8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

0
4


“රහතුන්ට දන් දීම උතුම් දෙයක්මයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, පවුලක එක දරුවෙක් හරි යහපත කරා ගියොත් එය ඇතැම් විට මුළු පවුලේම යහපතට හේතු වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි පළමුවෙන්ම ධර්මය හොයාගෙන ගියේ. උන්වහන්සේගේ පවුලේ සියලු දෙනාම දහම් මාවතට පැමිණුනා. අන්තිමේදී මෑණියන්ටත් ධර්මය ලැබුණා.

සැරියුත් තෙරුන්ගේ ගිහි නම උපතිස්ස. නාලන්දාවේ විසූ ඉතාම ධනවත්, වංශවත් බ්‍රාහ්මණ පවුලකටයි උපතිස්සයන් අයිති වුණේ. ඒ අය අදහාගෙන සිටියේ වේදයයි. වේදයේ උගන්වන්නේ යාග හෝම කිරීම ගැනයි. සැරියුත් තෙරුන්ගේ පවුලේ අනෙක් ඤාතීනුත් ඒ වේදයේ ඉගැන්වීම තමයි පිළිඅරගෙන සිටියේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබීම නිසා සැරියුත් තෙරුන් ප්‍රමුඛ පවුලේ සියලු දෙනාට සසරෙන් එතෙර වෙන්න වාසනාව ලැබුණා.

දිනක් සැරියුත් තෙරුන්ගේ මෑණියන්ගේ සහෝදරයෙක් වන එක්තරා බ්‍රාහ්මණයෙක් සැරියුත් තෙරුන්ව බැහැදකින්න ආවා. පිළිසඳර කතාබහේ යෙදුණා. සැරියුත් තෙරුන් ඔහුගෙන් මෙහෙම ඇහුවා.

“පින්වත් බ්‍රාහ්මණය, මිනිස් ජීවිතය අපට ලැබුණේ කුමක්දෝ වාසනාවකටයි. ඉතින් අපි මේ ජීවිතයේදී පින් දහම් කරගන්න ඕන නේද? ඔබ පින් කරන්නේ නැද්ද?”

“අනේ ස්වාමීනී, මොනවා අහනවද? මං හරියට පින් කරන කෙනෙක්. මං කොහොමත් කල්පනා කරන්නේ පින් රැස් කිරීම ගැන තමයි.”

“මොකක්ද ඔබ කරන පින?”

“ස්වාමීනී, මං මාසයක් පාසා කහවණු දහස ගානේ වියදම් කරලා ලොකු දානයක් දෙනවා.”

“ඔබ දානෙ දෙන්නේ කාටද?”

“ස්වාමීනී, මං දානෙ දෙන්නේ නිගණ්ඨයන්ටයි.”

“ඉතින් ඔබ දානෙ දීලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?”

“ස්වාමීනී, මගේ එකම පැතුම නම් බ්‍රහ්ම ලෝකයේ ඉපදීමයි.”

“ඉතින් ඔබ හරියටම දන්නවාද, ඔය දන්දීම හේතුවෙන් ස්ථිරවම බ්‍රහ්මලෝකයේ යන බව?”

“නැතුව ස්වාමීනී, මං හොඳාකාරවම දන්නවා. මේක තමයි බඹලොවට තියෙන පාර.”

“කවුද ඔබට එහෙම කිව්වේ?”

“ස්වාමීනී, අපේ ආචාර්යවරු තමයි අපට එහෙම කියා දීලා තියෙන්නේ.”

“නැහැ පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්. එතැනදි අපි බඹ ලොවට යන මාර්ගය ගැන අසා දැනගනිමු.”

ඊටපස්සේ සාරිපුත්තයන් වහන්සේ මහත් දයානුකම්පාවෙන් යුතුව අර බ්‍රාහ්මණයාව බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. ගිහින් කතා බස් කළ සියලු තොරතුරු පැවසුවා. එවිට බුදුරජාණන් වහන්සේ බඹලොව යන මාර්ගය වන සතර බ්‍රහ්ම විහරණයන් හෙවත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන ගුණධර්මයන් දියුණු කරගන්නා ආකාරය පෙන්වා දී මෙය වදාළා.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඔය දන්දීම සියයක් අවුරුදු දිගටම කළත් බඹලොවට රැගෙන යන්න තරම් එය මහත්ඵල වෙන්නේ නෑ. නමුත් නිකෙලෙස් කෙනෙකුට ඔබ පහන් සිතෙන් යුතුව සුළු දානයක් දුන්නත් එයින් නම් ඔබට බොහෝ යහපතක් උදා කරගන්න පුළුවනි”යි පවසා මෙම ගාථාව වදාළා.

මෙම ගාථාව එම බ්‍රාහ්මණයාට පුදුමාකාර පිහිටක් උපදවා දුන්නා. ඔහු ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ශ්‍රාවකයෙක් වුණා.

මාසේ මාසේ සහස්සේන – යෝ යජේථ සතං සමං
ඒකඤ්ච භාවිතත්තානං – මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යෝ – යඤ්චේ වස්සසතං හුතං

දහස බැගින් කහවණු වියදම් කොට – මාසෙන් මාසෙට දන් බෙදමින් සිට
සියයක් අවුරුදු ගෙව්වත් එලෙසට – පලයක් නැහැමයි පින් කෙත නැති විට
එනමුදු නිකෙලෙස් ශ්‍රමණවරුන් හට – මොහොතක් හෝ සුළුවෙන් දන් දුන් විට
සියයක් වසරක දානය යට කොට – පින මතුවෙනවා හැමට උතුම් කොට

පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයෙහි විවිධ අය දන් දීම පිණිස විවිධ පිරිස් තෝරාගන්නවා. තම තමන් අදහන ආගම්වලට අනුව තම තමන්ගේ පිරිසට දන් දෙනවා. ඒකෙදි සැළකිල්ලට ගන්නේ තමන්ගේ මතය පිළිගත් පිරිසක් වීමයි. බුදුරජාණන් වහන්සේ මෙතැනදි දේශනා කරන්නේ ඊට වෙනස් දෙයක්. යම් කෙනෙක් කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා නම්, සියලු කෙලෙස් ප්‍රහාණය කරලා නම්, උන්වහන්සේ ලෝකයෙන් එතෙර වූ කෙනෙක්. අටලෝ දහමට කම්පා නොවෙන කෙනෙක්. එබඳු රහතුන්ට දන් දුන් විට අප්‍රමාණ පිනක් ලැබීම ධර්මතාවයක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කෙරෙහි සිත පහදවාගෙන දන් දෙන්න කියලා අර බ්‍රාහ්මණයාට වදාළේ. ඔහු මාස් පතා දහස් ගණන් වියදම් කොට දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාළේ සුළුවෙන් නමුත් මොහොතකට හෝ පූජාවක් කළොත් ඒක දහස් ගණන් මාස් පතා වියදම් කොට අවුරුදු සීයක් දුන්නටත් වඩා වටිනවා කියලයි. ඒ නිසා අපි වුණත් ඒ රහතන් වහන්සේලා සිහි කොට පූජා කරන්න පුරුදු වුණාම අපේ පින වුණත් ගොඩක් දියුණු වේවි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here