ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පරිශ්‍රයට පිරිසක් සමඟ බලහත්කාරයෙන් ඇතුළු වී එහි හිටපු ප්‍රවෘත්ති අධ්යක්ෂවරයකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (07) නියෝග කළාය.
හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නියම විණි.
මෙම සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටි හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් යන අය ඊයේ (07) අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත ඔහු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කළාය.
ඉකුත් 2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී. එම්. ජී. චන්ද්‍රසේකර යන අයට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ නුවන් උදය ගුණතිලක, මර්වින් සිල්වා හා ලාල් පීරිස් යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
මෙම නඩුව ඊයේ (07) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර චන්ද්‍රසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබා දුන්නේය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මැර කණ්ඩායමක් සමඟ 2007 දෙසැම්බර් 27 වැනි දින උදෑසන 9.30ට පමණ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පිහිටි තම කාර්යාලයට පැමිණි බවත්, මර්වින් සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම නඩුවේ පළමු සැකකරු තම කමිසයේ කොලරයෙන් අල්ලා තමාට පහර දුන් බවත් සාක්ෂිකරු සිය සාක්ෂිය ලබාදෙමින් ප්‍රකාශ කළේය.
මගේ නිව්ස් එක දාපු නැති එකා මොකාද? මම ඕකව අද බෙල්ලෙන් අල්ලලා එළියට දානවා. ලෙසින් තර්ජනය කළ මර්වින් සිල්වා මහතා ඕකව එළියට ඇදලා දාපන් කියලා නඩුවේ පළමු සැකකරුට පැවසූ බවත්, පසුව තර්ජන මැද තමන් රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ කාර්යාලයට දිව ගිය බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
පසුව තමන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා නිවසට ගිය බවද සිය සාක්ෂිය ලබාදෙමින් සාක්ෂිකරු විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සැකකරුවෙකු ලෙස නම් කළේ මීට වසර දෙකකට පෙරදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කර සිටියේ මෙම පැමිණිල්ලට වසර දාහතක් ගත වී ඇති බවත්, විවිධ පාර්ශ්වයන්ගේ බලපෑම් පැමිණිල්ලට එල්ල වී තිබීම හේතුවෙන් නඩු විභාගය මෙලෙස කල් දමමින් සිටින බවත්ය.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් ඉතාමත් සැලකිලිමත්ව කටයුතු කර සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අධිකරණය දැනුම්වත් කළ යුතු බවය.
මෙම නඩුවේ තෙවැනි සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම සහ එම සැකකරුගේ ඇපකරුවන් සම්බන්ධයෙන්ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළාය.
එහිදී එම සැකකරු මේ වන විට විදේශගතව ඇති බවට කරුණු ඉදිරිපත් විණි.
එම සැකකරු විදේශගත වී ඇත්නම් ලංකාවට පැමිණෙන විට වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කළාය.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජූලි මස 15 දිනට කල් තැබූ අධිකරණය විත්තියේ හරස් ප්‍රශ්න ඇත්නම් එදිනට ඉදිරිපත් කරන ලෙසට විත්ති පාර්ශ්වයට නියෝග කළේය.
(නිමන්ති රණසිංහ)
Sri News