6-6. ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා වස්තුව

0
6


“රහතුන්ගේ ගුණ අසිරිමත් !”

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින් කරන්න ගිහින් පොඞ්ඩක් වැරදුණත්, ඒ වැරදිච්ච දේ වුණත් පස්සෙන් එනවා. එනිසා පිනක් කරද්දි අවබෝධයෙන් කිරීමමයි උතුම් වන්නේ. සමහර උදවිය අරපිරිමැස්මට ගිහින් පින පටලවා ගන්නවා. නමුත් කරන පින බලවත් වුණොත් පිනෙන් ලැබෙන දේ ලැබෙනවා. මේ කථාවත් හරි ලස්සනයි.

ඉතාමත් ඈත අතීතයේ ඵුස්ස නමින් බුදුරජාණන් වහන්සේ නමක් වැඩහිටියා. එක රජකෙනෙක් උන්වහන්සේට රාජ උද්‍යානය පූජා කළා. ඒ උද්‍යානයේ එක්තරා කොවුලෙක් වාසය කළා. කොහොම නමුත් මේ කුරුල්ලාගේ සිත බුදුරජුන් කෙරෙහි පැහැදුණා. ඔබ දන්නවා සමහර කුරුල්ලන්ට මිනිස්සුන්ගේ භාෂාව පවා තේරෙනවා. ඒ වගේ ඒ කුරුල්ලා බුදුරජුන් කෙරෙහි පැහැදුණා. මොහු රාජ උයනේ මී අඹ ගසේ ඇති ඉදුණු මී අඹ ගෙඩි තුඩින් කඩාගෙන විත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අතාරිනවා. ඒ බුදුරජුන්ට වැළඳීම පිණිසයි. බුදුරජාණන් වහන්සේත් අර කුරුල්ලාගේ සිත බලා මී අඹ වළඳනවා. ඒ පින්කම හේතුවෙන් මොහුට උපනූපන් භවයේදී මිහිරි ස්වරයක් ලැබුණා.

කලක් ගත වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මොහු ප්‍රධාන බාසුන්නැහේ කෙනෙක් වෙලා හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතු තැන්පත් කොට ස්ථූපයක් කිරීමේදී මිනිසුන්ට අතිවිශාල ස්ථූපයක් කරන්න වුවමනා වුණා. ඔහු මිනිස්සුන්ට මෙහෙම කිව්වා,

“ඔහේලා නඩත්තු කරන්න පුළුවන් විදිහේ ස්ථූපයක් කරන්න. විශාලෙට හදාගත්තා වගේ නෙවෙයි, නඩත්තු කරගන්න බැරි වුණොත් හරි නෑනේ….” කියලා මෙයාට ඕන විදිහට ඒ ස්ථූපය මිටි කළා.

මිනිස්සුත් මෙයාට ඇහුම්කම් දුන්නා. දැන් බලන්න. බැලූ බැල්මට පෙනෙන්නේ මෙයා අමුතු අරපිරිමැස්මක් කළා වගේ. නමුත් බුදු කෙනෙකුගේ ධාතු තැන්පත් කරන ඒ ස්ථූපය සුවිසල් ලෙස කරන්න ආසාවෙන් හිටපු පිරිසකගේ හිත වෙනස් කළා. කුඩාවට ස්ථූපය හැදුවා. මේ නිසා උපනුපන් ආත්මවල මිටි සිරුරක් තියෙන කෙනෙක් වුණා. නමුත් මොහු මහා පින්වත් කෙනෙක්.

අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ සැවැත් නුවර මහා ධනවත් කුලයක උපන්නා. මොහුගෙ නම භද්දිය. මිටි සිරුරක් ඇති නිසා ලකුණ්ටක භද්දිය නමින් ප්‍රකට වුණා. සද්ධර්ම ශ්‍රවණය නිසා ලද පැහැදීම හේතුවෙන් මොහු බුදු සසුනෙහි පැවිදි වුණා. මිහිරි හඬින් ධර්ම දේශනා කරද්දී සියලු දෙනා වසඟ වෙනවා. ඇතැම් අවස්ථාවලදී සමහර භික්ෂූන්ට මේ ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේව හඳුනාගන්න බැරිව යනවා. ඒ භික්ෂූන් මේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් කණෙන් අල්ලා සොළවනවා. නාසයත් අල්ලා සොළවනවා.

“හා….. පොඩිනම. ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද?” කියලා අහනවා.

එතකොට ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ අහිංසක විදිහට හිනා වෙනවා. භික්ෂූන් වහන්සේලා ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේට කේන්ති යන්නෙ නෑ කියලා හරියට ප්‍රශංසා කරනවා.

දවසක් බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා, “පින්වත් මහණෙනි, ලකුණ්ටක භද්දිය සමඟ විහිළු කරන්න යන්න එපා! ඔය පුංචියට හිටියට සම නොවදින සමාපත්තියක් නෑ. දියුණු නොකළ ධ්‍යානයක් නෑ. ඇති කර නොගත්තු ඤාණයක් නෑ. අංග සම්පූර්ණ මුනිවරයෙක්.”

එදා තමයි භික්ෂූන් වහන්සේලා දැනගත්තේ මේ පාඩුවේ ඉන්න කුඩා භික්ෂුව කොයි තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියලා. ඉතින් ඒ ලකුණ්ටක භද්දිය රහතන් වහන්සේ අරභයායි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළේ.

සේලෝ යථා ඒකඝනෝ – වාතේන න සමීරති
ඒවං නින්දාපසංසාසු – න සමිඤ්ජන්ති පණ්ඩිතා

සුළං කොපමණ සැරෙන් හැමුවත් – සැලෙන්නේ නැති ගල් කුලක් සේ
රිදුම් දෙන නින්දා ප්‍රශංසා – හමද්දී නැණවත්හු නොසැලෙති

පින්වතුනේ, පින්වත් දරුවනේ, රහතන් වහන්සේ කියන්නේ හරි පුදුම කෙනෙක්. රහතන් වහන්සේගේ මානසික ස්වභාවය ලෝකයේ කිසි කෙනෙකුට මනින්න බැහැ. රහතන් වහන්සේගේ ජීවන රටාව හඳුනාගත හැක්කේ බුදු කෙනෙකුට පමණයි.

ලෝකයේ ස්වාභාවික රටාවක් තියෙනවා. ඒ තමයි හැම දෙයක්ම කලින් කලට වෙනස් වීම. කලකට ලාභ ලැබෙනවා. කලකට පාඩු විඳින්න සිද්ධ වෙනවා. තවත් කලෙක සැප ලැබෙනවා. බලාපොරොත්තු නොවුණු වෙලාවන් හිදී දුක් ලැබෙනවා. කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ඉතා නිර්දෝෂීව සිටිද්දීත් නින්දා අපහාස ලැබෙනවා. අපකීර්ති පැතිරෙනවා. මේවාට තමයි ලෝක ස්වභාවය කියන්නේ. මේ ලෝක ස්වභාවය ඉදිරියේ රහත් නොවන සියලු දෙනාම සැලෙනවා. නමුත් රහතන් වහන්සේ සැලෙන්නේ නෑ. ලෝකයෙන් එතෙර වෙලයි ඉන්නේ. කිසිවකට නොඇලිලයි ඉන්නේ.

මේ ගෞතම බුද්ධ ශාසනයේ තමයි රහතන් වහන්සේලා පහළ වුණේ. ඒ රහතුන් ගැන අපේ සිත පහදවා ගැනීම කළ යුතුමයි. රහතුන් සකල ලෝකයෙන්ම පූජාවට පාත්‍ර වෙනවා. ඒ නිසා ඒ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 6-6. ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here