි ගාගත් පොල් ටිකත් එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් ඉවතට ගන්න. 

ඔන්න අපි රස පිරුණු coconut rice සාදාගෙන අවසන්. 

ඔබේ කැමැත්ත මත භාවිතා කරන පොල් ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. 

කෘතිම රසකාරක හෝ වර්ණක නොමැති පිරිසිදු පෝෂණීය තවත් මේ වගේම කෑමක් පිළියෙල කරන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්න ආයෙ දවසක ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා  

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here