9-6. සඟසතු දේ ගැන නොසැලකිලිමත් වූ භික්ෂුවගේ කථා වස්තුව – Sri News

0
4

“පාපය කුඩා වුණත් එය විපාක නොදෙයි කියලා හිතන්න එපා..!”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සැදැහැවත් උදවිය සංඝයාගේ ප්‍රයෝජනය පිණිස සිව්පසය පූජා කරනවා. සිව්පසය කියන්නේ සිවුරු, දානමාන, කුටි සෙනසුන්, බේත්හේත් යන මේවාටයි. මේ සියල්ල සැදැහැවතුන් සංඝයා උදෙසා පූජා කරනවා. එතකොට එය පොදු පූජාවක්. සියලු සංඝයාටම සමසේ පරිභෝග කරන්නට කැපයි. ඒ නිසා පොදු දෙයක් පරිහරණය කරන විට එය නාස්ති කළ යුතු නැහැ.

මං ඔබට උදාහරණයක් කියන්නම්. අපි ලංගම බස් රියෙහි යනවා කියල හිතමු. එය පොදුජනතාව සතු දෙයක්. අපි එහි ඇති ආසනවල වාඩිවෙනවා. සුවසේ ගමන් යනවා. නමුත් ඇතැම් දරුවන් බ්ලේඞ්වලින්, කටුවලින් එම ආසන සූරනවා. ඉරනවා. බලි අඳිනවා. විනාශ කරනවා. ඒක හොඳ දෙයක් නොවෙයි. පොදු වස්තුවකට හානි කිරීමක්. එවැනි දේ කිරීම කිසිසේත් සුදුසු නැහැ. අන්න ඒ වගේ සංඝයා උදෙසා පූජා කළ දෙය සමස්ත සංඝයාටම පොදුයි.

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි පෞද්ගලික ඉඩකඩම් සංඝයාට ලැබුණේ නැහැ. හැමදෙයක්ම ලැබුණේ පොදු දෙයක් වශයෙනුයි. කුටියක ඇඳ පුටු මේස ආදියක් තිබුණොත් චාරිකාවේ වඩින භික්ෂූන් එම කුටියට වැඩම කොට ඒවා පරිහරණය කරමින් සුව සේ වාසය කරනවා. යළි පිටත්වෙන විට අස්පස් කොට ඒවා පිළිවෙලකට තබා යතුරු දමා භාරකරුවන්ට භාර දී පිටත් වෙනවා. සඟ සතු දේපළ හොඳින් රැකෙනවා.

මේ නිසා සඟසතු දේපළ ආරක්ෂා කිරීම ගැන ශාසනමාමක භික්ෂූන් වහන්සේලා බොහෝ උනන්දු වුණා. නමුත් ඇතැම් භික්ෂූන් වහන්සේලා මේවා ගණන් ගත්තෙ නැහැ. එවැනි එක්තරා භික්ෂුවක් ගැන ඔබ මේ දැනගන්නේ.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩසිටින කාලෙ එක්තරා භික්ෂුවක් අතින් මේ වැරැද්ද වුණා. ඔහු කුටියෙහි ඇති ඇඳපුටු ඇතිරිලි ආදී පිරිකර එළියට ගෙනැවිත් එළිමහනෙහි පරිහරණය කරනවා. ආයෙ කුටිය ඇතුළට දමන්නෙ නැහැ. ඒවා එතනම දාලා යනවා. එතකොට ඒ පිරිකර අව්වට වේලෙනවා. වැස්සට තෙමෙනවා. මීයො කනවා. වේයො කනවා. විනාශ වෙනවා. සඟසතු දේපළ කෙරෙහි ගෞරවය ඇති භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුව ඇමතුවා.

“ආයුෂ්මතුන් වහන්ස, ඔහොම කරන්නට හොඳ නැහැ නේද? ඔය සඟසතු දේවල් නෙව. ඕවා පරිස්සම් කළ යුතුයි නේද?”

“ආයුෂ්මතුනි, මෙවැනි සුළු දේකට ඔතරම් දොඩන්නෙ ඇයි? මං මහලොකු දෙයක් ගත්තයැ. අනික, ඔය ඇඳපුටුවලට සිත්පිත් නැහැනෙ. ඇඳපුටුවලට නැති වේදනාවක්නෙ ඔහෙලට තියෙන්නේ…” කියලා ඒ භික්ෂුව ඒ දේම යළි යළිත් කරනවා.

භික්ෂූන් වහන්සේලාගේ කීම නොඅසන මෙම භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණා. එම භික්ෂුව ඉදිරියට කැඳෙව්වා. කරුණු කාරණා විමසුවා. එවිට ඒ භික්ෂුව මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මෙවැනි ඉතා සුළු දෙයක් විමසන්නේ ඇයි? අනික, මේ ඇඳපුටු ආදිය සිත්පිත් නැති දේවල් නෙව.”

“එම්බා භික්ෂුව, මෙවැනි දෑ නොකළ යුතුයි. වරද කුඩා එකක් ය, සුළු එකක් ය කියා ගණන් නොගෙන සිටීමමයි වරද! එළිමහනක උඩුකුරුව කළයක් තිබ්බොත් මොකද වෙන්නේ….? වැස්ස වහිද්දි බිංදුව බිංදුව හරි මේ කළය පිරෙනවා නේද? ඔය විදිහටම සුළු සුළු දේවල් ය කියලා ගණන් නොගෙන සිටීමෙන් පව් රැස්වෙනවා. ඒ පව් රැස්වෙද්දී තමාත් නොදැන පව බරපතල වෙනවා.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් මේ ගාථාරත්නය වදාළා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here