ආනන්දය ආනන්දවත් කළ ජිනීවා නාහිමියෝ!

0
3


උත්තරීතර මහානායක මහා රට්ඨගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මාහිමිපාණන් වහන්සේ මතු නොව මල්වතු මහා විහාරීය අනුනායක ධුරයකින් පිදුම්ලත් අතිපූජ්‍ය අඹන්වැල්ලේ ශ්‍රී පඤ්ඤාසේකර නාහිමිපාණන් වහන්සේලා මෙන්ම මහාචාර්ය කොටගම වාචිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේද අද්‍යතන ශාසන වංශයෙහි ප්‍රමුඛ නිකායන් හා පාර්ශවයන් ප්‍රභාවත් කළ සංඝ පීතෘන් වහන්සේලා වූහ. මෑත ඉතිහාසය තුළ පූජ්‍යතර කහතුඩුවේ හේමසිරි නාහිමියන් මෙන්ම ගිගුම්වඩුවේ අනෝම නාහිමියන් ද උපාධ්‍යාය ධූරීන ආචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන් පමණක් නොව ශාස්ත්‍රපති පණ්ඩිත හබරකඩ ඉන්දරතන නාහිමියන් ද ධර්ම සන්නිවේදකයන් වහන්සේලා ලෙස දේශ දේශාන්තරයන්හි කීර්තිධර වූහ. මෙම නාහිමියන් වහන්සේලා දෙනමගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයෙහි සේවයට සපැමිණි ආචාර්ය තවලම ධම්මික නාහිමියන් ද කලක් ආනන්දයෙහි ධර්මාචාර්යයන් වහන්සේ නමක ලෙස කීර්තිධරව ක්‍රියා කරන ලදී. මුන් වහන්සේ එම යුගයේදීත් පෙර අපරදිග භාෂා ඥානයෙන් සුපෝෂිතව ක්‍රියා කරන ලද්දේ මතු නොව ලබා තිබූ ඉංග්‍රීසි භාෂා නිපුණත්වයත් සමඟ විදේශ ධර්මදූත සේවාවට වැඩි ඇගෑලුම් කමක් තිබූ බව රහසක් නොවේ. මේ අනුව මුන්වහන්සේ ආනන්ද විද්‍යාලයෙහි ධර්මාචාර්ය පදවිය දරන ලද කාලය ද කෙටි වූයේ මතු නොව විදේශ ධර්මදූත සේවාවට එළැඹී ආනන්ද යති පරපුරෙහි අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් හා නිව්යෝක් බෞද්ධ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ගෙන් පසු විදේශ ධර්ම දූත සේවාවට එක් වී ඇත්තේ ආනන්ද විද්‍යාලයීය මෑත කාලීන යතිපරපුර නියෝජනය කරමිනි.

උපාධිධාරි භික්‍ෂුවක ලෙස පාසල් කීපයකම ජනප්‍රිය ආචාර්යවරයන් වහන්සේ නමක ලෙස සේවය කළ ආචාර්ය තවලම ධම්මික හිමියන් කොළඹ ආනන්ද විද්‍යාලයෙහි ධර්මාචාර්යවරයන් වහන්සේ නමක ලෙස ආනන්ද විද්‍යාලයට වැඩමවා ඇත්තේ 1987 වර්ෂයේදී වන අතර ධර්මාචාර්ය තනතුරට වඩා ධර්මදූත සේවා සඳහා උනන්දු වන්නට ඇත්තේ තමන් වහන්සේට ඒ වන විටත් ජාත්‍යන්තර භාෂා පිළිබඳව තිබූ කුසලතාවය ද හේතු කොට ගෙන විය යුතුය. ඒ අනුව ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමියන් හා පූජ්‍ය හබරකඩ ඉන්දරතන නාහිමියන් අතර පැවති කල්‍යාණ මිත්‍රත්වය මත මුන්වහන්සේ ප්‍රථමයෙන් ප්‍රංශයට වැඩමවන ලද්දේ 1990 දශකයේදී ය. පරවාහැර චන්දරතන නාහිමියන් විසින් ආරම්භ කරන ලද ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම කළ තවලම ධම්මික හිමියන් පරවාහැර නාහිමියන්ට සහාය වෙමින් එම ස්ථානයේ ප්‍රගමනය සඳහා ක්‍රියා කරන ලද්දේ මතු නොව පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ද සහායෙන් සෝබෝන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිදුකරන ලද ශාස්ත්‍රීය පර්යේෂණ වලට අදාළව ආචාර්ය උපාධිය ලබා ගැනීමේ භාග්‍යද ලබන ලදහ. මේ වන විට ධර්මදූත සේවාව පිළිබඳ මතු නොව යුරෝපීය භාවිතයන් පිළිබඳවත් භාෂා ඥානයත්, ධර්ම ඥානයත් සාමාන්‍ය ජීවිතයේ පරිණත භාවයත් හිමි කරගෙන තිබූ ආචාර්ය තවලම ධම්මික හිමියෝ ආචාර්ය පරවාහැර චන්දරතන හිමියන්ගේ පූර්ණ මග පෙන්වීම හා අධීක්ෂණය මත ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට 1992 වර්ෂයේදී වැඩම කරන ලද්දේ ධර්මදදූතයන් වහන්සේ නමක වශයෙනි. එහිදී මුන් වහන්සේගේ දැඩි කැපවීමත් ක්‍රියාශීලීත්වය පමණක් නොව පුණ්‍ය මහිමයත් දැන උගත්කමත් ශ්‍රී ලංකාවේ දක්ෂිණ දේශයෙහි උපන් අයෙකුට නිරායාසයෙන් පිහිටන අධිෂ්ඨානශීලි බවත් පාදක කොටගෙන ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ආරම්භ කරන ලදී. ඒ සඳහා ශ්‍රී ලාංකික ජිනීවා වැසියන් මෙන්ම තායි බුරුම ලාඕස් වියට්නාම් කාම්බෝජ මෙන්ම බංගලාදේශාදී විවිධ ජාතික හා ආගමිකයන් සහාය කර ගැනීම සඳහා ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ ආකර්ශනීය වූ දේශනා ආදී හදවතට සමීප ආගමික වැඩසටහන් මෙන්ම අදාළ පුද්ගල කණ්ඩායම් සඳහා ඔවුන්ගේ භාෂාවන් මැනවින් භාවිත කිරීමේ කුසලතාවයද මූලික වූ බව නොරහසකි.

මෙසේ ආරම්භ කරන ලද ජිනීවා බෞද්ධ විහාරය පසු කාලීනව ඉඩකඩ මදි වීම හා පහසුකම් අඩුවීම් නිසා වර්තමානය වන විට දර්ශනීය පරිසරයක ආරම්භ කොට ඇති අතර එය ලංකාවේ සාම්ප්‍රදායික විහාරස්ථානයක දැකිය හැකි ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සමන්විතව ඇත. විවිධ ජාතිකයන් හා විවිධ ආගමිකයන් සමීපව ඇසුරු කිරීම පමණක් නොව ඔවුන්ගේ විවිධ සංවිධානවල නිලතල දැරීම මෙන්ම අනුශාසකත්වයන් දරමින් සිදුකරන විවිධ දේශන මෙන්ම සුභසාධන ක්‍රියාවන්ද ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී විවිධ ජගත් සංවිධානයන්හි බුදු දහම නියෝජනය කරමින් මුන්වහන්සේ සිදුකරන ධර්මදූත සේවාව සැබැවින්ම අප රටට ඉමහත් ගෞරවයකි.

මෙසේ කහසිවුරේ මහිමය ලොවට විදහා පාමින් තථාගත ධර්මය ජාත්‍යන්තරයෙහි සක්‍රීය කරන ශ්‍රී ලාංකික භික්‍ෂුවගේ රුව ගුණ විදහා පාන සැබෑ ධර්මදූතයන් වහන්සේ නමක වූ ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ දක්‍ෂිණ ලංකාවේ හිමිදුම් පත්තුවට අයත් තවලම නම් වූ පෞරාණික ගම්වරයෙහි සම්භාවනීය වූ අබේසිංහ පරපුරට අයත්ව 1955 වර්ෂයේදී උපත ලබා ඇත්තේ සුමනසේන අබේසිංහ, සොපිනෝනා අබේසිංහ යන පින්වත් දෙමාපිය දෙපළගේ පුත්රුවනක් ලෙසය. තවලම විද්‍යා රාජ විද්‍යාලයෙන් මූලික පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී හබරකඩ විද්‍යානන්ද පුරාණ විහාරයෙහි විහාරාධිපතිත්වය දරන ලද පූජ්‍යතර මාවනානේ සෝනුත්තර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා පූජ්‍ය මාවනානේ ශ්‍රී පේමානන්ද නාහිමියන්ගේ ද ආචාර්යත්වයෙන් යුතුව 1967 වර්ෂයේ දී පැවිද්ද ලබා මූලික ආරාමික අධ්‍යාපනය තම ගුරුදේවයන් වහන්සේලා වෙතින් ලබන ලදුව උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත්ව ඇත්තේ පන්නිපිටිය විද්‍යාලංකාර පරිවේනස්ථානයට ය. අනතුරුව 1978 වර්ෂයේදී මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේදී උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටි මුන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබාගන්නා ලද අතර මහරගම ඉංග්‍රීසි ගුරු පුහුණු ආයතනයෙන් ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කරගන්නා ලදුව රජයේ ගුරු සේවයට ඇතුළත්ව ලංකාවේ බොහෝ ප්‍රදේශයන්හි දක්ෂ ආචාර්යවරයන් වහන්සේ නමක ලෙස මහත්‍ අධ්‍යාපනික සේවාවක ද නිරතවූහ. පාසල් ගුරු හිමිනමක් ලෙස දක්වන ලද දක්ෂතා නිසාවෙන් 1987 වර්ෂයේ දී කොළඹ ආනන්ද විද්‍යාලයෙහි ධර්මාචාර්යවරයන් වහන්සේ නමක ලෙස පත්වීම් ලබන ලද මුන් වහන්සේ තත්කාලීන ගුරු සිසු දෙපක්‍ෂයෙන්ම ගෞරවයට පාත්‍ර වූ හිමිනමකි.

ධර්ම දූතයන් වහන්සේ නමක මෙන්ම කීර්තිමත් ආචාර්යවරයන් වහන්සේ නමක ලෙසද අප දන්නා හඳුනන ආචාර්ය තවලම ධම්මික නාහිමියන් ශ්‍රී ලාංකික භික්ෂුවක ලෙස සිදු කර ඇති ශාසනික සේවාවෙහි සංකේතයක් ලෙස 1980 වර්ෂයේදී ආරම්භ කරන ලද හෝකන්දර සිංහපුර විජයානන්ද ධර්මායතනය දැක්විය හැකිය. එම කාලයේ එම ප්‍රදේශයෙහි පදිංචියට යන්නන් එහි යන ලද්දේ කීපවරක් සිතා බලා වන්නේ මතු නොව මෙම ආයතනය අංග සම්පූර්ණව ගොඩ නැගෙන විටම එම ප්‍රදේශයද පතිරූප දේශයක් වන අයුරු අපිට දැක ගත හැකිවිය. මේ සඳහා දැඩි දුෂ්කරතා හා කැපවීම් සිදුකළ යුතු වූ අතර ආචාර්ය තවලම ධම්මික හිමියන්ගේ ආචාර්යපාදයන් වහන්සේ නමකව අප සමඟ ආනන්ද විද්‍යාලයෙහි සේවය කළ පූජ්‍යතර හබරකඩ ඉන්දරතන නාහිමියන්ගෙන් ඒ සඳහා ලැබුණු සහාය අසීමිත බව සඳහන් කළ යුතුව ඇත. අද වන විට මෙම බෞද්ධ ආයතනය අංග සම්පූර්ණ විහාරස්ථානයක් වන්නේ මතු නොව ආගමික මෙන්ම සමාජ සුභසාධන මධ්‍යස්ථානයක්ව තිබේ. මේ හැරෙන්නට තමන් වහන්සේගේ මූලික විහාරස්ථානය වූ හබරකඩ විජයානන්ද පිරිවෙන් විහාරස්ථානයෙහි දියුණුව සඳහාත් ප්‍රදේශයෙහි විවිධ අවශ්‍යතාවන් සඳහාත් ශක්තියක්ව සිටින මුන්වහන්සේ එම ප්‍රදේශයට මතු නොව පොදුවේ මුළු මහත් රටටම අමිල සම්පතකි.

ධර්මදූතයන් වහන්සේ නමක ලෙස ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්ති ධර ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ යුරෝපයෙහි වැඩවෙසෙන ශ්‍රී ලාංකික භික්ෂූන් අතර ආගන්තුක සත්කාරයෙහි ප්‍රමුඛ නාහිමි නමක බව ද සඳහන් කරනුයේ උන්වහන්සේගේ හා උන්වහන්සේගේ ශිෂ්‍ය හල්විටිගල සුජාත හිමියන්ගේ නොමද සත්කාරයන් ලබන ලද භික්ෂුවක වශයෙනි. මුන් වහන්සේ සමග ස්විස්ටර්ලන්තයේ ගත කළ කෙටි කාලයකදී අප කෙරෙහි දක්වන ලද ලෙන්ගතු භාවය මතු නොව සත්පුරුෂ භාවයද තේරුම් ගත් අතර මුන්වහන්සේ සැබෑ ධර්ම දූතයන් වහන්සේ නමක බවද වටහාගත හැකි විය. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අප්‍රමාණ ශාසනික සේවාවක නිරත වන ආචාර්ය තවලම ධම්මික හිමියන්ට මල්වතු විහාරය මගින් “ධර්ම කීර්ති ශ්‍රී භාෂාන්තර විශාරද” යන ගෞරව නාමය සහිතව ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමෙන් උන්වහන්සේගේ එම සේවාවන් මල්වතු මහා විහාරය මගින් අගය කොට ඇති මෙම අවස්ථාවෙහි අපගේ ද සුභාශිංසනය පළ කරනු කැමැත්තෙමු.

කොළඹ 06 හැව්ලොක් සිටි සාම විහාරාධිපති,
පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද නායක ස්ථවිර



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here