9-12. භික්ෂූන් තුන් පිරිසකගේ කථා වස්තුව

0
4


“පව් කළ තැනැත්තාට සැඟවෙන්නට තැනක් නැත.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවත් හරීම පුදුමයි. කරුණු තුනක් මුල්කරගෙනයි මේ කථාව ගොඩනැගෙන්නේ.

ඒ කාලෙ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත්

නුවර දෙව්රම් වෙහෙරේ. උන්වහන්සේව බැහැදකින්න හිතාගෙන භික්ෂු පිරිසක් දෙව්රම් වෙහෙරට වඩිමින් සිටියා. අතරමගදී ගම්වැසියන් පිරිසක් උන්වහන්සේලාව දානයකට වඩම්මවාගෙන ගියා. දානයට කාලවේලා වැඩිපුර තිබුණා. ඒ නිසා උයන පිරිස හැරුණු කොට අනිත් අය බණ අසමින් සිටියා.

එක්තරා ස්ත්‍රියක් බැදුමක් බදිද්දී ගිනි දැල්ලක් උඩට ගියා. ළඟම තිබුණු පිදුරු ගසකට මේ ගින්න ඇවිලුණා. සුළඟක් ඇවිදින් ඇවිලෙමින් තිබූ පිදුරු ගස අහසට නැග්ගුවා. කපුටෙක් පියාඹා ඇවිදින් ඒ පිදුරු ගසට හොට දැම්මා. සැණෙකින් කපුටාවත් ඇවිල ගියා. මැරී වැටුණා. හැමෝටම පුදුමයි.

“ඇවැත්නි, මහා පුදුමාකාර දෙයක් නෙව. මේ විදිහටත් සතුන් මැරෙනවා නෙව. මේ මැරුණු විදිහ බලද්දී පෙනෙන්නේ කර්මානුරූපව වුණු දෙයක් බවයි. භාග්‍යවතුන් වහන්සේගෙන් තමයි මෙය දැනගන්න තියෙන්නේ….”

ඒ භික්ෂු පිරිස දෙව්රම් වෙහෙර බලා පිටත් වුණා. ඔය අතරේ තව සිද්ධියක් වුණා. භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට ඈත පළාතකින් තවත් භික්ෂු පිරිසක් පිටත් වුණා. නැවකින් පැමිණෙද්දි සාගරය මැද නැව නැවතුණා. මොනවා කරලවත් ඇංජිම පණගන්වන්න බැහැ. මිනිස්සු කලබල වුණා.

“කවුරුහරි කාලකණ්ණියෙක් ඇති. ඒකව හොයා ගන්න ඕන. අපි තුණ්ඩු අදිමු” කියලා එක එක්කෙනා තමන්ගේ නම ලියා ඔතා වතුර පිරවූ තැටියකට දැම්මා. එකක් තැටියේ ගිලුණා. අනිත් සියල්ලම පා වුණා. ඒ ගිලුණු සීට්ටුව අරගෙන බැලුවා.

 

“හරි වැඬේ! ප්‍රධාන නැවියාගේ බිරිඳගේ නම නෙව මේ තියෙන්නේ… මේක වෙන්න බෑ. මේක වැරදීමක්…! අපි ආයෙත් තුණ්ඩු දාමු.”

දෙවෙනි වතාවටත් තුණ්ඩු දැම්මා. ඒ වතාවෙත් අර තුණ්ඩුවමයි ගිලුණේ. තුන්වෙන් වතාවෙත් දැම්මා. ඒ වතාවෙත් අහුවුණේ ඒ ස්ත්‍රියගේ නමයි. බැලූ බැල්මට ඈ පව්කාරියක් කියලා කාටවත් සොයන්න බෑ. ඈ ඉතාම ලස්සන සුරූපී ස්ත්‍රියක්. පින් පාටයි. නමුත් කරන්න දෙයක් නෑ. මිනිස්සු නැවියා දෙස බලා සිටියා. නැවියා කල්පනා කළා.

“ඔව්! කරන්න දෙයක් නෑ. අකමැත්තෙන් නමුත් මට මෙය කරන්න සිද්ධ වෙනවා. මෑ මගේ බිරිඳ. මහජනයා වෙනුවෙන් මට මගේ බිරිඳ අත්හරින්න වෙනවා.”

නැවියා අඬන්න පටන් ගත්තා. බිරිඳට මරණභය ඇතිවුණා. පණ බේරා දෙන්න කියා ස්වාමියා වැළඳගත්තා.

“සොඳුරී, හැමෝම වෙනුවෙන් මට මේ තීරණය ගන්න වෙනවා.”

නැවියා සේවකයින් ඇමතුවා. නැවියාට නොපෙනන තැනකට බිරිඳ රැගෙන ගියා. ඇයගේ ගෙලෙහි ගලක් බැඳ සාගර ජලයට දැම්මා. ඇය යටට ගිලී ගියා. සුළු මොහොතකින් නැව පණ ගැන්වුණා. පිරිස සුවසේ පිටත් වුණා. එහෙත් හැමෝගෙම සිතේ මහත් වේදනාවක් ඇතිකර දෙන්ට මේ සිද්ධිය සමත් වුණා. භාග්‍යවතුන් වහන්සේගෙන් හැර මෙහි සත්‍යය දැනගන්නට වෙන ක්‍රමයක් නැහැ කියලා ඒ භික්ෂූන් වහන්සේලාට හිතුණා.

ඔය අතරේ තව භික්ෂූන් සත් නමක් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට පැමිණියා. අතරමග එක්තරා වනගත සෙනසුනකට ගියා. ඒ සෙනසුනේ ලොකු ගල්ලෙනක් තිබුණා. සැවැත් නුවර බලා වඩින ඒ සත් නමටම ආසන පැණෙව්වා.

ඔවුන් සැතැපී සිටිද්දී මහා රාත්‍රියේ ඒ ගල්ලෙනට උඩින් තිබූ තව කළු ගලක් පාත්වුණා. අර ගල්ලෙනේ දොරටුව වසාගෙන වැටුණා. භික්ෂූන් වහන්සේලා ගල්ලෙනේ හිරවුණා. නේවාසික සඟපිරිස කලබල වුණා. දායකයින් කැඳෙව්වා.

ගල ඉවත් කරන්න අප්‍රමාණ වෙහෙසක් ගත්තා. කොටින්ම දවස් හතක් ගත වුණා. හත්වෙනි දවසේ ගල ඉබේම පහලට ලිස්සා ගියා. ඒ ආගන්තුක භික්ෂූන් සත්නම දින හතක්ම පිපාසයෙන් බඩගින්නෙන් මහත් දුකක් වින්දා. හැමෝටම පුදුමයි. අපි මේක බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගනිමු කියලා පිටත් වුණා.

භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට මේ කරුණු තුන ඉදිරිපත් වුණා.

“පින්වත් මහණෙනි, ඔය හැමෝම වින්දේ තම තමන්ගේ කර්ම විපාක. කපුටාට අත්වුණේ තමන් රැස් කළ කර්මයක විපාකයක්. ඉස්සර බරණැස් නුවර එක ගොවියෙක් හිටියා. තමන්ගේ ගොවිතැන් සඳහා ගවයන් පුහුණු කරන්නට මොහු මහන්සි ගත්තා. එහෙත් හරිගියේ නෑ. එක ගවයෙක් කොහෙත්ම මේච්චල් කරගන්න බැහැ. ටික දුරක් කුඹුරේ සී සා බිම වැටෙනවා. කෙවිටෙන් හොඳටම තලා අමාරුවෙන් නැගිට්ටුවනවා. ආයෙත් වැටෙනවා. මේ ගොනාව කොහෙත්ම හදාගන්න බැහැ. ගොවියාට හොඳටම කේන්ති ගියා. ආයෙ පාරක් ගොනා වැටුණා.

‘හොඳයි! තෝ මෙතනම නිදාගන්’ කියලා ලොකු පිදුරු මිටියක් අරගෙන ඇවිත් ගොනාගේ සිරුර පුරාම දාලා ගිනි තිබ්බා. ගොනා එතනම මළා. ගොවියට දැන් හරි සතුටුයි. සතාට යස දඬුවමක් දුන්නා කියලා හිතුවා. මරණින් මත්තේ මොහු නිරයේ උපන්නා. එහි ඉතුරු විපාක හැටියට කපුටු ආත්මයේ සත් වතාවක් ඔය විදිහට අහසේම ගිනි අරගෙන මැරුණා.

ඊළඟ එක ස්ත්‍රිය ගැනයි. ඔය ස්ත්‍රිය ඉස්සර ආත්මයක බරණැස එක්තරා පවුලක බිරිඳක්ව සිටියා. ඔය ගෙදර බල්ලෙක් ඇතිකළා. ඔය බල්ලා අර බිරිඳට හරී ආදරෙයි. ඈ වතුර ගේන්ට යද්දි, කුඹුරට යද්දි, පළාකොළ නෙළන්ට යද්දි, දර කඩන්ට යද්දි අර බල්ලා ඈ පස්සෙන්ම එනවා. මෙය දුටු තරුණයන් ඇයට උසුළු විසුළු කරන්න පටන් ගත්තා.

‘අපොයි! අපොයි! මේ බල්ලෙක් එක්ක යන්නේ බලු වැද්දියක් වත්ද? එහෙනම් අපටත් මස් ඩිංගිත්තක් ලැබේවි නේද?’ ඈ හොඳටම ලැජ්ජාවට පත්වුණා. ගල්වලින් ගසා බල්ලාව එළෙව්වා. ඌ යන්නේ නෑ. කැරකි කැරකී ආපහු එනවා. ඒ බල්ලා වෙලා ඉපිද සිටියේ මීට ආත්මභාව තුනකට පෙර ඇගේ සැමියා වෙලා හිටපු කෙනා. ඒ නිසා ඒ සුනඛයාට තමන්ගේ පැරණි ස්නේහය අත්හරින්න බැරිවුණා. නමුත් මේ බිරිඳට මේ බල්ලාව පේන්න බෑ. ගහනවා… බනිනවා… බල්ලාගෙ ආදරේ නම් වෙනසක් නෑ.

දිනක් ඈට උපායක් මතක් වුණා. එදා ස්වාමියාට බත් රැගෙන කුඹුර බලා පිටත් වුණා. වැල් පොටකුත් සූදානම් කරගත්තා. බල්ලා පස්සෙන් ආවා. ස්වාමියාට කෑම දී එන ගමන් වතුර වළක් ළඟට ආවා. ‘මෙහෙ වරෙන් පැටියෝ….’ කියල කතා කළා. මෙතෙක් කල් මිහිරි වචනයක් ඇසීමට පුල පුලා බලාසිටි බල්ලාට හරීම සතුටුයි. ඌ වලිගය වනමින් ඈ වෙත දුවගෙන ගියා. ඈ බල්ලාගේ බෙල්ලේ වැල්පොට බැන්දා. කළයේ කටේ වැල්පොටේ අනිත් කොන බැන්දා. බල්ලාව වතුරට තල්ලු කළා. ඈ සතුටට පත්වුණා දැන් ඉතින් කරදරේ ඉවරයි කියලා. ඒ පාපයේ විපාකය ලෙස ඈ නිරයේ ගියා. සියක් වතාවත් ජලයේ ගිලී මරණයට පත්වුණා.”

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ගල්ලෙනේ හිරවී සිටි භික්ෂූන් වහන්සේලා ඇමතුවා.

“පින්වත් මහණෙනි, ඔබත් වින්දේ කර්ම විපාකයක්මයි. ඉස්සර කාලෙක ගොපලු දරුවන් හත්දෙනෙක් වෙලා ඔබ බරණැස ඉපදිලා සිටියා. ඒ කාලෙ ආහාර පිණිස ගවයින්ව තණ පිට්ටනිවලට කැඳවාගෙන යනවා. ඔය අතරේ තලගොයෙකුව දැක්කා. දැකලා ඔය හත්දෙනාම ඌ පස්සෙන් පැන්නුවා. ඌ ගිහින් තුඹසකට රිංගුවා. ‘දැන් මූ අල්ලගන්න බෑ. හෙට අල්ලමු’ කියලා තුඹසේ සෑම සිදුරක්ම අතුකොල මිටි වලින් සිර කළා.

ඒ ගොපලු දරුවන් හත්දෙනාටම මේ කාරණය අමතක වුණා. සතියක් ගියාට පස්සේ මේ තුඹස මතක් වුණා. ඇවිත් අර සිදුරු ඇරියා. තලගොයා ඉතා දුකට පත්වෙලා අසරණ වෙලා අමාරුවෙන් එයින් නික්මුණා. දවස් හතක් නිරාහාරව සිටි තලගොයාගේ අසරණ බව දුටු ළමයි ඌට අනුකම්පා කළා. ඌව නිදහසේ යන්න කියා පිටත් කර හැරියා. සතා නොමැරූ නිසා නිරයේ ගියේ නෑ. නමුත් ආත්මභාව දාහතරක් හත් දවස ගානෙ බඩගින්නෙ හිටියා.

පින්වත් මහණෙනි, මෙයින් එකක් පේනවා. යම් පාප කර්මයක් කළ පසු එය විපාක නොදීම පිණිස සැඟවී සිටින්නට තැනක් අහසෙත් නෑ. මුහුදෙත් නෑ. පර්වත ඇතුළෙත් නෑ. ඒක පල දෙනවාමයි.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථාරත්නය මිහිරි ස්වරයෙන් වදාළා.

න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතෝ මුච්චෙය්‍ය පාපකම්මා

අහසේ සිටියත් බැහැ බේරෙන්නට – මහ සයුරේ මැද බැහැ බේරෙන්නට
කඳු මැද සිටියත් බැහැ බේරෙන්නට – සැඟවී ගොස් යම් තැනක මෙසේ
පවින් මිදෙන්නට බැලුවත් කිසි සේ – එබඳු තැනක් ලොව නැත්තේමයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවන් අසද්දී සසරේ භයානකකමමයි ඉස්මතු වෙන්නේ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරන තුරු අපට ස්ථිර විසඳුමක් නැති බව බුදුරජාණන් වහන්සේ වදාළේ මොනතරම් අවබෝධයකින්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 9-12. භික්ෂූන් තුන් පිරිසකගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here