9-10. කෝක නම් බලුවැද්දාගේ කථා වස්තුව – Sri News

0
23

“අනුන්ට කපනා වළේ වැටෙන්නේ තමන්මයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුද්ධ කලෙ වුණත් මිනිස්සුන්ගේ ස්වභාවයේ ලොකු වෙනසක් තිබිල නෑ වගේ. නමුත් ධර්මාවබෝධයට පින් ඇති අයට කොහොම හරි අවස්ථාව සැළසෙනවා. ඔය අතරේ අදකාලෙ වගේම පව් කරගන්න අයත් ඉන්නවා.

‘කෝක’ කියන්නේ වැද්දෙක්. මොහු කරන්නේ දඩයම් බලු රෑනක් දඩයමට පුහුණු කරලා උන් සමඟ දඩයමේ යෑමයි. මේ දඩයම් බල්ලන්ට ගොදුර පෙන්නනවා. පිස්සුවෙන් වගේ උන් දුවනවා. ගිහින් ‘පටත් පටත්’ ගාලා ගොදුර හපනවා. එතකොට වැද්දා ඊතලෙන් ගොදුරට විදිනවා.

දිනක් දඩයම් බල්ලන් පිරිවරාගෙන, දුනු ඊතල අරගෙන මොහු දඩයමේ පිටත් වුණා. වනාන්තරයේ භාවනා කරන භික්ෂුවක් ගමට පිඬු සිඟා වඩිද්දි මොහුට මුණගැසුණා. ඒ මුණගැසීම ගැන මොහු සතුටු වුණේ නැහැ.

‘ෂකේ…. මහා කාලකණ්ණියෙක්ම මුණගැහුණා නෙව…. මූසල දර්ශනයක්….! අද නම් දඩයම් හරියන එකක් නැහැ….’

කෝක වැද්දා වනයට ගියා. පේන තෙක් මානයක දඩයමක් නෑ. දවසම රස්තියාදු වුණා. හරි කේන්තියි. මේක වුණේ අර ශ්‍රමණයා නිසා කියලා දැඩි තරහෙන් හිටියේ. ඔය අතරේ සියලු සත්වයන් හට මෙත් සිත් වඩන ඒ අහිංසක ස්වාමීන් වහන්සේ පිඬුසිඟා වැඩම කොට දන් වළඳා යළි වනයට වඩිමින් සිටියා. වැද්දා ඈතදීම මේ භික්ෂුව දැක්කා.

“ආන්න… අරූ එනවා…. ඕකා නිසයි අද මං සුන්බත් වුණේ…. හිටපිය…! ඒයි… බල්ලනේ… වරෙව්….! ආන්න ගොදුර… ඉසු… ඉසු….”

දඩයම් බල්ලන් කැළඹුණා. තමන් දෙසට බල්ලන් එන වග ස්වාමීන් වහන්සේට තේරුණා. උන්වහන්සේ කෑ ගහලා කිව්වා ‘අනේ පින්වත, එහෙම කරන්න එපා!’ කියලා. බල්ලන් ළඟ ළඟ එනවා. කරගන්න දෙයක් නෑ. උන්වහන්සේගේ වාසනාවට ළඟම ගහක් තිබුණා. හනික ගහට නැගගත්තා. බල්ලන් ඇවිත් ගස වටේ ඉඳගෙන උඩට හැරී බුරන්න පටන් ගත්තා. හයියෙන් හිනා වෙවී කෝක වැද්දා පැමිණියා.

“හහ්… හා… තෝ හිතාගෙන ඉන්නේ අද මයෙන් ගැලවෙන්ටද? එව්වා බොරු… මගේ දඩයම් මුලිච්චි නොවුණේ තෝ නිසයි. වන්දි ගෙවාපිය දැන්….” කියලා ඊතල කූරු වලින් අර භික්ෂූන් වහන්සේගේ යටිපතුළට අනින්න ගත්තා.

“අනේ පින්වත…. මගෙන් වරදක් වුණේ නෑ… මෙහෙම කරන්න එපා” කියලා අර භික්ෂුව කෑ ගැහුවා.

නැවත නැවත ඊතල කටුවලින් විදිද්දී වේදනාව ඉවසගන්න බැරි උන්වහන්සේ ඇනුම්කන යටිපතුළ උඩට උස්සනවා. එතකොට අනිත් යටිපතුළට විදිනවා. උන්වහන්සේගේ දෙපා සිදුරු වෙලා ලේ ගලද්දි වැද්දාගේ ඇඟට වැටුණා.

උන්වහන්සේ කලබල වෙලා ගහ උඩ දඟලද්දී පෙරවූ සිවුර ගැලවී වැද්දාගේ හිස මත වැටුණා. වැද්දා හිසේ සිට සිවුරෙන් වැසී ගියා. බල්ලන් සිතුවේ භික්ෂුව ගහෙන් බිමට වැටුණු බවයි. වැද්දා වටකරගත් කීන බල්ලන් ‘පටත් පටත්’ අනුකරණයෙන් වැද්දාව හපන්න පටන් ගත්තා. තම දඩයම් බල්ලන්ගේ ප්‍රහාරයට ලක් වූ වැද්දා එතනම මිය ගියා. තෙරුන් වහන්සේ වියළි දරකඩක් කඩාගෙන බල්ලන් වෙත වීසි කළා. බල්ලන් උඩ බැලුවා. තෙරුන් වහන්සේ ගහ උඩ ඉන්න බවත්, මරණයට පත්වූයේ තම ස්වාමියා බවත් තේරුම් ගියා. ඔවුන් වනයට නික්ම ගියා.

ටික වේලාවකින් ඉතා අපහසුවෙන් ගහෙන් බැසගත් ඒ භික්ෂුව ඉරුණු සිවුරද පොරවාගෙන භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්නට ගියා.

“……… ඔන්න ඔහොමයි ස්වාමීනී ඕක වුණේ. මගේ සිවුර ඔහුගේ ඇඟට වැටුණේ නැත්නම් එහෙම වෙන්නේ නෑනේ. ඉතින් මේකෙන් මට වරදක් වුණාද? මගේ පැවිදි ජීවිතයට කැළලක් වුණාද?”

“පින්වත් භික්ෂුව ඔබට වරදක් සිදු වී නැහැ. පැවිද්දට අනතුරක් සිදුවෙලත් නැහැ. පිරිසිදු සිල් ඇති අහිංසක කෙනෙකුට විනකටින්ට යාමෙන් තමයි ඔහු විනාශයට පත්වුණේ. ද්වේශ සිත් නැති අයට ද්වේෂ කිරීමෙන් අතීතයේ පවා ඔවැනි කරදර සිදුවුණා.

ඉස්සර එක ගමක වෙද මහත්තයෙක් හිටියා. වෙදකමින් ජීවත් වුණා. මොහු වෙදකම් පිණිස ඇවිදගෙන යනවා. එදා කිසි රෝගියෙක් මුණගැසුණේ නෑ. මොහුට හරි බඩගිනියි. මොහු කල්පනා කළා ‘අද මං මොන උපායෙන්ද ලෙඩෙක් හොයාගන්නේ?’ කියලා. වටපිට බැලුවා. ‘ආන්න අතන ළමයි සෙල්ලම් කරනවා නේද? ඔව්! මේ මෙතන ගස් බෙනයක් තියෙන්නේ…. භයානක නයෙක් නේද අර ඔළුව එළියට දාගෙන ඉන්නේ….? මේ සර්පයා ලවා ළමයෙකුව කවා ගත්තොත් අදට ගාණ හරි!’ කියලා හිතුවා.

‘ඒයි… ළමයිනේ… මෙහෙ වරෙල්ලා… හරි පුදුම දෙයක් මං උඹලාට පෙන්වන්නම්… මෙන්න මේ ගස් බෙනය ඇතුළේ හරි අලංකාර සැළලිහිණි පැටියෙක් ඉන්නවා නෙව. හපන්කම කියන්නේ මේකයි… පුළුවන් නම් මේකාව අල්ලගනිල්ලා…’

එතකොට ‘කෝ…. කෝ…. සැළලිහිණි පැටියා?’ කියල ළමයි රැස්වුණා. එක ළමයෙක් පැනපු ගමන් නයාගේ ඔළුවෙන් තදින් අල්ලගත්තා. අල්ලගෙන බෙණයෙන් එළියට ඇද්දා… ලොකු සර්පයෙක්! අර වෙදාගේ ඔළුවට දැම්මා. වෙදාගේ බෙල්ල වෙළාගත් ඒ සර්පයා ඔහුට දෂ්ඨ කළා. එතනම මරණයට පත්වුණා. බලුවැද්දාට වුණෙත් මේ වැඬේමයි. ද්වේෂ නොකරන්නන්ට ද්වේෂ කරන්න ගිහින් වෙච්චි විනාසේ….”

ඉන්පසු බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි හඬින් මේ ගාථාරත්නය වදාළා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here