එක්ස්ප්‍රස් පර්ල් අභියාචනා පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

0
6

මෑතකදී කොළඹ වරාය මුහුදු සීමාවේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා සහ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අපරාධ නඩුවක විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඊයේ (07) ඉවත් වුණා.

මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූවා

එස්.තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවීම සිදු වුණා.

එම අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

ඒ, අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

එහෙත් එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙසත් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here