7-9. ‍‍ඛදිරවනයේ රේවත තෙරුන්ගේ කථා වස්තුව – Sri News

0
4

“සැබැවින්ම සුන්දරයි රහතුන් වැඩසිටින තැන…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාව හරි ලස්සනයි. සැරියුත් මහරහතන් වහන්සේගේ සහෝදරයෙකුගේ විස්තරයක් තමයි මෙයින් කියවෙන්නේ.

ඔබ දන්නවා සැරියුත් මහරහතන් වහන්සේගේ ගිහි කාලෙ නම උපතිස්ස. නාලන්දාවේ වාසය කරපු ඉතාමත් ධනවත්, වංශවත් බ්‍රාහ්මණ පවුලක්. පවුලෙ වැඩිමලා තමයි උපතිස්ස. ගෞතම බුදු සසුනේ අග්‍රශ්‍රාවක බවට පත් ඒ උපතිස්සයන් ප්‍රසිද්ධ වුණේ සාරිපුත්ත යන නමින්. සාරිපුත්තයන් වහන්සේට චාලා, උපචාලා, සිසූපචාලා කියා සහෝදරියන් තිදෙනෙක් හිටියා. ඒ තිදෙනාම භික්ෂුණී සංඝයා අතර පැවිදි වුණා. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේට චුන්ද, උපසේන, රේවත නමින් සහෝදරයන් තිදෙනෙකුත් සිටියා. එයින් චුන්ද, උපසේන දෙදෙනා භික්ෂු සංඝයා අතර පැවිදි වුණා. රේවත කුමාරයා ඉතිරි වුණා.

එතකොට සැරියුත් තෙරුන් වහන්සේගේ මෑණියන් වන සාරී බ්‍රාහ්මණතුමිය මෙහෙම කල්පනා කළා.

“මගේ ලොකු පුතා උපතිස්සයන් මේ සියලු ධන සම්පත් අත්හැර පැවිදි වුණා නෙව. මගේ දූලා තුන්දෙනත් පැවිදි වුණා. පුතාලා දෙන්නත් පැවිදි වුණා. යන්තම් ඉතිරි වෙලා ඉන්නේ මේ රේවත පුතා විතරයි. ඉතින් එයත් පැවිදි වුණොත් පරම්පරාගතව ලැබුණු මේ සා වස්තු සම්භාරයකට මොකද වෙන්නේ… විනාශ වෙලා යාවි. පරම්පරාවත් අහෝසි වෙලා යාවි. ඉක්මනින්ම මෙයාට කසාදයක් කරල දෙන්නයි තියෙන්නේ.”

ඉතින් සාරි බ්‍රාහ්මණතුමිය තම පුතා වන රේවත කුමාරයාට ගැලපෙන කුමරියක් සොයා දෙන්නට වෙහෙසුණා. නමුත් සසරේ ඇති භයානකකම ගැන සැරියුත් තෙරුන් වහන්සේ රේවත කුමාරයාට කියලයි තිබුණේ. ක්ෂණ සම්පත්තියේ දුර්ලභකමත් කියලයි තිබුණේ. කල්‍යාණමිත්‍ර සම්පත්තියේ දුර්ලභකම ගැනත් කියලයි තිබුණේ. බුදු සසුනක පැවිදි වෙලා නිවන් අවබෝධ කරගැනීමේ දුර්ලභකම ගැනත් කියලයි තිබුණේ. ඒ නිසා රේවත කුමාරයාට විවාහ වෙන්න කිසිම ආශාවක් තිබුනේ නෑ. කුමාරයා සිත සිතා ඉන්නේ පැවිදි වීම ගැනයි. කුමාරයා ස්ථිරවම පැවිදි වෙන බව සාරිපුත්තයන් වහන්සේ දන්නවා. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියලා තිබුණේ,

“මගේ බාල සහෝදරයා රේවත කොයි මොහොතේ හරි මහණ කරන්න කියලා දුවගෙන ඇවිත් කියාවි. එතකොට දෙවරක් හිතන්න එපා. ඉක්මනින්ම පැවිදි කරන්න. අපේ දෙමව්පියන්ට තේරෙන්නෙ නෑ. මං සියලු වගකීම් දරන්නම්.”
සාරී බ්‍රාහ්මණතුමිය මඟුල් කටයුතු සූදානම් කළා. දැන් මඟුල ජයට ගන්නයි සූදානම. දෙපැත්තෙන්ම නෑදෑ මිත්‍රයන් රැස්වුණා. මනමාලිය ලස්සනට අන්දලා තිබුණා. ඇස්වල අඳුන් ගාලා, කොණ්ඩෙ මල් ගහලා, තොල් පාට කරලා, යටි පතුල් පාට කරලා, පාවල මිණිනූපුර බැඳලා, අත්වල වළලු පුරෝලා, දිලිසෙන සාරියක් අන්ඳලා තිබුණා.

රේවත කුමාරයාට රජ කුමාරයෙකුගේ වගේ ලස්සන ඇඳුමක් අන්දලා තිබුණා. රන් නූලෙන් කළ තලප්පාවක් හිසේ බැඳලා තිබුණා. මේ මඟුල් ජෝඩුවට නෑදෑයෝ ආශීර්වාද කළා.

“පුතේ… දුවේ… ඔයාලට පේනවනේ මේ ආච්චියි, සීයයි. ආච්චිට එකසිය දහයයි. සීයට එකසිය විස්සයි. ඔයාලටත් ඔය විදිහට දිගාසිරි ලැබේවා!”

එතකොට ආච්චියි, සීයයි ඉතාම අමාරුවෙන් වෙව්ල වෙව්ල හිටියා. රේවත කුමාරයත් ඒ ආච්චියි, සීයයි දිහා බලාගෙන හිටියා.

“හනේ… හපොයි! දිගාසිරි කියන්නේ මේකටද? කටේ එක දතක් නෑ… කොණ්ඩෙ වේලිච්ච පොල් මුඞ්ඩක් වගේ… අත පය අව්වෙ දාලා වේලුණු උණ බට වගේ. කිඹුල් හමකවත් මෙච්චර රැළි නෑ… ඇඟ පුරා පැල්ලම් හැදිලා… නියපොතු යටට ඇකිලිලා… ඇඟේ නහරවල් මතුවෙලා… ඇස් පෙනීම නෑ. කන් ඇසීම නෑ. වෙව්ල වෙව්ල ඉන්නේ… හයියෝ…! මෙහෙම වෙන්න කියලද සෙත් පතන්නේ….? ආච්චිල, සීයල වෙලා ඉවර වෙන ජීවිතයක්ද මේ සරසල දෙන්න හදන්නේ…?

අපේ සාරිපුත්තයන් වහන්සේ වදාළේ සම්පූර්ණ ඇත්ත. ජරාවෙන් දිරාගෙන යන මේ ජීවිතය තුළ අපි මේ හොයන දේ අරටුව හොයාගෙන කෙසෙල් ගසක පතුරු ගලෝනවා වගේ දෙයක්. මිරිඟුවකට රැවටිලා දුවනවා වගේ දෙයක්. මං මේකෙන් ගැලවෙන්නේ කොහොමද? අනේ… සාරිපුත්තයන් වහන්ස, මට පිහිට වෙන්න…”

රේවත කුමාරයා බර කල්පනාවකට වැටුණා. මෙයින් නිදහස් වෙන්නේ කොහොමද කියලා හිතන්න පටන් ගත්තා. දැන් තියෙන්නේ මඟුල් ජෝඩුව පිටත් වෙන වෙලාවයි. ඒ දෙන්නම අශ්ව කරත්තේ නැගලා දැන් යනවා.
කැලෑබද ප්‍රදේශයක් හම්බ වුණා. පිටිපස්සෙන් සේනාවක් එන මේ මඟුල් පෙරහැරෙන් ගැලවෙන්න විදිහක් ගැන කල්පනා කරපු කුමාරයට හොඳ සිතුවිල්ලක් ආවා.

“අනේ… පොඞ්ඩකට නවත්වන්න…. මට මේ කරත්තෙන් බහින්න ඕන කරනවා… අනේ… මට බඩ රිදෙනවා… වැසිකිළි යන්න ඕන. ඒ නිසා පෙරහැරේ අනිත් පිරිස හිමින් හිමින් යන්න. අපි හිමිහිට එන්නම්.”

අශ්ව කරත්තය නැවැත්තුවා. කුමාරයා බැස්සා. පිරිසට මෙහෙම කිව්වා.

“මං ටික වෙලාවකින් එන්නම්. ඔයාලා කලබල නැතුව ඉන්න.”

කුමාරයා කැලයට ඇතුල් වුණා. මිරිවැඩි සඟල වීසි කළා. තලප්පාව වීසි කළා. කැලේ මැද්දෙන් එක පිම්මට දුවන්න පටන් ගත්තා. එක හුස්මට දුවන්න පටන් ගත්තා. වේගයෙන් දුවන්න පටන් ගත්තා. කුමාරයාගේ වාසනාව. අන්තිමට ගැඹුරු වනාන්තරයකටයි වැටුණේ. මේ වනාන්තරය මැද්දෙන් දුවද්දී එක වරම භික්ෂූන් වහන්සේ නමක් දැකගන්න ලැබුණා. කුමාරයා දුවගෙන ගිහින් ඒ භික්ෂූන් වහන්සේ ළඟ වැඳ වැටුණා.

“අනේ ස්වාමීනි, මාව මහණ කරන්න.”

“හා… හා… ළමයා… කවුද ඔයා…? රාජ කුමාරයෙක්ද? අමාත්‍ය පුත්‍රයෙක්ද? මේ අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසිලා මොකද මේ කලබලෙන්..”

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here