9-3. ලාජා දෙව්දුවගේ කථා වස්තුව

0
12


“පිනෙන් රැස්වෙන්නේ සැපමයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මහා කස්සප මහරහතන් වහන්සේ පුදුමාකාර ශ්‍රමණ ගුණයන්ගෙන් බැබලී ගිය උත්තමයෙක්. උන්වහන්සේට සක්දෙවිඳුත්, සුජා දෙවඟනත් හරිම ආදරෙයි. අනිත් දෙවිවරුත් උන්වහන්සේට ආදරෙයි. සමහර දෙවිවරු උන්වහන්සේට උපස්ථාන කරන්න ආසා නිසාම දන් පැන් පූජා කරන්න ආවේ වෙස්වලාගෙනයි.

ඒ කාලෙ මහාකස්සප මහරහතන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර පිප්ඵලී ගුහාවේ. උන්වහන්සේ එදා නිරෝධ සමාපත්තියට සමවැදුණා. සතියක් පුරාවට එකම භාවනා ඉරියව්වෙන් වැඩසිටියා. ඒ සතිය ඇවෑමෙන් පසු සමාධියෙන් නැගිට්ටා. කාට උපකාර පිණිස, කොයි දිසාවට පිඬු සිඟා යා යුතුදැයි දිවැසින් බැලුවා.

උන්වහන්සේගේ කාරුණික දිව්‍ය නේත්‍රයට එක්තරා ස්ත්‍රියක් පෙනුණා. ඈ හරි දුප්පත්. ඈ කුඹුරුවල වැටුණු වී රැගෙන ගොස් පොරි හදනවා. ඉතින් ඒවා විකුණලා තමයි ඈ ජීවත් වෙන්නේ.

මහාකස්සපයන් වහන්සේගේ සිතෙහි මෑ කෙරෙහි මහත් අනුකම්පාවත් හටගත්තා. උන්වහන්සේ එම ස්ත්‍රිය වී පොරි හදන තැනට වැඩම කළා. මෙම ස්ත්‍රිය තමා ඉදිරියට වැඩමකොට වදාළ මහාකස්සපයන් වහන්සේව දුටු පමණින් හිත පහදවා ගත්තා. ඈට හරි සතුටුයි!

“අනේ… පින්වත් ස්වාමීන් වහන්ස, මට හරී සතුටුයි… ඔබවහන්සේලාගේ කරුණාව නිසාමයි අපි පින් කරගන්නේ. භික්ෂූන් වහන්සේ නමක් වඩම්මලා ප්‍රණීත දානයක් පූජා කරගන්න මට වාසනාවක් නෑ… නමුත් මගේ මේ පුංචි පැල්පතට ඔබවහන්සේ වැඩියේ අනුකම්පාව නිසාම බව මා දන්නවා…. අනේ ස්වාමීනී,… මං ගාව තියෙන්නේ වී පොරි විතරයි. මං හරී සතුටුයි මේ වී පොරි පූජා කරගන්න…”

මහා කස්සප මහරහතන් වහන්සේ නිශ්ශබ්දව වැඩසිටියා. ඇය හරිම සතුටින් වී පොරි පූජා කළා. තෙරුන් වහන්සේ ඈ බලා සිටිද්දීම රුක් සෙවණකට වැඩම කොට එය වැළඳුවා. ඇයට කිසි බඩගින්නක් නෑ. මහන්සියක් නෑ. අමුතු සිනහවකින් මුහුණ පිරිලා තිබුණා. හරිම සැහැල්ලුවක් දැනුණා. ඇය සංඝානුස්සති භාවනාවේ යෙදෙමින් දවස ගත කළා.

මහා කස්සප මහරහතන් වහන්සේ වඩිනා අයුරු ඇය බලා සිටියා. උන්වහන්සේ වැඩම කළේ එක්තරා තුඹසක් අසලිනුයි. ඒ තුඹසෙහි විෂඝෝර නාගයෙක් හිටියා. ඒ නයා එළියට පැමිණ ඇවිදිමින් සිටියා. ඒ අසලින්ම මහා කස්සපයන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේට අනතුරක් වුණේ නෑ. අර ස්ත්‍රිය නාගයාව දැක්කෙ නෑ. මහා කස්සපයන් වහන්සේ වඩන අයුරු බලාගෙන සඟගුණ සිහිකරමින් ඇය පසුපසින් ආවා. ඇයට මේ නාගයාව පෑගුණා. ඒ විෂඝෝර නාගයා දෂ්ට කළ සැණින් ඇය මිය ගියා. ඒ මිය යන මොහොතේ පවා ඈ සිත සිතා සිටියේ මහා කස්සපයන් වහන්සේට පූජා කළ වී පොරි දානය ගැනයි.

ඕ තව්තිසා දෙව්ලොව අභිරූපවත් දෙවඟනක්ව උපන්නා. රන් විමානයක් පහළ වී තිබුණා. ඇයගේ දිව්‍යානුභාවය ගව් තුනක් දුර පැතිරුණා. ඇයට පිරිවර දිව්‍ය අප්සරාවන් දහසක් හිටියා. ඈ පුදුමයට පත්වුණා. නිදා සිට පිබිදුණු කලෙක මෙන් පුදුමයෙන් වටපිට බැලුවා. ඇයට පෙර භවය මතක් වුණා. පුදුමෙනුත් පුදුමයි! මහා දානයක් දුන්නෙත් නෑ. විකිණීමට සකස් කළ වී පොරි ටිකකුයි මහා කස්සපයන් වහන්සේට පූජා කළේ. හැබැයි මහත් සතුටින් සඟ ගුණ සිහි කරමින් සිටියා. සුළු මොහොතකින් මිය ගිහින් තිබුණා.

‘මට හරිම පුදුමයි! මං මොනතරම් දුක සේ වාසය කළ ස්ත්‍රියක්ද! අව්වට වේලුණා… වැස්සට තෙමුණා… වී කරල් ඇහිදිමින් කුඹුරු ගානේ ඇවිද්දා… පොරි හද හදා විකුණුවා… මේ සියලු දුක් සුළු මොහොතකින් අවසන් වුණා…. දෙවඟනක් වුණා… මේ ජීවිතයට මෙතරම්ම වෙනසක් ඇතිවුණේ මහා කස්සපයන් වහන්සේ ගැන මගේ සිතේ ඇතිවූ පැහැදීම නිසයි. මට මේ දිව්‍ය සම්පත් ලබා දුන්නේ මහා කස්සපයන් වහන්සේ විසිනුයි…. දැන් ඉතින් පමා වීමට සුදුසු නෑ. මට මේ ලැබිච්ච සම්පත්තිය ගෙවී යන්න කලින් මාගේ පින්වත් ආර්යයන් වහන්සේට උපස්ථාන කොට මේ පින දියුණු කරගත යුතුයි.’

ඇය දෙව්ලොවදී ප්‍රසිද්ධ වුණේ ‘ලාජා දෙවඟන’ නමින්. ‘ලාජා’ කියන්නේ වී පොරිවලටයි. බලන්න පින්වතුනේ, පින්වත් දරුවනේ. තමන් පිදූ දේ නමින්ම තමන්ට නමකුත් ලැබුණු හැටි! දැන් ඈ නිතරම සිත සිතා සිටින්නේ ඈ කළ සුළු පින නිසා උදා වූ වාසනාව ගැනයි. ඉතින් ඈ පාන්දරින් මහා කස්සපයන් වහන්සේගේ කුටිමිදුලට ගොස් ලස්සනට අමදිනවා. වළඳින, පරිභෝග කරන පැන් පිළියෙල කරනවා. මහා කස්සපයන් වහන්සේ මෙහෙම හිතුවා,
‘බොහොම අගෙයි! දැන් සාමණේරයන් වහන්සේලා වත්පිළිවෙත්වලට වඩ වඩා නැඹුරු වී තියෙන බව පේනවා. එහෙමත් නැත්නම් පැවිදි වෙන්න පැමිණි දරුවෙක් වත්පිළිවෙත් කරනවා වෙන්න ඇති. බොහොම හොඳයි!’

නමුත් තුන්වන දවසේ පාන්දරින් කුටි මිදුල අමදින හඬ අසා මහා කස්සපයන් වහන්සේ කුටි දොර හරිද්දී ආලෝකයක් පෙණුනා.

“කවුද ඔය….? කවුද ඔය කුටිමිදුල අමදින්නේ….?”

ලාජා දෙව්දුව පෙනී සිටියා.

“ස්වාමීනී, මේ ඔබවහන්සේගේ උපස්ථායිකාවක්. මං ලාජා දෙව්දුවයි.”

“වෙන්න බෑ…! ඔය නමින් මට උපස්ථායිකාවක් හිටියේ නෑ…. මොකද මේ බොරු කියන්නේ…?”

“අනේ ස්වාමීනී, සත්තමයි! මං හැල් කෙතක් රකිද්දී ඒ අසල වූ පුංචි පැළේ වී පොරි හද හදා හිටියා. එදා ඔබවහන්සේ එතැනට වැඩියා. කුඹුරු ගානෙ ගිහින් ඇහිඳගෙන ආ වී වලින් තමයි මං පොරි හැදුවේ…. මං එදා හරිම සතුටින් ඔබවහන්සේට ඒවා පූජා කරගත්තා. එදාම සර්පයෙක් දෂ්ට කොට මං මියගියා…. දැන් මං ඉන්නේ තව්තිසාවේ රන් විමනකයි. අනේ ස්වාමීනී…. මේ සම්පත් ලැබුණේ සුළු පිනක් නිසානේ. පින ඉක්මනට ගෙවී යනවා නෙව. එතකොට මේ සම්පත් මට නොලැබී යන්න පුළුවන්. නමුත් ඔබවහන්සේට වත්පිළිවෙත් කරලා ලැබෙන පිනෙන් මේ සම්පත් ස්ථිර කරගන්න ලැබුණොත් මොනතරම් වාසනාවක්ද!”

“එතකොට කලින් දවස් දෙකේ මේ කුටිමිදුල ඇමද තිබුණේ, පැන් පිළියෙල කර තිබුණේ ඔබ විසින්ද?”

“එහෙමයි, ස්වාමීනී.”

“එම්බා දෙව්දුව, මේ කරන ලද්දේ නොකළ යුතු දෙයක්! දැන් කළ යුතු වත් කරලා අවසන් නෙව. හැබැයි මින් මත්තේ මේ පැත්ත පළාතේ එනවා එහෙම නෙවෙයි!”

එතකොට ඒ දෙව්දුව හඬන්න පටන් ගත්තා.

“අනේ ස්වාමීනී, මං වැනැසී යාවි! මේ පින නැතිවී යාවි! ඔබවහන්සේට වත්පිළිවෙත් කොට මේ පින ස්ථිර කරගන්න මට පිහිටවෙන සේක්වා!”

“ඈ… ලාජා! තවත් දොඩන්න එනවද? ඔය විදිහට වත් කරන්න ගියොත් රට්ටු මොනවා කියයිද? එතකොට ආර්ය සංඝයා කෙරෙහි කවුරුන් හෝ කළකිරුණොත්, කළකිරී දොස් කිව්වොත් එයින් පව් සිදුවෙනවා නේද? අන් උදවිය කෙරෙහි අනුකම්පාවක් නැද්ද? ඒ නිසා මෙතැන් පටන් මේ පැත්ත පළාතේ ආවොත් බලාගෙනයි! හ්ම්…! දැන් යනවා….”

ඇය තැති ගත්තා.

“අනේ ස්වාමීනී, එහෙම කරන්න එපා! මට කොහොම හරි වත්පිළිවෙත් කරන්න ඕන.”

“මේක හරි වදයක් නෙව. පිනක් කරගන්න උදව් කළාට පස්සේ මොකද මේ කරදර කරන්නේ….? තමන්ගේ ප්‍රමාණය දන්නෙ නැද්ද…?” කියා මහා කස්සපයන් වහන්සේ වටාපත වේගයෙන් සෙලෙව්වා. මහා කස්සපයන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙව්දුවට අහසේවත් සිටින්න බැරිව ගියා. ඇය වීසි වුණා. ඇය ඈත අහසේ සිට නැවත නැවත යදින්න පටන් ගත්තා.

බුදුරජාණන් වහන්සේ අහසේ හඬනා දෙව්දුවගේ මේ කථාව දිවැසින් දැක එතැනට ආලෝකයක් පැතිරෙව්වා.

“එම්බා ලාජා, මා ලයෙහි උපන් මහා කස්සප පුතණුවන්ගේ ඉන්ද්‍රිය සංවරයට ඔබේ වතපිළිවෙත කරදරයක්මයි. පිනට කැමති කෙනා පින් කරනා අයුරු සොය සොයා පින් කළ යුතුමයි. මෙතෙක් ඔබ කළ පින් ඔබට බොහෝ කලක් සැපය දෙනවාමයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

ඉදින් කෙනෙක් කළොත් පිනක් – එය යළි යළි කළ යුතුමයි
නැවත නැවත පින් කෙරුමට – ආසාවක් ඉපදිය යුතුමයි
සසරේ සැප වෙත ගෙන යන – පින කවුරුත් කළ යුතුමයි
පින යනු මේ සැප රැස් වෙන – මුල් දේ බව දත යුතුමයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ දෙව්දුව හිටියේ අහසේ ගොඩාක් ඈත. බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ගන්ධ කුටියේ. සම්බුදු බලයෙන් ඒ දෙව්දුවට ළඟ කතා කරනවා වගේ බුදුබණ ඇහුණා. ඇය සෝවාන් වුණා.
ඇයට මේ සියල්ල උදාවුණේ සිත පහදවා දුන් දානය නිසයි. දැන් බලන්න…. සිත පහදවා ගැනීම කොතරම් උතුම්ද! හැමදේටම මුල් වෙන්නේ සිත නෙ. එනිසා සිත පහදවා ගැනීම පින් කිරීමේදී ගොඩාක් උපකාරී වෙනවා. සමහරු පින් කිරීමේදී සිතන්නේ ගොඩාක් වියදම් කළොත් පින් සිදුවෙනවා කියලයි. නමුත් සුළු දෙයක් නමුත් සිත පහදවාගෙන දුන් විට එයින් ලැබෙන විපාකය නම් හිතා ගන්නත් බැරි තරම් අසිරිමත්!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 9-3. ලාජා දෙව්දුවගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here