NPP ජයග්‍රහණය පවුල් කේන්ද්‍රීය ප්‍රභූ දේශපාලනයට එරෙහි හැරවුමක් – මහාචාර්ය ටියුඩර් වීරසිංහ

0
25


මෙම ජයග්‍රහණය මෙරට සම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියට එරෙහිව මතුවූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

ලාංකීය දේශපාලනය පවුල් කේන්ද්‍රීයව එමෙන්ම ප්‍රභූ කේන්ද්‍රීයව,පෙළපත් කේන්ද්‍රීයව ගමන් කරපු දේශපාලන ධාරාව ප්‍රථම වතාවට සුවිශේෂී හැරවුම් ලක්ෂයක් දක්වා ප්‍රවිෂ්ඨ වූ අවස්ථාවක් ලෙසද දැක්විය හැකි බව ඔහු කියාසිටියි.

”ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ජාතික ජන බලවේගය විසින් අත්පත් කරගත්ත ජයග්‍රහණය අයිතිහාසික ජයග්‍රහණයක්. එය ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස පත්වෙන්නේ එක පැත්තකින් සම්ප්‍රදායික වශයෙන් එක පක්ෂයකින් තවත් පක්ෂයකට බලය මාරු වීමකට වඩා මේක ඇත්ත වශයෙන්ම ලංකාවේ නිදහසින් පස්සේ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණවලින් බොහෝ විට බලය අත්පත්කරගත්තේ ධනේශ්වර ලිබරල්වාදී පක්ෂ. මේ අය අතර තමයි බලය හුවමාරු වුණේ. ඉතිහාසයේ පළමු වතාවට සමාජවාදී එහෙම නැත්නම් වාමාංශික එහෙම නැත්නම් සමාජ ප්‍රජාතාන්ත්‍රිකවාදී නැඹුරුවක් ඇති පක්ෂයක් ප්‍රථම වතාවට ලංකාවේ තනි පක්ෂයක් විදිහට බලය අත්පත්කරගැනීම සුවිශේෂ සංධිස්ථානයක් විදිහට සලකන්න පුළුවන්. මේ ජයග්‍රහණය මම හිතන්නේ එක පැත්තකින් ලංකාවේ පැවතුණ සම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියට එරෙහිව මතුවෙච්ච ජයග්‍රහණයක්. සාම්ප්‍රදායික දේශපාලනය එරෙහිව සිදුවුණ පෙළගැස්මක්. විශේෂයෙන්ම ලාංකීය දේශපාලනය පවුල් කේන්ද්‍රීයව ඒවගේම ප්‍රභූ කේන්ද්‍රීයව,පෙළපත් කේන්ද්‍රීයව ගමන් කරපු දේශපාලන ධාරාව ප්‍රථම වතාවට සුවිශේෂී හැරවුම් ලක්ෂයක් දක්වා ප්‍රවිෂ්ට වෙච්ච අවස්ථාවක්. මෙන්න මේ නිසා මේ ජයග්‍රහණයේ තියෙන ඓතිහාසික වැදගත්කම එක පැත්තකින් ජාතික වශයෙනුත් මම හිතන්නේ ලෝකමය වශයෙනුත් වැදගත් සංධිස්ථානයක් සළකුණු කරනවා.

ඊළඟට මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ සාමාන්‍ය තත්ත්වයක් තුළ නෙවෙයි ඇත්ත වශයෙන්ම එක පැත්තකින් ජාතික වශයෙනුත් අනිත් පැත්තෙන් කලාපීය හා ගෝලීය වශයෙනුත් මානව සමාජ සංවර්ධනය විශාල අර්බුදයකට මුහණ පා තිබෙන අවස්ථාවක. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 100 තුළ ලෝකයේ දේපාලන පද්ධති ආර්ථික ක්‍රම මූලික වශයෙන් අර්බුදයට ගිහිල්ලා නව දේශපාලන ආර්ථික ක්‍රමයකට මානව සමජය පරිවර්තනය වෙමින් පවතින අවස්ථාවක් ලෝකමය වශයෙන්. අනිත් පැත්තෙන් ලාංකීය සමාජය වුණත් නිදහසින් පස්සේ මුහුණ දුන්න සුවිශාලම ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන සන්දර්භයක් තුළ තමයි මේ ජයග්‍රහණය අත්පත්කරගත්තේ. ඒ වගේම අනිත් පැත්තෙන් ලෝක සමාජයත් ලාංකීය සමාජයත් පැරණි යල්පැනගිය,අකාර්යක්ෂම දේශපාලන ආර්ථික මාදිලිවලින් පරිබාහිරව නවීන ලෝකයට ගැළපෙන ආකාරයට කාර්යක්ෂම ආර්ථික,දේශපාලන හා තාක්ෂණික මොඩලයන්,ආකෘතින් සොයමින් ඉන්න අවස්ථාවක්. ඒ නිසා මේ ජයග්‍රහණය ඒ හැම පැත්තෙන්ම ගත්තත් සුවිශේෂියි. අනිත් කාරණය ලාංකීය දේශපාලන ඉතිහාසය දිහා බැලුවත් ලංකාවේ සමානුපාතික ජන්ද ක්‍රමය දී මේසා සුවිශාල තුනෙන් දෙකකට වැඩි බලයකින් ආණ්ඩුවක් බලයට පත්වෙච්ච එකම අවස්ථාව. විශේෂයෙන්ම තනි පක්ෂයක් විදිහට ඒවගේම සාම්ප්‍රදායික නොවන වාමාංශික,සමාජ ප්‍රජාතාන්ත්‍රික ප්‍රවණතාවක් නියෝජනය කරන පක්ෂයක්. මේ සියල්ලම මෙහෙම තිබියදී මේ ලබාගත්ත ඓතිහාසික වූ ජයග්‍රහණය වගේම මේ ජයග්‍රහණයෙන් පිහිටුවන ආණ්ඩුවකට මුහුණ දීමට තිබෙන අභියෝග ඊට වඩා බරපතලයි. ඒ අභියෝග එකපැත්තකින් ජාතික වශයෙනුත් කලාපීය හා ගෝලීය වශයෙනුත් ඒ අභියෝගවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා.” ටියුඩර් වීරසිංහ මහතා තවදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here