ගුවන් තොටුපොලේ ගුවන් මගී ප්‍රවාහන බස් රථ මාෆියාව !

0
6


විදෙස් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ ගොඩබැසීමේදී මගීන්ට මෙරටින් ලැබෙන පළමු සේවාව වන්නේ මෙම බස් රථ සේවාවයි. සාමාන්‍යයෙන් යමක් පිළිබඳ ඇතිවන පළමු සිතුවිල්ල ඒ සම්බන්ධයෙන් වන අවසන් සිතුවිල්ල ලෙසින් පවතින අතර පළමු සේවාවෙන්ම අප්‍රසන්න සිතුවිල්ලක් විදේශ සංචාරකයින්ට ඇති කිරීම සමස්ත රටේම ප්‍රතිරූපයට සෘණාත්මක ලෙස බලපාන බවයි මගීන් පෙන්වා දෙන්නේ.

ඊයේ (11) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සිට පැමිණි ගුවන් මගියකු අප වෙත සඳහන් කළේ එකී බස් රථවල අභ්‍යන්තර තත්වය ලංගම ඩිපෝවකින් ගෙනා බස් රථවල තත්වය මෙන් දිස්වන අතර ඒවාට මගීන් පටවන්නේ ද 138 මහරගම – පිටකොටුව බස් රථයක පවතින තත්වය මෙන් තදබදය සහිතව බවයි. පැය 12ක දීර්ඝ ගුවන් ගමනකින් පසු රටකට ගොඩබැසීමේදී මේ ආකාරයෙන් සැලකීමෙන් ගුවන් මගීන් ඉතාම අපසුතාවට පත්වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම නමෝවිත්තියෙන් මෙරටට පැමිණ සිටි පාපැදි සංචාරකයින් කණ්ඩායමක් එසේ මගීන් පිරුණු බස් රථයකට නැංවීමේදී ඔවුන් දැඩි අපහසුතාවකට මුහුණ දෙනු දැකගැනීමට හැකිවුණු බවත් මගීහු සඳහන් කළහ.

කෙසේවෙතත් කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන අංශයේ කටයුතු නම් ඉතාම කාර්යක්ෂම සිදුවුණු බව පැවසූ මගීහු ලන්ඩන් සිට පිරී පැමිණි ගුවන් යානයේ සියලුම මගීන් විනාඩි 20 -30 අතර කාලයක් තුළ රට තුළට ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කළ බවත් සතුටින් යුතුව සඳහන් කළහ.

මේ අතර අප කළ විමසීමකදී දැනගැනීමට ලැබුණේ ගුවන් යානාවලින් ගොඩබසින මගීන් ප්‍රවාහනය කිරීම සඳහා ඇත්තේ බස් රථ 11ක් බවත් ඒවායින් 4ක් පමණක් රජයට අයත් වන අතර 7ක්ම පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගත් ඒවා බවත් ය. මෙම බස් රථ පිරිසිදුව සහ අලංකාර ලෙසත් තදබදයකින් තොරවත් පවත්වාගෙන යාමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එයින් ගුවන් මගීන්ට ඇතිවන ප්‍රසන්න හැඟීම රටේ ප්‍රතිරූපයටත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටත් ධනාත්මක ලෙස බලපානු ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here