7-3. බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව – Sri News

0
6

“රහතුන් වඩින මග කවුරු නම් දනිත් ද?”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් රහතන් වහන්සේලාගේ අල්පේච්ඡතාවය හරි පුදුමයි. ආහාර වැළඳුවෙ ශරීරය පවත්වාගැනීම පිණිස විතරයි. කිසිවක් කෙරෙහි නොඇලුණු සිත් ඇති ඒ රහතුන්ගේ ස්වභාවය බුදු කෙනෙක් පමණමයි දන්නේ.

ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ වුණේ බෙල්ලට්ඨිසීස මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර. උන්වහන්සේ නිතරම කළේ භාවනා කරපු එකයි. පිණ්ඩපාතය පිණිසවත් කාලය ගත කරන්න උන්වහන්සේට කැමැත්තක් තිබුණේ නෑ. දවසක් උන්වහන්සේ මෙහෙම කල්පනා කළා.

‘මං හැමදාම පිණ්ඩපාතෙ වඩිනවා. රස දෙයක් ලැබුණත්, නීරස දෙයක් ලැබුණත්, හපලා ගිල්ලට පස්සේ වෙනසක් නෑ. තෙත දෙයක් ලැබුණත්, වේලිච්ච දෙයක් ලැබුණත් වැළඳුවාට පස්සේ ඇඟට ටිකක් පණ එනවා නම්, මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දානෙ පොඞ්ඩක් වෙනුවෙන් හැමදාම පිඬු සිඟා වඩින එකේ තේරුමක් නෑ.’

මෙහෙම හිතපු බෙල්ලට්ඨිසීස මහරහතන් වහන්සේ එක දවසක් වේලාසනින් පිඬු සිඟා වැඩියා. දානෙ ලැබුණා. රුක් සෙවණකට ගිය උන්වහන්සේ ඒ දානෙ වැළඳුවා. ආයෙමත් පිණ්ඩපාතෙ වැඩියා. බත් ටිකක් හම්බවුණා. එය රැගෙන කුටියට වැඩියා. ඒ බත් ටික අව්වෙ දාලා වේලුවා. හොඳට වේලුණාට පස්සේ ආයෙමත් පාත්තරට දාලා වහල තිබ්බා. පසුවදා පිඬු සිඟා වැඩියෙ නෑ. ඒ වේලිච්ච බත් ටිකට වතුර පොඞ්ඩක් ඉහලා වැළඳුවා. උන්වහන්සේට කාලය ගොඩක් ඉතුරු වුණා.

ටික දවසක් උන්වහන්සේ මේ සිරිත කරගෙන ගියා. සමහර දිනවලදී උන්වහන්සේ දවස් දෙක තුනේ පිඬු සිඟා වඩින්නේ නෑ. භික්ෂූන් වහන්සේලා අතර කසු කුසුවක් ගියා.

“හරි වැඩක් නෙව… අපට නම් දවස ගානෙ බඩගින්න ඇතිවෙනවා. අපගේ බෙල්ලට්ඨිසීස තෙරුන් පෙරේදා පිණ්ඩපාතෙ වැඩියා අපිත් එක්ක. ඊයෙ වැඩියෙත් නෑ. අද වැඩියෙත් නෑ. කොහොමද හප්පේ…. ඇඟට පණ නැතුව මේ මහණදම් පුරන්නේ….”

ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා සොයලා බලද්දී කුටිය තුළ බත් වේලාගෙන වළඳනවා දැක්කා. භික්ෂූන් වහන්සේලා මේ ගැන කතා බස් වුණා.

“අපේ බෙල්ලට්ඨිසීස තෙරුන් මේ කරන වැඬේ හරි නෑ… උන්වහන්සේ කිසි දේකට නොඇලෙන බව ඇත්ත. වේලුණු බත රස නැති බවත් ඇත්ත. නමුත් ඔය පුරුද්ද හැමෝටම ගියොත් බත් වේලගෙන ගෝනිවල දමා ගනීවි! මුට්ටිවල පුරවා ගනීවි! දන්නෙම නැතුව කෑම බීම ගබඩා හැදේවි! ධර්මය නොවැඩුණු කෙනෙකුගේ හිතේ කෙලෙස් වැඩෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.”

ඒ භික්ෂූන් වහන්සේලා මේ ගැන බුදුරජාණන් වහන්සේට සැළ කළා.

“පින්වත් මහණෙනි, ඒක ඇත්ත. නිවන් අරමුණු කොට චතුරාර්ය සත්‍යාවබෝධයම අරමුණු කොට පැවිදි වූ කුලපුත්‍රයන් රැස් කරගෙන වළඳන්න හොඳ නෑ. එතකොට නවක භික්ෂූන් ඒ පුරුද්දට ඉක්මනින් හසුවේවි. සැදැහැවතුන් කළකිරේවි. ධර්මයට නොපහන් අය ඇද කුද හොයන්න පටන් ගනීවි. එනිසා වළඳන දේවල්

රැස් කරගෙන නොවැළඳිය යුතුයි” කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයක් පණවා වදාළා.

ඒ ශික්ෂා පදය පැණෙව්වේ බෙල්ලට්ඨිසීස රහතන් වහන්සේට බව සමහරු දන්නෙ නෑ. ධර්මය නොදත් භික්ෂූන් හිතුවේ උන්වහන්සේ කෙලෙස් සහිත කෙනෙක් කියලා. ඒ හේතුවෙන් උන්වහන්සේ ළඟට ගිහින් අනවශ්‍ය වචන කියලා පව් රැස්කරගන්න ඉඩ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕන වුණා උන්වහන්සේ කවුද කියලා අනිත් අයට කියා දෙන්න.

“පින්වත් මහණෙනි, බෙල්ලට්ඨිසීස ඔය ආහාර
රැස් කරගෙන වැළඳුවේ ගිජුකමකට නොවෙයි. විවේකය ගන්නයි. නමුත් ඒ කරපු ක්‍රමය වැරදියි. බෙල්ලට්ඨිසීසගේ අල්පේච්ඡ ගුණය දිනපතා පිඬුසිඟා වැළඳුවා කියලා නැතිවෙන්නෙ නෑ. අනික බෙල්ලට්ඨිසීසගේ ජීවිතය ආකාසයේ පියාඹා ගිය කුරුල්ලෙකුගේ ගමන වගෙයි. කුරුල්ලන්ගේ පියාපත් සටහන් අහසේ නෑ නේද?”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here