සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ආචාර්ය සෙනේෂ් ෆේස්බුක් සටහනක් තබමින් කරුණු පැහැදිලිකිරීමක් සිදුකර තිබුණු නමුත් ඒ සම්බන්ධයෙන් පැතිරෙන කටකතාවල තවමත් අඩුවක් දක්නට නොමැත.
ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයාබැලීමේදී අපට අනාවරණය වූයේ ඔහුට අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉතා තදින් බැනවැදී ඇති බවට පැතිරෙන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
විශේෂයෙන්ම, ජාතික ජන බලවේගයේ අතිශයින්ම ජනප්‍රිය, උගත්, බුද්ධිමත්, තරුණ නායිකාවක් වන පාර්ලිමේන්තු මන්ත්රීනී, නීතීඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය උපහාසයට ලක්කෙරෙන වීඩියෝවක් පසුගිය දිනක ජාතික රූපවාහිනියේ විකාශය වීම හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා වන නලින්ද ජයතිස්ස මහතා සෙනේෂ්ට බැනවැදී ඉල්ලා අස්වෙන්නැයි පැවසූ බවට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන පුවත් අමූලික බොරු බව ජාජබ ආරංචිමාර්ග අප වෙත සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින්ද ජයතිස්ස සහ නිලන්ති කොට්ටහච්චි දෙදෙනා තමන්ට ඡන්දය දුන් එම දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීම සඳහා ගහට පොත්ත මෙන් බැඳී, සහෝදරයෙක් සහ සහෝදරියක් මෙන් කැපවීමෙන් කටයුතු කරන අතර එය ඉවසා දරාගත නොහැකි පොහොට්ටුව ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් මෙසේ අමූලික බොරු ගොතා ප්‍රචාරය කරන බවත් ජාජබ ආරංචිමාර්ග අප වෙත පැවසීය.
ඒ අනුව අපට නැවතත් කිව හැක්කේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජාතික රූපවාහිනියේ හිටපු සභාපති සෙනේෂ්ට බැනවැදී ඇති කතාව සම්පූර්ණ බොරුවක් බව ය.
Sri News Media