9-4,5. අනාථපිණ්ඩික සිටුතුමාගේ කථා වස්තුව

0
11


“ආත්මාර්ථකාමී කෙනාට යහපත පේන්නෙ නැහැ.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ අහල ඇති අනේපිඬු සිටුතුමා ගැන. ඔහුට බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අග්‍ර උපස්ථායක තනතුර ලැබුණා. හැබෑම පින්වන්තයෙක්. ඔහු තමයි සැවැත් නුවර ජේත කුමාරයාගේ නගරාසන්නයේ තිබුණු ඉඩම කහවණු අතුරලා මිලට ගත්තේ. ඒකට පනස් හතර කෝටියක් වියදම් වුණා. බුදුරජාණන් වහන්සේට සුදු හඳුන් වලින් කුටියක් හැදුවා. ඒකට තමයි ගන්ධ කුටිය කියන්නේ. සංඝයා උදෙසා කුටි හැදුවා. සක්මන් මළු හැදුවා. පැන් පොකුණු හැදුවා. සුවසේ භාවනා කිරීම පිණිස සිත්කළු උද්‍යාන හැදුවා. නොසෑහෙන්න වියදම් කළා.

අනේපිඬු සිටුතුමා එතනින් නැවතුණේ නෑ. වෙන කෙනෙක් නම් වියදම් කරලා ඒකම කියෝ කියෝ ඉන්නවා. නමුත් මෙතුමා දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානයටත්, සංඝෝපස්ථානයටත් දෙව්රමට යනවා. කුඩා ස්වාමීන් වහන්සේලාට මෙතුමා හරි ආදරෙයි. උදේ වරුවට යද්දි බෙහෙත් කැඳක් වැනි දෙයක් ගෙනියනවාමයි. දානෙන් පස්සෙ වෙලාවක නම් ගිතෙල් මීපැණි වැනි දෙයක් ගෙනියනවාමයි. සවස් වරුවේ යන විට මල්, සුවඳ දුම්, සිවුරු පිරිකර ආදියක් ගෙනියනවාමයි.

කාලයක් යද්දි මොහුගේ ධනය අවසන් වුණා. මේ වෙද්දි දහඅට කෝටියක ධනයක් මොහු ණයට දීලා තිබුණා. ඒවා ලැබුණෙත් නෑ. තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු තව දහඅට කෝටියක ධනය ලොකු කලයක දමා කටවසා ගං ඉවුරේ සඟවලා තිබ්බා. ඒ වතාවෙ පැමිණි ගංවතුරට ඉවුර කඩාගෙන ගියා. අර ධනයත් ගසාගෙන ගියා. හැබැයි ධනය නැතිවුණා කියලා මොහුගේ ශ්‍රද්ධා ධනයට කිසි හානියක් වුණේ නෑ. නොනවත්වාම තවමත් සංඝයාට දන් දෙනවා. නමුත් ඉස්සර වගේ රසමසවුළු ඇතිව ප්‍රණීත ලෙස ආහාරපානයෙන් සළකන්නට අවස්ථාවක් නැහැ.

දිනක් බුදුරජාණන් වහන්සේ සිටුතුමාගෙන් මේ කාරණය ඇහුවා.

“පින්වත් ගෘහපතිය, ඔබ තවමත් කලින් වගේම සංඝයා උදෙසා නිවසේ දන් දෙනවාද?”

“එහෙමයි, භාග්‍යවතුන් වහන්ස. මගේ දන්වැට නම් මං අත්හැරියේ නැහැ. ඉස්සර වගේ ප්‍රණීත දානමාන දීගන්ට බැරිවුණත් නිවුඩු හාලේ බතුයි, කාඩි හොදියි හරි මං දෙනවාමයි… පොඩි කණගාටුවකට තියෙන්නේ කලින් වගේ ප්‍රණීත දානය දීගන්ට බැරිකම ගැනයි.”

“පින්වත් ගෘහපතිය, එහෙම හිතන්න එපා! මං දෙන්නේ කටුක දානයක් කියලා හිතන්න ඕන නෑ. බුද්ධාදී උතුමන්ට ප්‍රණීත සිතින් යුතුව චිත්තාලංකාරයෙන් යුතුව දෙන දානය කටුක වෙන්නෙ නෑ. එය පිළිගන්නේ ආර්යයන් වහන්සේලා නෙව.

දැන් බලන්න ගෘහපතිය… මං වේලාම නමින් බ්‍රාහ්මණයෙකුව සිටි කාලේ නගරයේ ගොවිතැන් නවත්තලා නගුල් උඩ බන්දලා සියළු දෙනාට මහා දන් දුන්නා. නමුත් ඒ දානය පිළිගන්ට තිසරණය තියෙන එක්කෙනෙක් වත් හිටියේ නැහැ. දානයට සුදුසු උතුමන් මුණගැසීම හරිම දුර්ලභයි නෙව. එනිසා මං දෙන දානය කටුකයි කියා සිතන්න එපා…”

මෙසේ අවවාද කළ බුදුරජාණන් වහන්සේ ඒ වේලාම බ්‍රාහ්මණයාගේ ජීවිත කථාව අනේපිඬු සිටුතුමාට කියා දුන්නා. එම දෙසුම ‘වේලාම සූත්‍රය’ නමින් අංගුත්තර නිකායෙහි සඳහන් වෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔය සිටුතුමාගේ මාළිගයෙහි දොරටුවේ එක්තරා දෙව්දුවක් අධිගෘහිතව සිටියා. බුදුරජාණන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා ඒ නිවසට වඩිද්දි එතැනින් ඇතුළුවන විට ඇයට උඩ ඉන්නට බැරිවෙනවා. බිමට බහිනවා. මේ අහංකාර දෙව්දුව එයට කැමති නැහැ. ‘මං මේ ගෘහපතියාගේ සිත සංඝයා කෙරෙහි බිඳවන්නට ඕන… ඉස්සර නම් මේ ඇත්තට ධනය තිබ්බා. ඒ කාලෙ කිව්වත් අහන්නෙ නෑ නෙව. දැන් මොකෝවත් කරගන්ට බැරි දුගියෙක් නිසා මගේ කීම විශ්වාස කරාවි’ කියල හිතුවා.

එදා රාත්‍රියේ අනේපිඬු සිටුතුමා නිදා සිටිද්දි සිටුවරයාගේ කුටිය ඇතුළෙන් අහසේ දෙව්දුවක් සිටියා. “කවුද මේ?” කියලා සිටුතුමා ඇසුවා.

“පින්වත් සිටුවරය, ඔබේ සතරවෙනි දොරටුවෙහි අධිගෘහිත දෙව්දුව මම වෙමි. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබට අවවාද පිණිස පැමිණියෙමි.”

“හොඳයි…! අවවාද කරන්න. මම එයට කැමතියි…”

“පින්වත් සිටුවරය, ඔබ අනාගතය ගැන සිතුවේ නැහැ…. ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි පැහැදුණා. සීමාවකින් තොරව දන් දුන්නා. හිතුමනාපේ වියදම් කළා. දැන් ඔබ ඉතා දුප්පත්…. පේනවනේ වෙච්චි දේ…! තාමත් ඔබට වගක් නැහැ.

පරණ විදිහටම දන් දෙනවා…. හැබැයි මට එක අනතුරක් පේනවා. මේ දන් දීම ඔබ නැවැත්තුවෙ නැත්නම් තව කීප දිනකින් පසු ඔබට කන්න අඳින්න කිසි දෙයක් නැතුව යනවා. දැන්වත් ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ පසුපසින් යාම නවත්වන්න…. තමන්ගේ ව්‍යාපාරත්, ගෙදරදොරේ කටයුතුත් ගැන සිත යොදන්න. මා විසින් ඔබට දෙන අවවාදය මෙයයි!”

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් කාලෙක දානපති පින්වතෙකුට දෙවි කෙනෙක් ඇවිත් මෙහෙම කිව්වොත් ඔහු එය අනිවාර්යයෙන්ම මාධ්‍යවලින් කියනවා. කොළ අච්චුගහලා බෙදාහරිනවා. හැමෝටම කියාගෙන යනවා. ඇයි, දෙවි කෙනෙක්නේ කිව්වේ… පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙයින් එක දෙයක් පේනවා. දෙවිවරු වුණත් නොමග යන සුළුයි. ලාභ සත්කාරයට නැමෙන සුළුයි. තමන්ගේ පහසුවට යටවෙන සුළුයි. එනිසානෙ මේ මෝඩි එහෙම කිව්වේ.

අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් ඵලයට පත් වූ, නොසෙල්වෙන ශ්‍රද්ධාව ඇති කෙනෙක් බව දෙව්දුව දැනසිටියේ නැහැ. ඒ කාලෙත් එවැනි අභියෝග ශ්‍රාවකයන්ට ලැබුණා නම්, වර්තමාන යුගයෙහි අපි කොයිතරම් බුද්ධිමත් විය යුතුද?
සිටුතුමා හොඳට ඇස් පිහ දැම්මා. දෙව්දුව දෙස බලා සිටියා.

“ඕ… හෝ….! එතකොට මෙතෙක් කල් මගේ දොරටුවේ සිටියේ තී ද…? තී ඔතරම්ම මෝඩද? තී වැනි අය සිය දහස් ගණනින්, ලක්ෂ ගණනින් ඇවිත් කිව්වත් මගේ හිතේ ඇති පැහැදීම වෙනස් කරන්න බැහැ මෝඩියේ…. හැබැයි මේ මොහොතෙන් පසු තිට මේ නිවසේ ඉන්න අයිතියක් නැහැ. වහාම මගේ නිවසින් ඉවත් වෙයන්….”

දෙව්දුව හොඳටම භය වුණා. තමන්ගේ දරුවන් ලෙස සිටි දෙව්පිරිසත් රැගෙන නික්මුණා. සැවැත් නුවරට අධිගෘහිත දිව්‍යපුත්‍රයා වෙත ගියා. තමන්ගේ වැරැද්දට සමාව ගැනීම පිණිස අනේපිඬු සිටුතුමා වෙත රැගෙන යන ලෙස ඉල්ලා සිටියා. නගරාධිපති දිව්‍යපුත්‍රයත් භයවුණා…!

“එම්බල මෝඩ දෙවඟන…! තී මොකක්ද මේ කරගත්තේ….? හපොයි! මට නම් ඕකට අතගහන්න බෑ…”

ඈ අසරණ වුණා. අන්තිමේදී ඈ සතර වරම් දෙව්වරුන් වෙත ගොස් උදව් ඉල්ලා සිටියා.

“බොහොම කණගාටුයි! අපටත් මොකුත් කරගන්න බැරි තරම් බරපතල දෙයක්නේ තී කරගෙන තියෙන්නේ… කරන්න දෙයක් නෑ… සක්දෙවිඳු වෙතවත් ගිහින් කියාපන්….”

ඉතින් මේ දෙව්දුව ඉතා භයපක්ෂපාතී ලෙස දරුවන් ද එල්ලාගෙන අනාථ ඉරියව්වෙන් සක්දෙවිඳු වෙත ගියා. ගිහින් තමන්ට විමානයක් සොයා දෙන්න කියා ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියා. සක්දෙව්රජු ඇයට මෙහෙම කිව්වා.

“එම්බල දෙව්දුව, තී කරගෙන තියෙන්නේ බරපතල දෙයක්. අනේපිඬු සිටුතුමා ළඟට ගිහින් කරුණු කියන්ට මටවත් පුළුවන්කමක් නැහැ… ම්…. ම්…. හැබැයි…. උපායක් නම් තියෙනවා. කරන්න පුළුවන්ද?”

“එසේය, දිව්‍යරාජයෙනි, මං කියන දෙයක් කරන්නම්…”

“හොඳයි… එහෙනම් මෙන්න මෙහෙම කරපන්. සිටුතුමාගේ නියෝජිතයෙකුගේ වේශයෙන් ණයකාරයෝ හොයාගෙන පළයන්. ගිහින් සිටුතුමාට නොලැබී තියෙන සියලු ණය වහා අවශ්‍යයි කියලා ලියවිල්ලක් ඉදිරිපත් කරපන්.

දේවානුභාවය නිසා ඔවුන්ගේ සිතට තැති ගැනීම එනවා. එතකොට වහාම ණය දේවි. ඒවා ගබඩාවේ පුරෝපන්. මුහුදට ගසාගෙන ගිය සල්ලි කළේ ආපහු අරන් වරෙන්. එයත් පුරෝපන්. අන්න අසවල් අසවල් තැන ස්වාමියා නැති කෝටි දහඅටක ධනය තියෙනවා. ඒවත් ගෙනැවිත් පුරෝපන්. ඉන් පස්සෙ ගොහින් සමාව ගනින්…”

දෙව්දුවට හරී සතුටුයි. සක්දෙවිඳු කී පරිද්දෙන්ම ඈ සියලු ධනය ගබඩාවෙහි පිරෙව්වා. ආයෙමත් සිටුවරයාගේ නිදන කුටිය ආලෝක කරමින් අහසෙහි පෙනී සිටියා. කවුද ඔය? කියා සිටුතුමා ඇහුවා.

“අනේ පින්වත් සිටුතුමනි, සිව්වෙනි දොරටුවෙහි සිටි මෝඩි මමයි… මා දුරදිග නොසිතා කියූ මෝඩ කතාවට මට සමාව දෙනු මැනැව. සක් දෙවිඳුන්ගේ උපදෙස් මත ඔබතුමා ණයට දුන් මුදලුත්, ගඟේ ගසාගෙන ගිය මුදලුත්, හිමිකාරයෙක් නැති මුදලුත් වන පනස් හතර කෝටියක මුදල අන්න මං ගබඩාවේ පිරෙව්වා…. දැන්වත් මට සමාව දෙනු මැනැව. මට ඉන්න තැනක් නැහැ….”

“දෙව්දුව, ඔබ මේ වැරැද්දට දඬුවම් ද විඳ තිබෙන බව පේනවා. තමන්ගේ වරදත් පිළිගන්නවා. හොඳයි! එසේ නම් ඔබ බුදුරජාණන් වහන්සේ හමුවට යා යුතුයි. හෙට මා බුදුරජුන් බැහැදකින්නට ගිය විට ඔබ එහි එන්න. සිදුවූ හැමදේම පවසන්න.”

ඉතින් දෙව්දුව බුදුරජුන්ගේ සිරිපා කමල් අභියස වැඳවැටුණා. සමාව ඉල්ලා සිටියා. බුදුරජුන්ගෙන් ඇයට සමාව ලැබුණා. සිටුතුමාගෙනුත් සමාව ලැබුණා. මින් පස්සේ මෙවැනි දේවල් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඇයට අවවාද කළා. ඉන්පසුව ඉතා රමණීය වූ මේ ගාථාරත්නයන් බුදුමුවින් වදාළා.

පාපෝ’පි පස්සති භද්‍රං – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති

පව් කරමින් සිටින කෙනා – පව් ඵල දෙන කල් එනතුරු
තමන් කරන පව් දකින්නේ – යහපත් වූ දෙයක් ලෙසින්
යම් දවසක ඒ කළ පව් – දුක් විපාක සළසන විට
එදාට නම් පවිටු කෙනා – තමාගෙ පව හොඳින් දකී

භද්‍රෝ’පි පස්සති පාපං – යාව භද්‍රං න පච්චති
යදා ච පච්චති භද්‍රං – අථ භද්‍රෝ භද්‍රානි පස්සති

පින් කරමින් සිටින කෙනා – පින් ඵල දෙන කල් එනතුරු
තමන් කරන පින් දකින්නේ – යහපත් නැති දෙයක් ලෙසට
යම් දවසක ඒ කළ පින් – සැප විපාක ලැබදෙන විට
එදාට පින් කරපු කෙනා – තමාගෙ පින හොඳින් දකී

පින්වතුනේ, පින්වත් දරුවනේ, පව් කරන පුද්ගලයන්ව අපට දකින්නට ලැබෙනවා. නමුත් ඔහු සුවසේ වාසය කරනවා. ඔහු ධනයත් උපයනවා. ඔහු ප්‍රසිද්ධියකුත් ලබනවා. හොඳට කාලා බීලා ඉන්නවා. කෙනෙකුට මේ දෙකම පේනවා. ඔහු පව් කරනවත් පේනවා. ඒ වගේම සැප සේ වාසය කරනවත් පේනවා. ඇත්තෙන්ම ඔහු සැප සේ වාසය කරන්නේ මේ ජීවිතයේදී කරපු දෙයින් නොවෙයි. පෙර ජීවිතයකදී කරපු පින් බලයෙනුයි. ඒ පින අවසන් වුණු දවසට තමයි අර පව්වල විපාක එන්නේ. එතකොට දුක් විඳිනවා. නිරයේ, ප්‍රේත ලෝකයේ යනවා. තමන් කරපු පව් හොඳට පේන්න ගන්නවා.

තව සමහර අය පින් කරනවා. නමුත් දුක සේ වාසය කරනවා. පින්වල විපාක ලැබෙන බවක් පෙනෙන්නට නැහැ කියලා හිතනවා. නමුත් ඔහු ඒ දුක් විඳින්නේ පෙර භවයේ කරපු දෙයක් නිසා. ඒ දුක් අවසන් වූ විට පින්වල විපාක දෙන්න පටන් ගන්නවා. දෙවියන් අතර උපදිනවා. සැප විඳිනවා. ඒ සැප ලැබෙන්නට හේතු වූ පින තමන් රැස් කළ අයුරු පේන්නට පටන් ගන්නවා. ඒ නිසා පින්වතුනේ, පින්වත් දරුවනේ, පව් කිරීම කළ යුතුම නැහැ. පින්මයි රැස්කළ යුත්තේ. ඒ පින මෝරා සුදුසු වෙලාවෙදි ඒ පින් කළ කෙනාව සැපය කරා රැගෙන යාවි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 9-4,5. අනාථපිණ්ඩික සිටුතුමාගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here