8-16. බොහෝ දරුවන් සිටි භික්ෂුණියගේ කථා වස්තුව

0
5


“ධර්මයෙන්මයි රැකවරණය ලැබෙන්නේ….”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර දෙමව්පියන්ට දරුවන් නිසාමයි දුක් විඳින්න වෙන්නේ. මුළු ජීවිත කාලයේම ණය ගෙවනවා වගේ දරුවන්ට සළකන්නේ. අන්තිමේදී ඒ දරුවන් වෙනස්කම් කරද්දී දෙමව්පියන් අසරණ වෙන්නේ මහා ගස් කඩා වැටෙනවා වගෙයි. එසේ අසරණ වූ විට ධර්මය නොතිබුණොත් ඒ දෙමව්පියන්ට කුමක් වේවිද? මේ කථාව දෙස බලන්න.

සැවැත් නුවර එක්තරා ගොවි ගෙදරක් තිබුණා. ගොවි දෙමහල්ලන්ට පුතුන් සත් දෙනෙකුයි, දියණිවරු සත් දෙනෙකුයි හිටියා. ඒ කියන්නේ දරුවන් දාහතර දෙනෙකුගේ ලොකු පවුලක්. ඉතින් මේ මව්පියන් දරුවන් සමඟ සතුටින් වාසය කළා. සුදුසු කාලයේදී කසාද බන්දලා දුන්නා. දේපල වස්තුවත් සමසේ බෙදලාදුන්නා.

මේ ගොවි යුවල තෙරුවන් සරණ ගිය දෙපලක්. ඔවුන් හරි සතුටෙන් ජීවත් වුණේ. කලක් යද්දී දරුවන්ගේ පියා මරණයට පත් වුණා. මහා උපාසිකාව දරුවන්ගේ නිවෙස්වල කල්ගත කරනවා. ටික දවසක් යද්දී ලොකු පුතාගේ බිරිඳ මේ අම්මාට ආඩපාළි කියන්න පටන් ගත්තා.

“හහ්…! හරි වැඩක් නෙව. අපට කියලා වැඩිපුර දුන්නේ නෑනේ… මට මේ ළමයි බලන්නයි, නාකි අම්මලාට බත් උයන්නයි, මොන වදයක්ද…!”

ලොකු ලේලිය ඒ උපාසිකාවට අපහාස කළා. ඇය ඊළඟ පුතුගේ ගෙදරට ගියා.

“යසයි! අපට ටිකක් හරි වැඩිපුර දුන්නා නම්, අපිත් මොනවාහරි නොකර ඉන්නේ නෑ. දැන් කාලෙ අමුතුවෙන් කෙනෙකුට සැළකීම අමාරු දෙයක්. ඈ… නැන්දේ… මෙහෙ ඉන්නවට වඩා ලොකු දුව ගාවට ගියොත් නරකද?”

උපාසිකාව ලොකු දුව ළඟට ගියා.

“හා… හා…. අම්මට දැන්ද මාව මතක් වුණේ…? දුවක් සිටිය වගක්වත් මතක් වුණ එකත් ලොකු දෙයක්. අඩු ගණනේ මට එක වළල්ලක් වැඩිපුර දුන්නද?”

උපාසිකාව තනියම කල්පනා කළා.

‘මං මොකටද දරුවන්ට කරදර කරන්න යන්නේ… සමසේ දේපල බෙදුවත් කවදාවත් මේ හිත සෑහීමකට පත්වෙන්නේ නෑ. කෙලෙස් සහිත ලෝකය මෙහෙම තමයි. මේක දරුවන්ගේ වැරැද්ද නොවෙයි. කෙලෙස් සහිතව ජීවත්වීමේ වැරැද්දයි. මං සසරේ දරුවන් නිසා කොයි තරම් දුක් විඳලා ඇද්ද? මට මේ ධර්මය නොතිබෙන්න මේ දරුවන් කරන වෙනස්කම්වලට කේන්ති නොගෙන ඉන්න අමාරුයි. ඒකාන්තයෙන්ම අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ ධර්මය මේ සිතට පුදුමාකාර රැකවරණයක් සළසා දෙනවා. සිත රැකුණොත් නෙව කයයි, වචනයයි රැකෙන්නේ. මං නම් සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයමයි. දරුවෝ කරන දෙයක් එයාලා අරගෙන යයි. මට කරන්න දෙයක් නෑ…. මට මේ දරුවෝ ගැන දුකයි. මෙච්චර වටිනා ධර්මයක් ඇහෙන කාලෙක මෙයලා ජීවිතයට රැවටිලා ඉන්නේ පළඟැටියන් වගෙයි.

දැන් මං කරන්න තියෙන්නේ දරුවන්ගෙ ගෙවල් ගානෙ ඇවිදීම අත්හැරලා භික්ෂුණීන් ළඟට ගිහින් පුළුවන් හැටියකට ධර්මයේ හැසිරෙන එකයි.”

ඉතින් ඒ උපාසිකාව භික්ෂුණීන් ළඟට ගියා. භික්ෂුණීන්ට උපස්ථාන කරගෙන වාසය කළා. ඇයටත් ගෞතම බුදු සසුනේ භික්ෂුණී සංඝයා අතරට යන්නට වාසනාව ලැබුණා. ඇය භික්ෂුණියක් වුණා. බොහෝ දරුවන් සිටි තැනැත්තියක් නිසා ඇය ප්‍රසිද්ධ වුණේ ‘බහුපුත්තික ථේරී’ යන නමින්.

කොතරම් මහළු වුණත් ඇය හරිම පින්වන්තයි. සිරියාවන්තයි. කවදාවත් කේන්ති ගත්තේ නෑ. නපුරු වචනයක් කිව්වේ නෑ. අනිත් භික්ෂුණීන් මොන වැඩක් කිව්වත් අමාරුවෙන් හරි එය කරදෙනවා. ඈ වත්පිළිවෙත් මග හැරියේ නෑ. මේ පියකරු පෙනුම ඇති ඉතා මහළු භික්ෂුණිය භික්ෂුණී සංඝයා අතර කැපී පෙනුණා.

ඈ දවස පුරා වත්පිළිවෙත් කරනවා. රාත්‍රී කාලයට ඈ යට මහලට බහිනවා. ඒ මැද ඇති කණුව අල්ලාගෙන ඈ සක්මන් කරන්නේ වැටේවි යන බියටයි. එළිමහනේ සක්මන් කරද්දී ඈ කරුවලේම සක්මන් කරනවා. හැබැයි ගහක් අල්ලාගෙන ගහ වටේ යමිනුයි ඈ සක්මන් කරන්නේ. ඈට ගොඩක් වයස නිසා පය පැටලී වැටේවි යන බියටයි ඇය එහෙම සක්මන් කළේ. කොහොම නමුත් ඈ හරිම පින්වත්. සමථ විදර්ශනා භාවනා දියුණු කරගන්නට ඇයටත් පින තිබුණා.

දිනක් ඈ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් විමසා බලද්දී ඇගේ සිත සංසිඳී යමින් තිබුණා. අකුසල් වලින් නිදහස් වෙමින් තිබුණා. ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ ආලෝක ධාරාවක් ඈ වෙත එව්වා. මේ ගාථාව ඇහෙන්න සැළැස්සුවා. මේ ගාථාව අවසානයේ ඇය සියළු කෙලෙස් ප්‍රහාණය කොට අරහත් භික්ෂුණියක් බවට පත්වුණා.

යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං ධම්මමුත්තමං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ ධම්මමුත්තමං

සියක් අවුරුදු ගෙවා දැමුව ද – උතුම් දහමක් නොදකිනා ලෙස
පලක් නැහැමයි එය කෙනෙකු හට – එයින් ඇතිවෙන සෙතක් නම් නැත
ගෙවයි නම් ලොව එකම දවසක් – උතුම් සදහම් පසක් කරමින
උතුම්මයි ඒ ගෙවෙන එදවස – සෙතක් සැලසෙනවා එයින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, වෙන කෙනෙක් නම් දරුවන්ට අවලාද කියමින් ගමක් ගානෙ යාවි. ජාති ජාතිත් පලිගන්නවා කියාවි. ශාප කරාවි. නමුත් ඒ උපාසිකාවට ධර්මය සිහි කිරීමේ හැකියාව තිබුණා. ඇය ඉවසුවා. කාටවත් දොස් කිව්වේ නෑ. ඇය දුටුවේ සසරේ පවතින දෝෂයක් හැටියට විනා දරුවන්ගේ දොසක් හැටියට නොවෙයි. ඒ පින්වන්ත අම්මාට ධර්මය දකින්න වාසනාව ලැබුණෙත් ඒ නිසාමයි.

කෙනෙක් වෙනස්කම් කරද්දී තම සිත වෙනස් නොකරගෙන ඉන්න ඇත්නම්, නපුරු බස් නොදොඩා ඉන්න ඇත්නම්, දිගටම මෙත් සිත පවත්වන්න ඇත්නම් එය මොනතරම් වාසනාවක්ද! අපිත් ඒ පින්වන්ත අම්මා වගේ ජීවිතය හදාගන්න පුරුදු වෙමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 8-16. බොහෝ දරුවන් සිටි භික්ෂුණියගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here