8-13. සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව

0
3


“අනුන්ට උපදෙස් දෙන්නේ බලාගෙනයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ, වාසනාව කියන්නේ බැලූ බැල්මට සොයාගන්න බැරි දෙයක්. ඇතැම් කෙනෙකුගේ වාසනාව මතුවෙන්න බොහෝ කාලයක් යනවා. එතෙක් ඔහු සිතන්නේ තමන් මහා අවාසනාවන්තයෙක් කියලයි.

සැබෑවටම ඔහු තුළ වාසනාව තිබුණා. මතුවෙන්න කල් ගියා. එතෙක් කළ යුත්තේ ඉවසීමෙන් තමන්ගේ කටයුතු කිරීමයි. වාසනාව සොයා ගත නොහැකිව කලබල වී මහා කරදර ගොඩක පැටලෙන්නට ගිය එක්තරා භික්ෂුවක් ගැනයි අපි දැන් ඉගෙන ගන්නේ.

සැවැත් නුවර ඉතාමත් සැදැහැවත් තරුණයෙක් හිටියා. මොහු නිතරම බණ අහන්න යනවා. ජීවිතයේ ඇති නිසරු බවත්, සසරෙහි ඇති බියජනක බවත් මොහුට තේරුණා. දෙමව්පියන්ගෙන් ඉතාමත් අසීරුවෙන් අවසර ඉල්ලාගෙන සියලු දේපල අත්හැරලා බුදු සසුනෙහි පැවිදි වුණා. පැවිදි වුණු දා සිට මොහු ඉතාම හොඳින් සිල් ආරක්ෂා කළා. ඈත වන සෙනසුන්වලට ගියා. නොයෙක් භික්ෂූන් වහන්සේලා මුණ ගැසී වීරිය ඇතිවෙන්න උපදෙස් ගත්තා.

වස් කාලය පැමිණෙද්දී බොහෝ භික්ෂූන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ ඒ තුන්මාසය තුළ ඉතාමත් හොඳින් බණ භාවනා කොට අරහත්වයට පත්වීමටයි. ඉතින් මේ භික්ෂුවත් සෑම වස් කාලයකම ආරම්භක දවසේම අදිටන් කරගන්නේ වස් අවසන් වෙන්නට පෙර නිකෙලෙස් වීමටයි.

ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිමිදිරි උදෑසන නැගිටිනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරමින් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා. මෙත් වඩමින් මෛත්‍රී භාවනාවේ යෙදෙනවා. තමන්ගේ සිල් ආවර්ජනා කරනවා. මරණසතියත් වඩනවා. දවස පුරාම භාවනාවෙන් ඉන්න තමයි කැමැත්ත තියෙන්නේ. හැබැයි එක මොහොතකටවත් සිත සංසිඳුවාගන්න බෑ. නොහික්මුණු කුළු හරක් නාම්බෙක් වගේ මේ හිත එක එක අරමුණුවල දුවනවා. හති නොවැටී දුවනවා. නොනැවතී දුවනවා. කොතරම් වීරියක් ගත්තත් භාවනා අරමුණක සිත රඳවා ගන්න බැරිව ගියා.

හුදෙකලාවේ රුක් සෙවණේ භික්ෂූන් වහන්සේලා සමවත් සුවයෙන් වැඩසිටිනා අයුරු උන්වහන්සේ බලා සිටිනවා. තමාත් රුක් සෙවණකට යනවා. භාවනාවට වාඩිවෙනවා. කොන්ද කෙලින් කරගෙන දෑස් පියාගෙන හිතන්නේ මේ වතාවේ නම් මං හිත වෙන අරමුණ යා නොදී භාවනාවේ රඳවනවා කියලයි. ටික වෙලාවකින් මේ හිතේ හටගන්නේ අකුසල්මයි.

“චී….! චී…..! මේ මොනවද හිතෙන්නේ….? මේ හිත හරිම වංචනිකයි. චිකේ….! මට මේ හිතෙන දේවල්…. වෙන කෙනෙක් හඳුනාගත්තොත් මට ජීවත් වෙලා පලක් නෑ…. මං මේ මහණ වුණේ මොනතරම් ආසාවකින්ද? දැන් මහණ වෙලා අවුරුදු ගණනාවක් වුණා. මොහොතක් වත් මේ සිතට සමාධි සුවයක් නැහැ නෙව. අනේ දෙවියනේ…. මං මෙතරම් අවාසනාවන්තයෙක්ද…?

මං මහණ වුණේ ලෝකනාථ වූ සර්වඥයන් වහන්සේ ළඟයි. මං ඇසුරු කළේ නිකෙලෙස් මහරහතන් වහන්සේලා. මං ඇසුවේ චතුරාර්ය සත්‍යයයි. මට පුරුදු කරන්න ඕන වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒත් මේ ජරා සිත…. කෙලෙස් සමඟ පැටලෙන්නේ කුණු මඩක එරෙන මීහරකෙක් වගේ…”

ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඇස් වහගෙන කල්පනා කරනවා. ටික වෙලාවකින් ඒ වැසූ දෙනෙතින් කඳුළු දහරා කඩා හැලෙනවා. භාවනාවට නවාගත් දෑත හිස මත ගසා ගන්නවා. නැගිටිනවා. සක්මන් කරන්න පටන් ගන්නවා. හිතට කිසිම සැනසිල්ලක් නෑ. නොනැවතී කරකැවෙන බඹරයක් වගේ මේ සිත කෙලෙස් ලෝකයේ කැරකි කැරකී තියෙනවා. උන්වහන්සේ හිසේ අත් බැඳගෙන හඬමින් ඒ වස් කාලය අවසන් කරනවා.

‘හ්ම්…! තවත් වස් කාලයක් එනවා…. හප්පේ….! මං කොතෙක් කල් මෙහෙම ජීවත් වෙන්නද? දැන් මහණ වෙලා අවුරුදු විසි ගණනක් මේ ජීවිතය ගෙවිලා ගියා. මට විතරක්මද මෙවන් විපතක් සිදුවෙන්නේ….? ලෝකයෙහි සිටින අවාසනාවන්තම කෙනා මමද? මේ මාර්ගය අත්හැරියොත් මට සිද්ධ වෙන්නේ සිවුරු හරින්නයි.

මං කැමති නෑ ඒකට. මගේ සිතේ සමාධියක් නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මං කොහොමද සැක කරන්නේ? ඒ ධර්මය ඒකාන්තයෙන්ම කෙනෙක්ව නිකෙලෙස් බවට පත්කරවනවා. නමුත් මගේ සිත කෙලෙසී යන පමණින් මං වගේ කෙනෙක් කොහොමද ඒ ධර්මය සැක කරන්නේ? මං ඉදිරියේම නොයෙකුත් සමවත්වලට සමවදින රහතන් වහන්සේලා ජීවමානව සිටිද්දී මං කොහොමද ආර්ය සංඝයා සැක කරන්නේ?

මං මෙය අත්හැරියොත් ආයෙමත් වැටෙන්නේ ගිහි ගෙදරටයි. අඹුදරුවන්ගේ අඬහැරියාව මැද්දේ මට ඉන්න වෙන්නේ පිස්සෙක් වගෙයි. මං කොහොමද එහෙම ජීවත් වෙලා ගිහියෙක් වශයෙන් මැරෙන්නේ?

බෑ…. බෑ…. බෑ…. කිසිසේත්ම බෑ…. කිසිසේත්ම මට ඒක කරන්න බෑ…. මං මේ ධර්මය වෙනුවෙන්ම මේ ජීවිතය පූජා කරනවා. මට වෙන දෙයක් ඕන නෑ….’

නිතරම කල්පනාවේ ගැලී සිටින මේ ස්වාමීන් වහන්සේගේ සිතට කිසි සතුටක් නෑ. හැම තිස්සෙම විරාගය පතමින් සරාගී සිතින් දුක සේ වාසය කළා. ජීවිතයේ හැම දෙයක්ම එපා වුණා.

දිනක් සැවැත් නුවර ජේතවනයේ කුටියකට නයෙක් රිංගා ගත්තා. ස්වාමීන් වහන්සේලා භය වුණා. ඒ නයාව කළයක් ඇතුළට ගත්තා. වනයට ගිහින් අත්හරින්න සූදානම් වුණා. අර ස්වාමීන් වහන්සේ මේක දැක්කා.

“පින්වත් ආයුෂ්මතුන් වහන්ස, ඔය මොකක්ද?”

“ප්‍රිය ආයුෂ්මතුනි, මේ කළේ ඇතුලේ ඉන්නේ භයානක සර්පයෙක්! දෂ්ට කළෝතින් නම් එතනම කම්මුතුයි.”

අර ස්වාමීන් වහන්සේ මහත් ප්‍රීතියට පත්වුණා. මෙහෙම හිතන්න පටන් ගත්තා.

‘ෂා….! මෙතරම් ඉක්මනට හැමදෙයක්ම කම්මුතු කරගන්න ඇත්නම් යසයි…! එහෙනම් එක දෙයයි කරන්න තියෙන්නේ…’

ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාගෙන් ඒ කළය ඉල්ල ගත්තා. වනාන්තරයට ගෙන ගියා. ඒ කළයට අත දැම්මා. උන්වහන්සේ හිතුවේ නාගයා සැණෙකින් දෂ්ට කරාවි කියලයි. එතකොට මේ සියලු දුක් දොම්නස් අවසන් වේවි කියලයි. නමුත් නාගයා දෂ්ට කළේ නෑ. එතකොට උන්වහන්සේ කළය ඇතුළට අතදාලා නාගයාගේ ඇඟේ පටලෝලා සෙලෙව්වා. ඒත් දෂ්ට කළේ නෑ. නාගයාගේ ඔළුව තද කළා. කට මිරිකුවා. ඒත් දෂ්ට කළේ නෑ.

නැට්ටෙන් ඇදලා එළියට ගත්තා. ‘මේකා විෂඝෝර සර්පයෙක් නම් නොවෙයි. ගැරඬි තඩියෙක්’ කියලා වීසි කළා.

වෙහෙරට ගිහින් භික්ෂූන් වහන්සේලාට කිව්වා,

“අයියෝ…! ඔබවහන්සේලා භයවෙලා තියෙන්නේ ගැරඬි තඩියෙකුට නොවැ. මහා ලොකුවට කළයකට ඔබාගෙන පරිස්සම් කරගෙන ගෙනිච්චේ විෂ ඝෝර නාගයෙක් කියල නෙව.”

“නෑ… නෑ…. එහෙම වෙන්නෙ කොහොමද? ඒ නාගයා අපට පෙණේ කරලා පිප්පුවා. දෂ්ට කරන්න පැන්නා. හරිම දරුණුයි! නමුත් ඔබවහන්සේ කියනවා ගැරඬියෙක්ලු… දෂ්ට කළා නම් තේරෙයි.”

“අනේ නෑ… ඌ දෂ්ට කරනවා නම් මං කළ දේවල්වලට දෂ්ට කරනවාමයි.”

“ඈ….! ඔබවහන්සේ මොකක්ද කළේ…?”

“මං කළේ ඇතුළට අතදැම්මා… සෙලෙව්වා… උගේ ඇඟෙන් අලල්ලා කැළැම්බුවා… ඔළුව තද කළා…. කට මිරිකුවා…. අනේ… කිසි වගක් නැතුව ඌ හිටියේ….”

මේ කතාව බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබුණා.

“පින්වත් මහණෙනි, ඌ ගැරඬියෙක් නොවෙයි. විෂඝෝර සර්පයෙක්. දෂ්ට කළොත් සැණෙකින් මිය යනවා. නමුත් මේ භික්ෂුවට ඒ සර්පයා හානියක් නොකළේ හේතුවක් නිසයි. ඒ සර්පයා මීට ආත්මභාව තුනකට කලින් මේ භික්ෂුවගේ ඉතාමත් කීකරු, ලබැඳි සේවකයෙක්. අර සතාට මේ භික්ෂුවගේ අත ස්පර්ශ වෙද්දී, පැරණි ස්වාමියාගේ සුවඳ දැනුණා. ඒකයි ඌ කිසිවක් නොකළේ…”

මේ හේතුව නිසා උන්වහන්සේට ‘සප්පදාස’ යන නම පටබැඳුණා. උන්වහන්සේගේ ප්‍රශ්නය කොහෙත්ම විසඳගන්න පුළුවන් වුණේ නෑ. හිතේ විසිරිල්ලේ කිසි අඩුවක් නෑ. කැමැති කැමැති අරමුණුවල කිසි ලැජ්ජාවක් නැතුව මේ සිත හැසිරෙන විදිහේ කිසි අඩුවක් නෑ. උන්වහන්සේ හිටියේ වචනයෙන් කියාගන්න බැරි කම්පාවකින්. එකම විසඳුම හැටියට පෙනුනේ දිවි නසා ගැනීම විතරයි.

දිනක් මේ ස්වාමීන් වහන්සේ තමන්ට හිස බෑමට තියෙන දැලි පිහිය දකිද්දී පුදුම විදිහට හිත වෙනස් වෙලා ගියා. දැඩි තීරණයක් ගත්තා. කුටියේ දොර වසාගත්තා. දැලි පිහිය අතට ගත්තා. ඇඳේ වාඩිවුණා. සතර සතිපට්ඨානයේ සිත දැඩි ලෙස පිහිටුවාගෙන දැලි පිහිය බෙල්ලට තිබ්බා. උන්වහන්සේගේ එකම අරමුණ වුණේ බෙල්ලේ නහර කපා ගැනීමයි. නමුත් හරිම පුදුමයි, සතර සතිපට්ඨානයේ සිත මැනැවින් පිහිටා ගියා. සිතේ දුක් දොම්නස් සැණෙකින් අතුරුදහන් වුණා. හොඳට විදර්ශනාව වැඩෙන්න පටන් ගත්තා. දැලි පිහිය පසෙක තබා ඇඳේ වාඩිවී ඒ වැඩෙන සමථ විදර්ශනාවට සිත යොමු කරගෙන හිටියා. වේගයෙන් ගලා බසින ජල පහරකට වැටුණු දෙයක් නොනැවතී සයුර බලා යන්නා සේ උන්වහන්සේගේ සිත කිසිවක නොපැටලී, නොනැවතීම නිවන කරා ගියා. නිකෙලෙස් වුණා. සංසිඳී ගියා. රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

උන්වහන්සේටත් නොදැනීම පුරුදු කරන ලද සිත තුළ ධර්මය වැඩී ගොස් ඇති ආකාරය හරිම අසිරිමත්. උන්වහන්සේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. සතුටින් වන්දනා කළා. සියලු පුවත් හෙළි කළා. එවිට බුදුරජුන් පැහැදිලි කොට වදාළේ උන්වහන්සේට මෙතෙක් කලක් ධර්ම මාර්ගයේ ගමන් කළ නොහැකිව යම් චිත්ත පීඩාවකින් කල් ගෙව්වා නම් එය සිදුවූයේ පෙර සසරේ කරන ලද දෙයක විපාකයක් නිසා බවයි.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කුලපුත්‍රයෙක් නිවන් අවබෝධ කරන අදහසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා. නමුත් ටික දවසකදී පැවිද්දට ඇති ආශාව නැති වී ගියා. අරතිය ඇති වුණා. බණ භාවනා කරන්න බැරිවුණා. කෙලෙස් වලින් බැටකන්නට පටන් ගත්තා. මේ භික්ෂුව මහත් සංවේගයකට පත්වුණා. කලබල වුණා. ඉතා බලවත් සිත් තැවුලකින් යුතුව තම යහළු ස්වාමීන් වහන්සේ නමකට තමන් පත් වී ඇති අවුල පැවසුවා. උන්වහන්සේ නොයෙක් අයුරින් ගිහි ජීවිතයේ ආදීනව පෙන්වා දුන්නා. පැවිද්දේ අනුසස් පෙන්වා දුන්නා. එතකොට අර භික්ෂුවගේ සිත සංසිඳුණා. ආයෙමත් පැවිද්දේ සිත ඇලී ගියා.

ඒ භික්ෂුවට ඉතා සුන්දර ශ්‍රමණ පිරිකර තිබුණා. දිනක් ඒ භික්ෂුව අර ශ්‍රමණ පිරිකර පිරිසිදු කරද්දී, තමාට පැවිද්දේ අනුසස් පැවසූ යහළු භික්ෂුවත් එතැනට ආවා.

“අනේ පින්වත් ස්වාමීනී…, මං හිතාගෙන හිටියේ සිවුරු හරිද්දී මේ පිරිකර ඔබවහන්සේට දෙන්නයි.”

එතකොට ඒ භික්ෂුව අර පිරිකර දෙස බලා සිටියා. ඔහුගේ සිතට මහා අමුතු හැඟීමක් ඇතිවුණා.

අපරාදේ…. මං මෙයාට උපදෙස් දුන්නේ කිසි තේරුමක් නැතුවයි. සිවුරු හැර ගෙදර ගියා නම්, මේ පිරිකර ටික ඔක්කොම මටනේ…’

මෙසේ සිතූ ඒ භික්ෂුව අමුතුම විදිහට උපදෙස් දෙන්න පටන් ගත්තා.

“නෑ… මං එදා කිව්වේ ඔබ වැටිලා සිටිය තත්වය බලලයි. ඒ වුණාට ගිහි ජීවිතය වුණත් නරක තැනක් නොවෙයි. ඔය අපූරුවට, ලස්සනට ගිහි ජීවිතය ගෙවන අය මොනතරම් ඉන්නවද? අනික, බිරිඳකගෙන් වගේ ආදරයක් පැවිද්දන්ගෙන් ලැබේවිද? දරු සුරතල් බලද්දී කෙනෙකුට හිතේවි ‘මගේ නිවන මගේ පැල්පතයි’ කියලා.”

එතකොට අර භික්ෂුව මේ විදිහට කල්පනා කළා.

‘මොනවද මේ ස්වාමීන් වහන්සේ දොඩවන්නේ…? එදා නම් මට අවංකවම උපදෙස් දුන්නා. අද මේ මට ගිහි ජීවිතයේ අනුසස් කියනවා. පැවිද්දේ නොඇලෙන විදිහට සමනල ලෝකයක් මවලා පෙන්වනවා. ඇයි මට මෙහෙම කියන්නේ? ඇත්තටම විරාගයට ආසා කරන මට මේ සරාගී බස් තෙපලන්නේ මගේ පිරිකර ගැනීමේ ආසාවෙන් විය යුතුමයි. නෑ… නෑ… මං නම් ආයෙමත් ඒ ලාමක සිතුවිලිවල පැටලෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඒකාන්තයෙන්ම මට පිහිට වේවා!’

ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ නොයෙක් අයුරින් ගිහි ජීවිතයේ අනුසස් කියද්දී මේ භික්ෂුව ගිහි ජීවිතයට ඇදිලා යන සිත ඉතාමත් අමාරුවෙන් යළි යළිත් පැවිද්දෙහි පිහිටුවා ගත්තා. යළි යළිත් බුද්ධානුශාසනාව සිහි කළා. නමුත් හුදෙකලාවේ භාවනා කරන්නට පටන් ගත් විට අර භික්ෂුව ගිහි ජීවිතය අරභයා ඉස්මතු කරමින් වර්ණනා කළ නිස්සාර ජීවිතයට කැරකි කැරකී ගියා. හරි පීඩාවක් වින්දා. ධර්මයට සිත නඟා ගන්නට හඬ හඬා වෙහෙස ගත්තා. ධර්මාවබෝධ කිරීමට මහත් වෙහෙසක් ගන්නට සිදුවුණා. අන්තිමේදී උන්වහන්සේ ජයගත්තා. අරහත්වයට පත්වුණා.

ඒ කර්ම විපාකය නිසයි අර භික්ෂූන් වහන්සේට වීරිය නැතුව ගියේ. කොතරම් මහන්සි ගත්තත් වීරිය නගා ගන්න බැරිව ගියා. ධර්ම මාර්ගයට බාධා කළ නිසාවෙන් විසි පස් වසරක් කෙලෙස් වලින් බැට කන්නට ඒ භික්ෂුවට සිදු වුණා. මෙකරුණ අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

යෝ චේ වස්සසතං ජීවේ – කුසීතෝ හීනවීරියෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – විරියමාරභතෝ දළ්හං

සියක් අවුරුදු ගෙවා දැමුව ද – හීන වීරියෙන් හා කුසීතව
පලක් නැහැමයි එය කෙනෙකු හට – එයින් ඇතිවෙන සෙතක් නම් නැත
ගෙවයි නම් ලොව එකම දවසක් – දැඩිව වීරිය නගා ගෙන සිට
උතුම්මයි ඒ ගෙවෙන එදවස – සෙතක් සැලසෙනවා එයින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුන්ට උපදෙස් දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. තමන්ගේ මතිමතාන්තරවලට පොළොඹවා ගැනීම පිණිස සමහර අය අන් අයව ධර්ම මාර්ගයෙන් බැහැර කරවනවා. කාමයට පොළොඹවනවා. භාවනාවෙහි දොස් කියනවා. ධර්මයේ හැසිරීමේ ප්‍රමාද කරවනවා. මාර්ගඵල ගැන කතා කිරීමටත් දොස් කියනවා. ඒ අවවාද පිළිගත් උදවිය ධර්මයේ හැසිරීම අත්හරිනවා නම්, කාමයටම පෙළඹෙනවා නම්, ධර්ම කථාවෙන් බැහැර වෙනවා නම්, මොනතරම් භයානක විදිහට එය තමා පසුපසින් ඒවිද කියා මේ කථාව අනුසාරයෙන් හිතාගන්න පුළුවන්.

ඒ නිසා තමන්ට බැරි යහපත් දෙයක් තව කෙනෙක් කරනවා නම් හොඳම දෙය එය අගය කිරීමයි. එය අගය කරන්නටවත් සිත නැමෙන්නේ නැත්නම් හොඳම දෙය නිශ්ශබ්දව සිටීමයි. එසේ නැති වුණොත් එවැනි දේකට කට දමා අනවශ්‍ය පව් රැස් කරගෙන යන්නට සිදුවුණෝතින් දුක් විඳින්නට සිදුවන්නෙත් තමාටමයි.

සප්පදාස තෙරුන්ගේ මේ කථාවෙන් අපි කාටත් හොඳ පාඩමක් මතු කොට දෙනවා. දන්න අය වගේ උපදෙස් දෙන්න ගියොත් අන්තිමේදී අමාරුවේ වැටෙන්නේ ඒ උපදෙස් දුන් කෙනාමයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 8-13. සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here