7-6. සාරිපුත්ත තෙරුන්ගේ කථා වස්තුව

0
4


“ඉරිසියාවෙන් චෝදනා කිරීම නරක දෙයක්.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුද්ධ කාලෙ වුණත් මෝඩ අය හරියට හිටියා. මෝඩ උදවිය මහණ වෙලත් හිටියා. පැවිදි වුණු පමණින් මොලේ පෑදෙන්නේ නෑ. නුවණ වැඩෙන්නෙත් නෑ. ගුණවත්කම් වැඩෙන්නෙත් නෑ. ඒ හැම උතුම් ගුණයක්ම දියුණු වෙන්නේ සත්පුරුෂයෙකුගේ සිත තුළ විතරයි. අසත්පුරුෂයන් සිවුරු දරාගත් විට ඔවුන්ගේ සිත ඇදී යන්නේ ලාභ සත්කාරවලට විතරයි. අලාභ අසත්කාරවලදී විෂ ඝෝර සර්පයින් වගේ ඔවුන්ගේ සිත ගැටෙනවා.

ඉන්පස්සේ පළිගන්න අවස්ථාව බලාගෙන ඉන්නවා. අභූත චෝදනා කරනවා. නින්දා අපහාස කරනවා. එකට වාසය කළත් අසත්පුරුෂයෙකුට නම් සත්පුරුෂයාව හඳුනාගන්න බෑ. මෙයත් එවැනි කථාවක්.

එක් කාලයක සැරියුත් මහරහතන් වහන්සේත් ජේතවනාරාමයේ වස් වැසුවා. වස් කාලෙ ඉවර වෙලා චාරිකාවේ වඩින අවස්ථාව ළං වුණා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකාවට සූදානම් වෙන භික්ෂූන් වහන්සේලාගේ නම් කිව්වා. ඒ නම් අතර බොහෝ විට කියවුණේ අනුරුද්ධ, නන්ද, රාහුල ආදී ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලාගේ නම්.

ඔය අතරේ එක්තරා අසත්පුරුෂයෙක් පැවිදි වෙලා හිටියා. ඔහුට සැරියුත් තෙරුන් කෙරෙහි මහා ද්වේෂයක් ඇතිවුණා. ඔහු මෙහෙම සිතන්න පටන් ගත්තා.

“ම්…. එහෙමද? එතකොට අපි ප්‍රසිද්ධ නෑ නේ…. අපේ නම් කියවෙන්නෙ නෑ නේද? තමුන්නාන්සේ ප්‍රසිද්ධ අයගේ නම්ම කියන්නේ ඒ උදවියත් එක්කම චාරිකාවේ වඩින්න හිතන්නේ වැඩිපුර ලාභ ලැබෙයි කියලා හිතලද? ඇයි අපි ආවොත් ලැබෙන එකක් නැද්ද? හොඳයිකො… මමත් ප්‍රසිද්ධ වෙන්න අවස්ථාවක් ගන්නම්…”

දැන් මේ පුද්ගලයා හිතුවේ සැරියුත් මහරහතන් වහන්සේට නින්දා කොට ප්‍රසිද්ධ වෙන්නයි. අවස්ථාව එනකම් ඇඟිලි ගැන ගැන බලා හිටියා. අවස්ථාව පැමිණුනා.

එදා සැරියුත් මහරහතන් වහන්සේ සඟ පිරිස සමඟ චාරිකාවේ වඩින්න පිටත් වෙද්දී අර භික්ෂුව නොදැක්කා වගේ පාර හරහට හිටගෙන හිටියා. සැරියුත් මහරහතන් වහන්සේ අයින් වෙලා වඩිද්දී සිවුරු කොන ඔහුගේ ඇඟේ වැදුණා.සැරියුත් මාහිමියන් වැඩම කොට ටික වෙලාවකින් කෙසෙල් කඳක් වගේ මොහු බිම වැටුණා. කෑ ගහගෙන නැගිට්ටා. බුදුරජාණන් වහන්සේ ළඟට කොන්දට අත තියාගෙන, කොර ගගහ, වැළපෙමින් ගියා.

“හනේ… ස්වාමීනී…. බලන සේක්වා…! නුඹවහන්සේගේ අග්‍රශ්‍රාවක වූ තැනැත්තා මම වෙමි’යි කිය කියා…. මාව පෙරළගෙන, පහර දීලා, මං දිහා නොබලා, අඩු ගණනේ සමාවෙන්න කියලවත් නොකියා… චාරිකාවේ වැඩියේ කවුරු පහදවන්න දෝ…. පවසන්න ස්වාමීනී….. දැන් වත් මේ අග්‍රශ්‍රාවකයාගේ සැබෑ චරිතය හඳුනා ගන්න ස්වාමීනී…. ඉවසනවා කියමින් මා වැනි අහිංසක භික්ෂූන්ට තලා පෙලා කටයුතු කරන අයුරු දැන්වත් දකින්න ස්වාමිනී….. මහා ප්‍රඥාවන්ත යැයි කියමින් මේ කළ මෝඩකම ගැන දැන්වත් තේරුම් ගන්න ස්වාමීනී…..”

බුදුරජාණන් වහන්සේ ඒ අසත්පුරුෂයාට මොකුත් වදාළේ නෑ. මේ අවස්ථාවේ සැරියුත් තෙරුන් ලවා උන්වහන්සේ කවුදැයි සඟපිරිසට පෙන්වා දිය හැකි බව බුදුරජාණන් වහන්සේ වටහා ගත්තා. බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන්ට ආපහු වඩින්න කියලා පණිවිඩයක් යැව්වා.

මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්, ආනන්ද ස්වාමීන් වහන්සේත්, සත්පුරුෂ භික්ෂූන් වහන්සේලාත් සැරියුත් මහරහතන් වහන්සේගේ මිහිරි වචන අසනු කැමැත්තෙන් ඉක්මනින් එතනට වැඩියා. බුදුරජාණන් වහන්සේ මෙසේ විමසුවා.

“පින්වත් සාරිපුත්ත, හැබෑද මේ භික්ෂුව කියන්නේ? ඔබ පහර දුන්නලු. සමාව ගත්තෙ නැහැලු. ආඩම්බරකමෙන් පිටත් වුණාලු. හැබෑට මොකක්ද වුණේ…?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ ආයුෂ්මතුන් වහන්සේට මම කිසිම හිරිහැරයක් කළේ නෑ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම්කිසි කෙනෙක් තමන්ගේ කය පිළිබඳව සතිපට්ඨාන භාවනාවෙන් තොර නම් එබඳු කෙනෙක් අතින් නම් හිරිහැරයක් වෙන්න ඉඩ තියෙනවා.

නමුත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ මහ පොළොවේ පිරිසිදු දේවල් දානවා. අසූචි මළ මුත්‍රාත් දානවා. කෙළත්, සොටුත්, ලේත් දානවා. නමුත් මහ පොළොව ඒ ගැන හිරිකිතයක් ඇති කරගන්නෙ නෑ. විරුද්ධ වෙන්නෙ නෑ. ගැටෙන්නෙ නෑ. අමනාප වෙන්නෙ නෑ. මමත් ස්වාමීනී, මෙත් සිත වඩන්නෙ ඒ විදිහටයි. වෛර සිතක්, තරහ සිතක් නැතුව ප්‍රමාණ කළ නොහැකි තරම්ම පතුරුවන මෙත් සිතක් මට තියෙනවා.

ඒ වගේම ස්වාමීනී, කවුරු හරි කෙනෙකුට සතිපට්ඨාන භාවනාවක් නැත්නම්, එබඳු කෙනෙකුගෙන් තවත් කෙනෙකුට හිරිහැරයක් වෙන්න පුළුවනි.

ස්වාමීනී, ජලයේ හොඳ දේත් සෝදනවා. අසූචිත් සෝදනවා. මළ මුත්‍රාත් සෝදනවා. කෙළත් සෝදනවා. ලේත්, සොටුත් සෝදනවා. නමුත් ජලය තරහ වෙන්නෙ නෑ. හිරිකිතක් ඇති කරගන්නෙ නෑ. කේන්ති ගන්නෙත් නෑ. ශාන්තව ගලා බසිනවා. ස්වාමීනී, මං මෙත් සිත වඩන්නෙත් ඒ විදිහටයි.

ස්වාමීනී, හොඳ දේවලුත් ගින්නට දැමූ විට පිච්චිලා යනවා. අසූචි දැම්මත්, මළ මුත්‍රා දැම්මත්, කෙළ, සොටු, ලේ දැම්මත් ගින්නට පිච්චිලා යනවා. ගින්න ඔහේ ඇවිලෙනවා. ගින්න තරහා වෙන්නෙ නෑ. හිරිකිත වෙන්නෙ නෑ. ඔහේ ඇවිලි ඇවිලි තියෙනවා. මමත් ස්වාමීනී, මෛත්‍රී චිත්තය වඩන්නේ මොනයම්ම හේතුවකටවත් කලබල නොවෙන ගින්නක් වගේ. පමණ කළ නොහැකි මෙත් සිතක් මං වඩනවා.

ඒ වගේම ස්වාමීනී, මේ හමාගෙන යන සුළඟ ඔහේ හමාගෙන යනවා. සුළඟට සුවඳ එක් වුණොත් සුවඳත් එක්ක සුළඟ හමනවා. සුළඟට ගඳක් එක් වුණොත් ගඳත් එක්ක සුළඟ හමනවා. සුවඳ පිසදාගෙන හමන්නේ ලස්සනට පිපී තියෙන මල් රේණු අරගෙන විතරක් නොවෙයි. අහල පහළ ඇති මළ මුත්‍රා, කෙළ, සොටු, ලේ ආදියත් පිසගෙනයි සුළඟ හමන්නේ. සුළඟ ඒ ගැන දුක් වෙන්නෙ නෑ. හිරිකිතයක් ඇති කරගන්නෙත් නෑ. අමනාප වෙන්නෙත් නෑ. ස්වාමීනී, ඔහේ හමාගෙන යන සුළඟක් සේ මං පමණ කළ නොහැකි මෙත් සිත වඩනවා.

ස්වාමීනී, ඒ වගේම රෙදි කැබලි වලින් හොඳ දේවලුත් පිහදනවා. අසූචිත් පිහදනවා. මළ මුත්‍රාත් පිහිදනවා. කෙළ, සොටු, සෙම, ලේ ආදියත් පිහිදනවා. රෙදි කැබැල්ල අමනාප වෙන්නෙ නෑ. තරහ ගන්නෙ නෑ. හිරිකිතයක් ඇති කරගන්නෙත් නෑ. මමත් ස්වාමීනී, රෙදි කැබැල්ලක් වගේ. ඕනම දෙයක් පිහදැම්මට මගේ අමනාපයක් නෑ. මං හැම තිස්සෙම සියලු දෙනා කෙරෙහි මනාප වූ සිතින් වසනවා.

ස්වාමීනී, සැඩොල් කොලුවෙක් හෝ කෙළි පැටික්කියක් හෝ රෙදි කැබැල්ලක් ඇඳගෙන, මල්ලක් අරගෙන පාරට බහින්නෙ ආඩම්බරයකින් නොවෙයි. තේජස් ඇතුව නොවෙයි. හිතට අරගෙන නොවෙයි. මාන්නයකින් නොවෙයි. අහංකාරකමකින් නොවෙයි. අහිංසක නෝන්ජල් බවකිනුයි. මමත් ස්වාමීනී, ඒ වගේ ආඩම්බරකම වීසි කරපු කෙනෙක්. මාන්නය වනසපු කෙනෙක්. අහංකාරකම පාගා දැමූ කෙනෙක්. අහිංසක බවින් මෙත් සිත වඩන කෙනෙක්.
ස්වාමීනී, අං දෙක උදුරපු ගවයෙක් ඉන්නවා. ඌ කොතනක ඇවිද්දත් අනින්න යන්නෙ නෑ. කවුරුවත් ගැහුවත් පාඩුවෙ ඉන්නවා. කිසි කෙනෙකුට වදයක් නෑ. ස්වාමීනී, මං අං ගලවපු ගවයෙක් වගෙයි. ආඩම්බර වෙන්න කියලා කිසිම දෙයක් මට නෑ. මං නිහතමානී සිතින් වාසය කරන්නේ අං ගලෝපු ගවයා කරබාගෙන හන්දි ගානෙ යනවා වගේ.

ස්වාමීනී, ලස්සනට ඉන්න කැමති පිරිමි ළමයෙකුගේ හෝ ගැහැණු ළමයෙකුගේ හෝ කරේ කුණු වෙච්ච සර්ප කුණක් දැම්මොත්, බලු කුණක් දැම්මොත්, ඔහු ඒ ගැන හොඳටම ලැජ්ජා වෙනවා. හිරිකිත වෙනවා. කම්පා වෙනවා. සලිත වෙනවා. එපා වෙනවා. ස්වාමීනී, මටත් මේ ශරීරය පේන්නෙ ඒ විදිහටයි. මේ කුණු ශරීරය ගැන මගේ කිසිම පැහැදීමක් නෑ.

ස්වාමීනී, සිදුරු නවයක් තියෙන අසූචි භාජනයක් තියෙනවා. ඒකෙ අසූචි පුරවලා තියෙන්නේ. හැම තිස්සෙම ඒ සිදුරු නවයෙන් අසූචි ගලනවා. ඒ වගේ ස්වාමීනී, මේ ශරීරයත් මට පෙනෙන්නෙ අසූචි භාජනයක් වගෙයි. සිදුරු නවයකින් ජරාව වැගිරෙන පිළිකුල් දෙයක් හැටියටයි. මෙවැනි පිළිකුල් දෙයක් දරාගෙන මං ආඩම්බර වෙන්නෙ කොහොමද?

ස්වාමීනී, එබඳු වූ මං යම් කෙනෙකුට පහර දී සමාව නොගෙන චාරිකාවේ වඩිනවා කිව්වොත් ඒක හරි පුදුම දෙයක්.”

අර භික්ෂුව හොඳට භය වුණා. හීන් දාඩිය දැම්මා. වෙව්ලන්න පටන් ගත්තා. ඇඟ පණ නැතුව ගියා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා.

“අනේ…. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මට සමාවන සේක්වා! මං කිව්වෙ බොරුවක්. අසත්‍යයක්. අභූතයක්. මට දැන් තේරෙනවා ඒකෙ බරපතලකම. අනේ මං සංවර වෙන්න කැමතියි.”

“පින්වත් සාරිපුත්ත, ඉක්මනට මේ හිස් පුද්ගලයාට සමාව දෙන්න. නැත්නම් මේ හිස් පුද්ගලයාගේ හිස සත් කඩකට පැලී යාවි!”

එතකොට සාරිපුත්තයන් වහන්සේ ඒ භික්ෂුවට සමාව දුන්නා. භික්ෂූන් වහන්සේලා මේ ගැන කතා වුණා.

“ඇවැත්නි, හරි පුදුමයි! සැරියුත් තෙරුන්ගේ සිතේ කිසි කලබලයක් නෑ. ඇහි බැම හැකිළුනේ නෑ. ඇස් ලොකු වුණේ නෑ. රවලා බැලුවේ නෑ. දත් සැපුවේ නෑ. කලබලෙන් අතපය සෙලෙව්වේ නෑ. කඩිමුඩියේ ඇවිද්දේ නෑ. හදවත වේගයෙන් ගැහුණේ නෑ. ගොත ගැහුණේ නෑ. දාඩිය දැම්මේ නෑ. හරි පුදුමයි! කිසිම වෙනසක් නෑ. හැම වෙලාවෙම එක වගේ…. මෙතරම්ම අමු බොරු කියද්දි වෙන කෙනෙක් නම් මොනතරම් වෙනස් වෙනවද?”

මේ ගැන දැනගත් බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ ගුණය අරභයා මේ ගාථාව මිහිරි ස්වරයෙන් වදාළා.

පඨවිසමෝ නෝ විරුජ්ඣති – ඉන්දඛීලූපමෝ තාදි සුබ්බතෝ
රහදෝ’ව අපේතකද්දමෝ – සංසාරා න භවන්ති තාදිනෝ

හොඳ දේ හා නරක දේ ද – පොළොවෙ දමද්දී
කලබලයක් නෑ පොළොවට – කරදර වෙද්දී
නිකෙලෙස් රහතුන්ගේ සිත – පොළොව වගේමයි
පොළොවෙහි ගැඹුරට සාරා – සිට වූ ගල් ටැඹක් ඇද්ද
කොපමණ වේගෙන් හැමුව ද – සුළඟට නැහැ භය වන්නේ
යහපත් පිළිවෙත් ඇති ඒ – රහතුන්ගේ නිකෙලෙස් සිත
අටලෝ දහමට කිසිදා – තැති ගන්නේ නැත්තේම ය
මඩත් සමඟ එකතු නොවුණු – මහා විලක් සේ
කම්පා නොවනා සිත් ඇති – රහතුන් එලෙසේ
ඉපදෙන මැරෙනා සසරින් – එතෙරව ඇත සුව සේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ වදාළේ නිතරම සැරියුත් මහරහතන් වහන්සේවත්, මුගලන් මහරහතන් වහන්සේවත් ඇසුරු කරන්න කියලයි. ‘පින්වත් මහණෙනි, සැරියුත් මුගලන්ව ඇසුරු කරන්න. සැරියුත් මුගලන්ව සේවනය කරන්න. සැරියුත් මුගලන් මහා නුවණැති දෙදෙනෙක්. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට බොහෝ සෙයින් උපකාරී කරනවා. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් දරුවන් වදනා මව් වගෙයි. මොග්ගල්ලානයන් උපන් දරුවන්ට කිරි දෙන කිරි මව් වගෙයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් සඟ පිරිස සෝවාන් ඵලයට පුහුණු කරනවා. මොග්ගල්ලානයන් ඉතිරි මාර්ගඵලවලට උදව් කරනවා.’
එවැනි ගුණයෙන් යුතු සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාවට සම කළ හැකි කෙනෙක් ලොව කොහෙන් සොයන්නද?
වරක් බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය තුළ සිටින මහා සෙන්පතියාණන් සාරිපුත්තයන් බවයි. එනිසා ප්‍රඥාව කැමති කවුරුත් සැරියුත් මහරහතන් වහන්සේගේ ඒ උදාර වූ බබලන ප්‍රඥාවට ගරු කරන්න ඕන.
පාසල් යන දරුවන් වගේම උසස් අධ්‍යාපනය කරන දරුවන්ටත් සැරියුත් මහරහතන් වහන්සේව සිහි කොට වන්දනා කිරීමට ගොඩාක් උපකාරී වේවි. ‘සුපටිපන්නෝ…’ සඟ ගුණ පාඨය සිහි කරලා මේ ගෞතම බුදු සසුනේ ප්‍රඥාවෙන් අග්‍රව වැඩ සිටි සැරියුත් මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා! උන්වහන්සේගේ අනන්ත ප්‍රඥාවේ සත්‍යානුභාවයෙන් මට කිසි කරදරයක් බාධකයක් නැතුව සුවසේ අධ්‍යාපන කටයුතු කරගන්න ලැබේවා! කියා හිතන්න. එය පවා ඔය දරුවන්ට පිහිට පිණිස පවතීවි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 7-6. සාරිපුත්ත තෙරුන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here