මහර සිරකරුවන් 11ක් ඝාතනය : නීතිපති නඩුගොනුව වසා දැමීම පුදුම සහගත බව මහේස්ත්‍රාත්වරයා කියයි !

0
2


2020 නොවැම්බර් 29 වනදා කොවිඩ් වසංගත තත්වය අතරේ, බන්ධනාගාරය තුළ කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙසත් කොවිඩ් වැළඳුණු රැඳවියන්ට ප්‍රතිකාර කරන ලෙසත් ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවකට වෙඩිතබා රැඳවියන් 11 දෙනෙකු මරණයට පත්කිරීමේ සිද්ධියට අදාළ නඩුගොනුව නීතිපතිවරයා විසින් වසා දැමීම මවිතයට කරුණක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ප්‍රකාශ කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා මේ බව පැවසුවේ නීතිපතිවරයා විසින් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය අගතියට පත් පාර්ශ්වයට දැනුම් දීම සඳහා නඩුව ඊයේ (නොවැම්බර් 22) කැඳවූ අවස්ථාවේදී ය.

මම රැඳවියන් 11 ගේ මරණ පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු අනුව ඔවුන්ගේ මරණ සිදුව ඇත්තේ උදරයෙන් ඉහළට වැදුණු වෙඩි ප්‍රහාරවලින් බව සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා මෙය කිසිසේත් කළහකාරී තත්වයක් පාලනය සඳහා අවම බලය පාවිච්චි කිරීමක් ලෙස සැලකිය නොහැකි බවත් මෙය අපරාධයක් බැවින් මීට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස තමන් නියෝග කළ බවත් පැවසීය.

එහෙත් නීතිපතිවරයා පසුගිය සැප්තැම්බර් 26 වනදා යොමුකර ඇති උපදෙස් ලිපියෙන් පවසා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නීත්‍යානුකූලව කටයුතු කර ඇතිය යනුවෙන් බව පැවසූ මහේස්ත්‍රාත්වරයා එය පුදුම සහගත බවත් මෙහිදී තමන් නිකුත් කළ නියෝගය සහ නීතිපතිවරයාගේ මතය අතර පැහැදිලි ගැටුමක් ඇති බව බවත් සඳහන් කළේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ එන ” මිනිමැරුම” හෝ 298 වගන්තියේ එන ” නොසැලිකිලිමත්කමින් මරණය සිදුකිරීම” යන වරද යටතේ චෝදනා ගොනුකළ හැකිය යන්න මේ මොහොතේදීත් තම අධිකරණයේ මතය බව පැවසූ මහේස්ත්‍රාත්වරයා කෙසේවෙතත් නීතිපතිගේ බලය අතික්‍රමණය කිරීමේ බලයක් තම අධිකරණයට නොමැති බැවින් අගතියට පත් පාර්ශ්වයට ඇති එකම විකල්පය අභියාචනාධිකරණයට ඉල්ලීමක් කිරීම බවත් පෙන්වා දුන්නේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනක පෙරේරා මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් පැවසුවේ නීතිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය අතිශයින්ම ප්‍රශ්න සහගත බවත් ජනතාව පිළිගත යුත්තේ අධිකරණයේ නියෝගයද නැතිනම් නීතිපතිගේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතයද යන ගැටලුව මතුව බවත් ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here