7-5. මහා කච්චායන තෙරුන්ගේ කථා වස්තුව

0
4


“රහතුන්ට දෙවියනුත් කැමතියි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙහි සඳහන් වන්නේත් උතුම් රහතන් වහන්සේ නමක් ගැනයි. මුන්වහන්සේගේ නම මහා කච්චායන. ඒ දිනවල මහා කච්චායන රහතන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර පූර්වාරාමයේ. ඔයාලට මතකයි නේද ඒ පූර්වාරාමය ගැන? විශාඛා මහෝපාසිකාව තමයි කාමර දාහකින් යුතු විශාල විහාරයක් හදලා බුදු සසුනට පූජා කළේ.

ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ නිතරම බණ අහන්න වඩිනවා. ඒ කාලයේ බුදුරජාණන් වහන්සේත් වස් වසලා හිටියේ පූර්වාරාමයේමයි. බුදුරජාණන් වහන්සේ වඩින දම්සභා මණ්ඩපයේ මහා කච්චායන මහරහතන් වහන්සේ උදෙසා වෙනම අසුනක් පණවලා තිබුණා. උන්වහන්සේ හැමදාම වෙලාවට බණ අහන්න වඩිනවා.

එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න සක් දෙවිඳු ප්‍රධාන දෙව් පිරිස පූර්වාරාමයට ආවා. බණ අහන්න සූදානම්ව සිටියා. එතකොට හිස්ව තිබුණු මහා කච්චායන තෙරුන්ගේ ආසනය දුටු ශක්‍රයා මෙහෙම හිතුවා.

“අද මොකද මාගේ ආර්යයන් වහන්සේ බැහැ දකින්නට නැත්තේ? දුර බැහැරක වැඩියාවත්ද? අසනීපයෙන්වත්ද? මහාකච්චායනයන් වහන්සේ වැඩසිටින තැන හරිම රමණීයයි. දැනුත් උන්වහන්සේ වඩිනවා නම් කොයිතරම් හොඳද!”

ඉතින් මේ ගැන කිසිවක් නොදත් මහා කච්චායන රහතන් වහන්සේ ඒ මොහොතේම එතනට වැඩියා. ආසනයේ වැඩසිටියා. සක් දෙවිඳුට හරි සතුටුයි. ඔහු හැමෝටම පේන්න අහසේ සිට බිමට වැඩියා. මහා කච්චායන මහරහතුන් වහන්සේට වන්දනා කළා.

“මාගේ පින්වත් ආර්යයන් වහන්සේ දැන් වඩිනවා නම් කොයිතරම් හොඳද කියලා මං හිතුවා විතරයි. එතකොටම වැඩියා නෙව. මට හරිම සතුටුයි” කියලා දිව්‍ය මලින් මහා කච්චායනයන් වහන්සේට පූජා පැවැත්තුවා.

මෙය දුටු ඇතැම් භික්ෂූන් වහන්සේලා අතර අමුතු කථාවක් ඇතිවුණා.

“එහෙමත් දෙයක්ද? එතකොට ශක්‍රයා වුණත් මල් පුදන්නේ එක එක උන්නාන්සේලාගේ මුහුණු බලලද? අපට පුදන්නෙ නැත්තෙ අපි ලස්සන නැති නිසා වෙන්න ඇති…! අනිත් හැමෝටමත් මල් පිදුවානම්නෙ හරි…”

බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. ඒ භික්ෂූන් වහන්සේලාගේ කතා බහට මේ අයුරින් පිළිතුරු දී වදාළා.

“පින්වත් මහණෙනි, එහෙම කියන්න එපා! මාගේ පුත්‍ර වූ මහා කච්චායනයන් සියලු ඉඳුරන් සංසිඳුවාගෙනයි ඉන්නේ…. ලාභ සත්කාර ගැන කිසිම අපේක්ෂාවක් නෑ. සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජවරු දිව්‍යමල් වලින් කොපමණ පූජාවල් පැවැත්තුවත් මාන්නයක් ඇතිවෙන්නෙ නෑ. ආඩම්බරකමක් ඇතිවෙන්නෙ නෑ. අහංකාර වෙන්නෙ නෑ. මාන්නය ප්‍රහාණය කරලයි ඉන්නේ. ඉතා දක්ෂ පුහුණු කරුවෙකු විසින් ඉතාමත් හොඳට දමනය කරපු ආජානීය අශ්වයෙක් වගේ මහා කච්චායනයන් හොඳින්ම දමනය වෙලයි ඉන්නේ.”

ඉන්පසුව බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් මෙම ගාථාව වදාළා.

යස්සින්ද්‍රියානි සමථං ගතානි – අස්සා යථා සාරථිනා සුදන්තා
පහීණමානස්ස අනාසවස්ස – දේවා’පි තස්ස පිහයන්ති තාදිනෝ

යම් කෙනෙකුගේ ඉඳුරන් – සංසිඳී ඇත්නම් සොඳින්
හොඳ පුහුණුකරුවෙකු ගෙන් – පුහුණු වූ හොඳ අශ්වයා ලෙස
සිටී නම් ඔහු සුවසේ – මානයත් නැති වී ගොසින්
දුක කරා යන කෙලෙසුන් – දුරුවෙලා ඇත්නම් සිතින්
ලෝ දහම පෙරලෙන විට – කම්පා නොවන රහතුන්
දෙවියන් හට නම් ඉතින් – මනාපයි ඒ රහතුන්

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් කාලෙ දෙවි කෙනෙක් දකිනවා කියන එක හීනෙකින්වත් කරගන්න බැරි දෙයක්. ඒ නිසාමයි සමහරු කියන්නේ ‘දෙවිවරු නෑ…’ කියලා. නමුත් දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටි යුගයේදී හැමෝටම පෙනෙන්නමයි ඒ දෙවිවරු මිනිස් ලොවට ආවේ. දෙවියන් ආසා කළෙත් ධර්මයේ හැසිරුණු මුනිවරුන්ටයි. ඇතැම් අවස්ථාවල දෙවිවරු රහතන් වහන්සේලා වාසය කරන කුටිවල මිදුල පවා අමදිනවා. මල් සුවඳ පතුරුවාගෙන යනවා. අවට එළිය කරනවා. නුවණැති සත්පුරුෂ කවුරුත් රහතන් වහන්සේලාට කැමතියිනේ…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 7-5. මහා කච්චායන තෙරුන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here