යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි – Sri News | Sri Lanka Business News

0
13

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමුවරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ තිරසාරභාවය හා සංවර්ධනාත්මක අනාගතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින් සනිටුහන් කරනු ලබයි.

මෙම උත්සව අවස්ථාව සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති සහ නියෝජිතයන් ඇතුළු මෙරට තේ කර්මාන්තය නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී වූහ.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි Ceytea කර්මාන්තශාලාව ගෝලීය Pepsi – Lipton JV විසින් නිෂ්පාදනය කරන අයිස් ටී සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍යයක් වන Black Instant Tea Extract නිෂ්පාදනය කරන අතර, ලොව ප්‍රකට Lipton සහ Brisk වැනි සන්නාමයන් උදෙසා සේවා සපයන විශාලතම සැපයුම්කරු වේ. එසේම ආගරපතන නිෂ්පාදන භූමිය, තේවල නවීනත්වයේ හා තිරසාරභාවයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි සැපයුම් දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “ගෝලීය Pepsi – Lipton JV හි විශාලතම Black Instant Tea Extract සැපයුම්කරු වන්නේ යුනිලිවර් Ceytea ආගරපතන කර්මාන්තශාලාවයි. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ, දේශගුණය පිළිබඳ ක්‍රියකාරී සැලැස්ම යටතේ කෘෂිකාර්මික අමුද්‍රව්‍ය තිරසාර ලෙස සපයාගැනීමේ ප්‍රයත්නයේ වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඇතිකරගනු ලැබූ සහයෝගීතාවය පෙන්වා දිය හැකියි. වර්තමානය වනවිට ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් තිරසාර කෘෂිකාර්මික නිෂ්පාදන වෙත යොමු වී ඇති බැවින් මෙම මුලපිරීම “සිලෝන් ටී” සඳහා වැදගත් ධනාත්මක ඉදිරි පියවරක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.”

මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දැක්වමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තය අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් මෙම රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයට එළඹීමට හැකිවීම පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම අවබෝධතා ගිවිසුම ගෝලීය තේ කර්මාන්තයේ තරඟකාරීත්වය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස නම් කළ හැකියි.”

වර්තමානය වනවිට ශ්‍රී ලංකාව, ලොව හොඳම තේ අපනයනකරුවන් පස්දෙනා අතරට පැමිණ තිබේ. ඒ සඳහා ඇගැයීමට ලක්කරනු ලබන ක්‍රියාරාමුව ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාත්මක වනු ලබයි. පුනර්ජනනීය හා වන විනාශයෙන් තොර කෘෂිකර්මාන්තය තුළින් පාරිසරික බලපෑම අවම කිරීම, සදාචාරාත්මක සේවා ස්ථාන පිළිවෙත් අනුගමනය කිරීම තුළින් සියලු තේ කර්මාන්ත සේවකයින්ට සාධාරණ හා ගෞරවනීය ලෙස සැළකීම සහතික කිරීම මෙන්ම දැඩි පරීක්ෂණයන් හා නිරීක්ෂණයන්ට යටත්ව ශ්‍රී ලාංකීය තේවල අඩංගු ආරක්ෂාව හා ගුණාත්මකභාවය සහතික කිරීම යන කරුණු මෙයට අදාළ වේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here