සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළේ, යම් කිසි අයකුට පවතින ආර්ථික ක්‍රමවේදය ජනගත කෙරෙන නත්තල් ආකල්පයෙන් සතුටක් ගෙන ඒ නම් එය භාවිත කළාට කම් නොවන බවයි .
කාදිනල් හිමියෝ අවධාරණය කරන්නේ, තවත් අයෙකුගේ ජීවිතයට සතුට ගෙන දීමෙන් ලබන සතුට රුපියල් සතවලින් මැනිය නොහැකි බවයි.
කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පණිවුඩය
“නත්තල යනු ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව සිදුවූ උපත සමරන මොහොතයි”
එම උපත පිළිබඳව ශුද්ධ වූ බයිබලයේ කතාවල විස්තර කථනයන් ලබා දීලා තියෙනවා. එහි පැහැදිලි කරනවා එම උපත ඉතාමත් පුදුමාකාර විදිහට සිදු වුණා කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ මව්පියන් එදා බෙත්ලෙහෙම් නුවරට පැමිණියේ සංගණයක් සඳහා. එසේ පැමිණි විට ඔවුන් සංක්‍රමණිකයන්ගේ තත්ත්වයට පත් වුණා. ඔවුන් ඉතාමත් සාමාන්‍ය සරල පවුලක වීම නිසා ඔවුන්ට ඒ තරම් ධනයක් තිබුණේ නැහැ. තැනක් සොයා ගෙන ගියා ඔවුන්ට නතර වෙන්න. නමුත් ඔවුන්ට එහෙම ස්ථානයක් හමු වුණේ නැහැ. ඒ නිසා ඒ අයට සිද්ධ වුණා ක්‍රිස්තුස් වහන්සේගේ දරු උපත සිදුවන්නට ඔන්න මෙන්න කියලා තිබියදී යම්කිසි ස්ථානයක් ඒ සඳහා සුදානම් කරන්න. ඒ නිසා තමා ඒ අයට සිද්ධ වුණේ අසල්වැසියකුගේ පිහිටෙන් අතහැර දමන ලද ගව මඩුවක් තෝරා ගන්න. මේ ගව මඩුව තුළ කිසිදු සූදානමක් නැතිව මේ දරු උපත සිදු වූ බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වෙනවා.
දරුවා ඔතන්නට රෙදි කඩක්වත් නොතිබූ බව ත් සතපවන්නට ඇඳක්වත් නොතිබූ බව ත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා.ඉතාමත් දිළිඳු පරිසරයක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවන්නේ. නමුත් ඒ දිළිඳු පරිසරය තුළ යම්කිසි තෝරා ගැනීමක් තිබූ බව අපිට පැහැදිලිව පේනවා. ඒ තමයි උන් වහන්සේ ඒ ඉපදුණු පරිසරය ස්වභාවධර්මය තුළ මවන ලද පරිසරයක්. මනුෂ්‍ය දෑතින් හදන ලද පරිසරයක නොවේ උන් වහන්සේ බිහිවුණේ. ඒ සඳහා පළමුවෙන් ම සහභාගී වන්නේ ඉතාමත් දිළිඳු ගොපලුන් පිරිසක් බව සඳහන් වෙනවා.
Sri News Media