කුරුණෑගල නෙට්බෝල්වල පිබිදීමක් පෙන්වමින් මයිලෝ නෙට්බෝල් හමාර වෙයි.

0
12


නෙස්ට්ලේ අනුග්‍රහය බොහෝ විට හිමි වන්නේ පාසල් ක්‍රීඩාවන්ටය.ඔවුන් පැලවලට දෙන සාත්තුව ඒවා මහා වෘක්ෂ බවට පත් කර පල ලැබෙන ගස් බවට පත් කිරීමේ කාරණයේදී ගිලිහී ගොස් තිබෙන බව අප බොහෝ විට පෙන්වා දී ඇත්තෙමු.එසේම පාසල් ක්‍රීඩාවේද නෙස්ට්ලේ සත්කාරය වඩා පලදායි තත්ත්වයකට ගෙන එන්නේ ඒ මොහොත නියෝජනය කරන පාසල් සංගම්වල හැඩය අනුවය.පත්වෙන නිලධාරීන් පිනවන්නට හදන්නේ ක්‍රීඩාව නොවන වෙනත් උවමනාවන්නම් ක්‍රීඩාව යට ගොස් එහි නිසි පල ක්‍රීඩාවට නොලැබෙනු ඇත.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරමින් පැවති මයිලෝ පාසල් නෙට්බෝල් තරගාවලියේ මෙවර වැඩි දක්ෂතා දැක්වීමට සමත් වූයේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලීය කණ්ඩායමයි.එසේම ඒ සහ බී කාණ්ඩ තරග කොටස් දෙකේම වැඩිම අවධානය දිනා ගත්තේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පාසල්වීමත් කැපී පෙණිනි.
මලියදේව බාලිකාව වයස් කාණ්ඩ තුනක සූරියෝ වූහ.මීට පෙර මේ සූරතා අතර ගැවසුණු කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම කැපී නොපෙනීම ගැන කුරුණෑගලම නෙට්බෝල් නිමා වූ බවට කම්පා වූ පිරිස් සිටියද මලියදේවය සූරතාවය අත්කර ගැනීම කුරුණෑගල නෙට්බෝල් හමාර නැති බවට දුන් පණිවිඩයකි.එසේම පුහුණුකාරියන් අත තිබුණු පාසල් නෙට්බෝල් මලියදේව කණ්ඩායම පුහුණුකරන්නේ පී. ඒ. කේ. එස්. කාංචන බැවින් එය යම් ආකාරයකට පිරිමි පුහුණුකරුවන් නෙට්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් දිරි ගන්වන්නට වැදගත් සාධකයක්ද වනු ඇත.

ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ නම මැකෙමින් පවතින්නේ එම විද්‍යාලයට එම පුහුණුකාරිණිය අහිමි විමෙන්ය.ඒ ආකාරයටම එම පුහුණුකාරිය වෙනත් පාසලක් හරහා වාර්තා නොවීම ද ගැටළුවකි.එම විද්‍යාලයම පමණක් ඇයට දක්ෂතා දක්වන කණ්ඩායම් තැනීමට හැකි තැනනම් එයට විද්‍යාලයෙන් ලැබුණු සහයෝගයද ප්‍රධාන වශයෙන් අවධානයට ලක් විය යුතු අගය කළ යුතු තත්ත්වයක්ය.ශුද්ධ වූ පව්ලේ කණ්‍යාරාමයේ හිදැස විසින් මේ කාරණා දෙකම ඉස්මතු කර දක්වන බව පැහැදිළිය.ඇය නිසා පාසලට දක්ෂ නෙට්බෝල් කණ්ඩායම් අහිමි වී ඇති අතර පාසල නිසා දක්ෂතා දක්වන පුහුණුකාරියක් බව පෙන්වීමට ඇයට ඇති ඉඩ ද ඇහිරී ඇති බව අප තේරුම් ගත යුතුය.
කෙසේ නමුත් පාසලකට සීමා නොවී රටේ පැතිරෙන දක්ෂතා සහිත නෙට්බෝල් කණ්ඩායම් දකින්නට හැකිනම් එය වැදගත්ය.මයිලෝ උණුසුම සහ බලාපොරොත්තු වන ක්‍රීඩා රසයේ අරමුණ වන්නේ සතර අතින් පාසල් දක්ෂයන් බිහිවන,මයිලෝ දක්ෂයන් ලෙස රට වටේම කතා බහට ලක්වන ක්‍රීඩාවක් දැකීමය.එය වානිජමය වශයෙන් මෙන්ම ක්‍රීඩාමය වශයෙන් ද වැදගත් වනු ඇත.

වයස් කාණ්ඩ හතරකට අයත් පාසල් නෙට්බෝල් කණ්ඩායම් මෙම තරගාවලිය තුළ දිවයින පුරා මධ්‍යස්ථාන 15 කදී පැවැති දිස්ත්‍රික් තරග සඳහා කණ්ඩායම් 1250 ක් සහභාගි වී තිබිණි.ඒ අතරින් ජයග්‍රහණය කළ කණ්ඩායම් 360 අවසන් තරග සඳහා සහභාගි විය.මේ දීප ව්‍යාප්ත බව නියෝජනය ඉක්මවා ජයග්‍රහණ බවට පත් වන්නේනම් වෙළද නාමයක් ලෙස මයිලෝ යන්න වඩාත් ප්‍රචලිත වනු ඇත.එහෙත් දක්ෂතා සහ සම්පත් බෙදී යාමේ විෂමතා ද,ඇතැම් විට උනන්දුවේ සහ කැපවීමේ පරිමාව ද විසින් ප්‍රතිපලවල නිරන්තරයෙන් එකම නම් ජයග්‍රහණ සේ පැවතීම දැකිය හැකිය.

13 න් පහළ ශුරතාවය – කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, අනුශුරතාවය – කොළඹ දේවි බාලිකා විද්‍යාලය, 15 න් පහළ ශුරතාවය – කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, අනුශුරතාවය – නුගේගොඩ අනුලා විද්‍යාලය 17 න් පහළ ශුරතාවය – මහනුවර මහමායා විද්‍යාලය, අනුශුරතාවය – මහනුවර හිල්වුඩ් විද්‍යාලය, 19 න් පහළ ශුරතාවය – කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, අනුශුරතාවය – කළුතර ශුද්ධවූ පවුලේ බාලිකා විද්‍යාලය. ලෙස සමස්ත තරගාවලියේ සූරතා සහ අනු සූරතා පිළිබදව තීරණය විණි.

මෙහි බී කාණ්ඩයේ තරග අතිශයින් වැදගත්ය.ඒ පෙරට එන අලුත් බලාපොරොත්තුවලට මාවත විවර කර දෙන තැනය.එහෙත් එම කණ්ඩායම් අඛණ්ඩව නෙට්බෝල් ක්‍රීඩාවේ යෙදෙනවාද නැද්ද යන දිස්ත්‍රක් තරග මට්ටමේ සිටම සළකා බලන සහ උනන්දු කරන වැඩ සටහනක් වෙනුවෙන් පාසල් නෙට්බෝල් පරිපාලනය මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශ ද මැදිහත්ව සැළසුම් කළ යුතුය.එහිදී බී කාණ්ඩයේ වයස අවුරුදු 15 න් පහළ සූරතාවය කුලියාපිටිය මොලඑළිපිටිය කනිෂ්ඨ විද්‍යාලය දිනා ගත් අතර අනු සූරතාවය කුරුණෑගල පාදෙණිය සුනන්ද මහා විද්‍යාලයට හිමි විය. තුන්වන ස්ථානය මහනුවර උස්සා පත්තුව කනිෂ්ඨ විද්‍යාලය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here