ජපන් ජාතිකයන්ගේ නීරෝගී බවේ රහස් දන්නවද?  – Sri News

0
15

ඔෂීන්ව මතකද?

ඔෂීන්ගේ නොපරදින දිරිමත් බව මතකද?  

ජපානයත් හරියට ඔෂීන් වගේ තමයි. 

දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැඟී සිටිය ජපානය කියන්නෙ අද වෙද්දී ලෝකයේ බොහෝ දෙනෙක්ගෙ සිහින දේශයක් බවට පත්වුණු බොහෝ අංශ වලින් ලොව අනෙක් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. 

ජපන් ජාතිකයො කියන්නෙ හරිම ආචාරශීලි, නීතිගරුක වගේම සෞඛ්‍ය සම්පන්න වැසියන් පිරිසක් කියල අපි දන්නව. ජපානය ලොව වැඩිම ආයු කාලයක් ගත කරන මිනිසුන් සිටින රටවල් අතරින් ප්‍රමුඛතම ස්ථානයකුත් හිමිකර ගන්නව. 

ජපානයේ පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය මධ්‍යස්ථ වශයෙන් වසර 82 කුත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය මධ්‍යස්ථ වශයෙන් වසර 88 කුත් ලෙස සඳහන් වෙන්නෙ ඒ නිසයි. 

වයස්ගත වුනාමත් හරිම ක්‍රියාශීලි සහ නීරෝගීව සිටින ජපන් ජාතිකයගේ නීරෝගී බවේ රහස සොයාගෙන යන්නයි අද smart lady අපි මේ ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නෙ. 

පොදු ප්‍රවාහන සේවා

ජපානය කියන්නෙ පොදු ප්‍රවාහන සේවා හරිම කාර්‍යක්ෂම විදිහට නිසි වෙලාවට සිද්ධ වෙන රටක් කියල ජපානයේ ජීවන් වෙන හෝ එක්වරක් හෝ ජපානයට ගිය ඕනෑම කෙනෙක් දන්නවා. 

ප්‍රධාන නගරවල වගේම නගර වලින් ඈත ප්‍රදේශ වලත් මේ තත්වය පොදු කාරණාවක්. 

රටේ ජනගහනය හා පුද්ගලික වාහන හිමිකරුවන් අතරෙ කැපීපෙනෙන වෙනසක් දකින්න ලැබෙන්නෙ මේ නිසයි. 

පොදු ප්‍රවාහන සේවා, තදබදයක් නැති මාර්ග සැලසුම්, බයිසිකල් ධාවන මංතීරු වැනි සියල්ල නිසා තමන්ගේම වාහනයක අවශ්‍යතාවයක් බොහෝ දෙනෙක්ට ඇතිවෙන්නෙ නෑ. 

මේ නිසා එදිනෙදා බයිසිකල් පැදීම සහ ඇවිදීම වගේ සුළු සුළු ව්‍යායාම වල නිතර වෙන්න නොදැනුවත්වම ජපන් ජාතිකයන් හැඩගැසී තිබෙනවා. 

ව්‍යායාම 

මේ එදිනෙදා කාර්‍යශීලී ජීවන රටාව වගේම කුඩා ළමුන්ගේ සිට වයස්ගත පුද්ගලයන් දක්වා ව්‍යායාම වල නිරත වීමත් ජපානයේ දකින්න ලැබෙන කැපීපෙනෙන පුරුද්දක්. 

Radio Taiso නම් ජපන් රෝඩියෝ වැඩසටහන ආරම්භ වෙලා තියන්නෙ 1928 අවුරුද්දෙදීයි. මේ වැඩසටහන ප්‍රචාරය වෙන වෙලාවට ඒ වැඩසටහන අහන පාසල් ළමුන්, මාර්ගයේ ගමන් කරමින් ඉන්න ජනතාව හෝ සේවා ස්ථානවල වැඩ කටයුතු කරමින් ඉන්න සේවකයන් තමන් සිටින ස්ථානයේදීම ඒ අවට සිටින පුද්ගලයන් සමඟ එකතු වෙලා කණ්ඩායම් වශයෙන් ව්‍යායාම වල නිරත වෙලා තියෙනවා. 

තවමත් ජපාන ගුවන් විදුලියේ ප්‍රචාරය වෙන මේ වැඩසටහනට අනුව ජපන් ජාතිකයන්ගෙන් වැඩි පිරිසක් ව්‍යායාම වල නිරත වෙනව දකින්න පුළුවන්. 

ආහාර රටාව

ජපන් ජාතිකයන්ගේ දිගුකල් ජීවත් වීමේ රහස් අතර ප්‍රධානම ස්ථානයක් ඔවුන්ගේ ආහාර රටාවට හිමිවෙන බව තමයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

ජපානයේ සියළුම ආහාර වේල් ප්‍රමාණයෙන් ඉතාම කුඩා බව ආහාර සම්බන්ධව ඔබට දකින්න පුළුවන් මුල්ම ලක්ෂණයයි. 

ඕනෑම විදේශකයෙක් තුළ මේ ආහාර වල ප්‍රමාණය පිළිබඳ මුලින්ම එතරම් පැහැදීමක් ඇතිවෙන්නෙ නැතත් මිල ගණන් අධික වීම නිසා වැඩිපුර ආහාර ප්‍රමාණයක් මිලදී ගන්නත් හැකියාවක් නැති නිසා ඒ ප්‍රමාණයෙන් සෑහීමකට පත්වෙන්න ඔවුන්ට සිදුවෙනවා. 

ආහාර සඳහා වැඩි මිලක් දැරීමට සිදුවුවත් ජපන් ජාතිකයන් වාර්ෂිකව ගන්නා කැලරි ප්‍රමාණය අනෙක් රටවල් වල පුද්ගලයන්ට වඩා අඩුවෙන්නෙ මේ නිසයි. 

ඒ වගේම වර්ෂ 2011 දී ඇමෙරිකානු ජාතිකයන් ජපන් ජාතිකයන්ට වඩා පස් ගුණයක් වැඩිපුර සෝඩා සහිත පාන වර්ග භාවිත කර ඇතිබවත් සොයාගෙන තියෙනවා. 

ඒ වගේම සාම්ප්‍රදායික ජපන් ආහාර වේලක් බත්, සුප් සහ තවත් කෑම වර්ග දෙකක් ඇතුළත්ව පිළියෙල කෙරෙනවා. බත් නීරෝගී ජීවිතයකට උදව්වක්ද කියන ප්‍රශ්නය ඔබට හිතෙනව ඇතිනෙ. 

ජපන් ජාතිකයන් සහල් වැඩිපුර අනුභව කරත් තිරිඟු පිටි අනුභව කරන්නෙ ඉතාම අඩුවෙන් වීම මේ සහල් ප්‍රමාණයෙන් සෞඛ්‍යයට ඇතිවෙන බලපෑම අවම කරනවා. අනෙක් බොහෝ රටවල් වල පුද්ගලයන් සහල් වලට වඩා වැඩිපුර තිරිඟු පිටි ආහාරයට ගැනීම දැකගන්න පුළුවන් බව පර්‍යේෂකයන් සඳහන් කරනවා. 

මාළු, මස්, එළවළු, සෝයා බෝංචි, ග්‍රීන් ටී වැඩිපුර අඩංගු සමබර ආහාර වේලක් ජපන් ජාතිකයන් ආහාරයට ගන්නව වගේම පාසල් වල ලබාදෙන දිවා ආහාර වේල විශේෂඥයන්ගේ අනුදැනුම සහ අනුමැතිය මත සැකසීම අනිවාර්‍ය බවත් නීති සම්පාදනය වී තිබෙනවා. 

සාම්ප්‍රදායික පෝෂ්‍යදායී ආහාර වේල සැකසීම පිළිබඳ කුඩා දරුවන්ව පවා දැනුවත් කරන්නත් ඔවුන් වැඩසටහන් නිර්මාණය කර තිබෙනවා. 

“ආහාර වගේ ආහාර වලට වඩා (ක්ෂණික, කෘතිම ආහාර) ජපන් ජාතිකයන් ආහාර අනුභව කරනවා” මේ පිළිබඳ පර්‍යේෂකයන්ගෙ අවසාන නිගමනය ලෙස ඔවුන් සඳහන් කරන්නෙ ඒ විදිහටයි. 

ජීවිතයට අරුතක් 

තමන්ගෙ රැකියාවෙන් පමණක් සෑහීමකට පත් නොවී තමන් මේ ලොවට පැමිණීමට, තමන්ට මේ පොළව මත එක් දිනක් හෝ ගත කිරීමට ලැබීම ගැන විශ්වයට ස්තූති වන්නත් ඒ සඳහා කළගුණ දැක්වීමට මේ පෘතුවිය වෙනුවෙන් යම් දෙයක් කිරීමටත් ජපන් ජාතිකයන් සිය ජීවිතයේ අවසානය දක්වාම කටයුතු කරනවා. 

එකිනෙකාට උදව් කරන්න, පරිසරය පිරිසිදු කරන්න හෝ යම් දෙයක් ඉගෙන ගන්න, වගා කටයුතු වල නිරත වෙන්න ඔවුන් ක්‍රියා කරන්නෙ ඒ නිසයි. 

වෛද්‍ය පරීක්ෂා

නිතරම තම ශාරීරික සෞඛ්‍ය පිළිබඳ සැළකිලිමත් වීම, නිසි කලට වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම නිසා ඕනෑම රෝගයක් මුල් අවස්ථාවේදීම හඳුනාගන්නත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නත් බොහොමයක් ජපන් ජාතිකයන්ට හැකියාව ලැබෙනවා. 

ජපානයේ සෑම සේවා ස්ථානයක්ම පාහේ සිය සේවයන්ගේ වෛද්‍ය පරීක්ෂණ නොමිලයේ කරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමත් මෙහීදී කැපීපෙනෙනවා.

ඒ නිසා අවසානය දක්වා නොසිට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. 

ඉතිං, මේ කරුණු ජපන් ජාතිකයන්ගේ නීරෝගී බවේ රහස් විදිහටයි පර්‍යේෂකයන් හඳුන්වා දෙන්නෙ. 

අවසානය දක්වාම ඔබ ඔබව අත හරින්න එපා. ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න, ඔබට ආදරය කරන්න, ඔබ ජීවත් වන පරිසරය රැකගන්න, පරිසරයට ගරු කරන්නත් අමතක කරන්න එපා. 

අපි එකිනෙකා සුන්දර මිනිසුන් වූවොත් සුන්දර නීරෝගී සම්පන්න සමාජයක් ගොඩනගන්න අපිටත් පුළුවන්. 

හරියට ජපානේ වගේ, සමහරවිට ඊටත් වඩා හොඳ!

සටහන – දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here