6-5. පණ්ඩිත සාමණේරයන්ගේ කථා වස්තුව

0
7


“පින්වතාටමයි හැම වාසනාවක්ම උදාවෙන්නේ…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවෙත් සඳහන් වෙන්නේ පිනක ඇති අසිරිය ගැනමයි. මේවා කියවන්න කියවන්න නුවණැති කෙනාට පින් කරන්න ආසා හිතෙනවා. ඒ වගේම අවබෝධයෙන්ම පින් කරන්නත් අවස්ථාව ලැබෙනවා. පින් කළ යුත්තේ ඒ ඒ පිනට ලැබෙන විපාක ගැන අවබෝධයෙන් යුක්තවයි. එතකොට තමයි ඒ පින නියම විදිහට සකස් වෙන්නේ.

ඉතින් ඈත අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය තිබුණා. උන්වහන්සේගේ ධර්මය ඇසූ බොහෝ අය අවබෝධයෙන්ම පින් කරන්න පුරුදු වුණා. පින්වල ඇති වෙනස්කම් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීම නිසා තමයි කෙනෙකුට නියම විදිහට පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා.

සමහරු මෙහෙම හිතනවා, ‘අපි දන් දෙන්නේ අපේ දෙයක් නෙව. ඉතින් ඒකට අනුන්ව පටලවා ගන්නේ මොකටද?’ කියලා. ඒ තැනැත්තා තමන්ගේ දේ දන් දෙනවා. හැබැයි අනුන්ව දානයෙහි සමාදන් කරවන්නේ නෑ. ඔහු උපනූපන් තැන භෝග සම්පත් ලැබෙනවා. හැබැයි පිරිවර සම්පත් නෑ.

තවත් උදවිය ඉන්නවා. තමන් දන් දෙන්නෙ නෑ. අනුන්ව දන් දෙන්න පොළොඹවනවා. දානයෙහි අනුසස් කියනවා. එයටත් සහභාගී වෙනවා. තමන් වියදම් කරන්නේ නෑ. ඒ තැනැත්තා උපනුපන් තැන්වල පිරිවර සම්පත් ලබනවා. භෝග සම්පත් ලබන්නේ නෑ.

තවත් උදවිය ඉන්නවා. ඔවුන් දෙන්නෙත් නෑ. අනුන්ට දෙන්න දෙන්නෙත් නෑ. එය වළක්වනවා. උපනුපන් තැන්වල තමුන්ට කිසිවක් ඇත්තෙත් නෑ. පිරිවරත් නෑ. හූල්ල හූල්ල ඉන්නවා.

හැබැයි නුවණ තියෙන අය තමනුත් දන් දෙනවා. අනුන්වත් දන් දීමට යොදවනවා. අගය කරනවා. ප්‍රශංසා කරනවා. ඔහු උපනුපන් තැන භෝග සම්පත් ලබනවා. පිරිවර සම්පතුත් ලබනවා.

ඔය විදිහට බණ අහන්න ලැබුණු එක නුවණැති තරුණයෙක් මෙහෙම හිතුවා.

‘හරි! මමත් පින් කරන්න ඕන නුවණැත්තෙක් විදිහටයි. පිරිස පිරිවරාගෙන මගේ දෙයත් වියදම් කරලා පින් කරන්න ඕන.’

ඉතින් මේ තරුණයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ගොස් බුදුන් ප්‍රමුඛ විසිදහසක් භික්ෂූන්ට හෙට දවසේ දානය පිණිස ආරාධනා කළා. ඊට පස්සේ ගමට ගියා. එක එක්කෙනාට දානය පිණිස භික්ෂූන් වෙන් කළා. ඒ පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් භාර ගත්තා.

“අපි දහනමකට දෙන්නම්… අපි විසි නමකට දෙන්නම්… අපි සිය නමකට දෙන්නම්… අපි පන්සිය නමකට දෙන්නම්….” කියලා බොහෝ දෙනෙක් භාර ගත්තා.

ඉතින් ඔය නගරයේ ඉතාමත්ම දිළිඳු, අන්ත දුගී පුරුෂයෙක් හිටියා. මේ තරුණයා ඔහු ළඟටත් ගියා.

“මාමේ… ඔයා දුප්පත් බව හැබෑව. ගොඩාක්ම දුප්පත් බව හැබෑව. නමුත් ඔයාටත් පින් කරගන්න අවස්ථාවක් තියෙනවා. හෙට සියලු නගරවාසීන් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් පූජා කරනවා. ඔයත් මොනවා හරි පූජා කරගන්න. භික්ෂූන් වහන්සේලා කී නමකට දන් දෙන්න ඔයා කැමතිද?”

“අනේ, පින්වත් ආර්ය පුත්‍රයන් වහන්ස, මට භික්ෂූන් කොහෙන් ලබන්නද? මට හෙට කැඳ උගුරක් බොන්නවත් හාල් මිටක් නෑ…. කුලියකට වැඩක් පලක් කරගෙන යැපෙන මට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.”

“අනේ… දුගී තැනැත්ත, මේ නගරයේ සැප සේ වසන කොයිතරම් සෙනඟක් ඉන්නවාද? ඔබට කුලී වැඩක් කරලත් බඩ පිරෙන්න කෑමක් නොලැබෙන්නේ සසරේ නොදීපු නිසා නේද? ඒක තේරෙන්නෙ නැද්ද?”

“අනේ… පින්වත් ආර්ය පුත්‍රයන් වහන්ස, ඒක මං දන්නවා…”

“එහෙම නම් දුගී තැනැත්ත, අතට ආපු පින අත්හරින්නේ කවුද? කුලී වැඩක් කරන්න ඇඟේ පතේ හයිය තියෙනවා නෙව. ඒ නිසා අද කොහොම හරි කුලී වැඩක් කරන්න. කීයක් හරි හොයාගන්න. ශක්ති පමණින් දානයක් දෙන්න. මෙවැනි අවස්ථාවක් ආයෙ ලැබෙයිදැයි කවුද දන්නේ…”

අර දුගී පුද්ගලයා කල්පනා කළා.

“ඒකත් ඇත්ත තමයි. මේ වෙලාවේ පිනක් කරගන්න බැරිවුණොත් ආයෙ නම් මට කවදා නම් මෙවැනි අවස්ථාවක් ලැබෙයිද දන්නෙ නෑ…. එහෙම නම් පින්වත් ආර්ය පුත්‍රයන් වහන්ස, මට එක නමක් දෙන්න. මං කොහොම හරි දානෙ ටිකක් පූජා කරගන්නම්.”

ඉතින් අර දුගී පුද්ගලයා ගෙදර ගිහින් බිරිඳට කිව්වා,

“සොඳුරිය, හෙට නගරවාසීන් සියලු දෙනාම මහා සංඝගත දක්ෂිණාවක් දෙනවා. මාත් ඒකෙ කොටස්කාරයෙක් වුණා. එක නමක් මට දීපන් කියලා මං ඉල්ල ගත්තා.”

“අනේ කොච්චර දෙයක්ද? අපි කොහොම හරි මහන්සි වෙලා එක ස්වාමීන් වහන්සේ නමකට හරි දානෙ ටිකක් පූජා කරගනිමු. මමත් ඉක්මනින් කුලී වැඩක් කරන්නම්” කියලා දෙන්නම කුලී වැඩක් හොයාගෙන පිටත් වුණා.

සිටුවරයෙක් මේ දෙදෙනාව දැක්කා. අඬගැහුවා. අර දිළින්දාට මෙහෙම කිව්වා.

“මට නුඹගෙන් උදව් අවශ්‍යයි. මං පඩියක් ගෙවන්නම්. හෙට භික්ෂූන් තුන්සිය නමකට මං දානෙ පූජා කරනවා. දානෙට දර පලන්න පුළුවන්ද?”

මේ පුද්ගලයා බොහොම සතුටු වුණා. මහන්සි නොබලා දහඩිය වගුරවමින් වේගයෙන් දර පලනවා. සිටුතුමා බලන් හිටියා.

“අද මොකද නුඹ මහා වීරියක් අරගෙන… කඩිමුඩියේ දර පලන්නේ? කිසි මහන්සියක් නෑ… කතා බහක් නෑ…. බුලත් හප ගැහිල්ලක් නෑ… වතුර බීමක් නෑ…. මොකද මේ නුඹ…?”

“අනේ ස්වාමීනී…, අපටත් හරි වාසනාවක් පෑදුණානේ… අපේ ගෙදරටත් හෙට එක නමක් දානෙට වඩිනවා.”

සිටු බිරිඳ අර දිළිඳු තැතැත්තිය කැඳවා ගත්තා. වී කොටන්න භාර දුන්නා. ඇයට හරිම සතුටුයි. ඇය වී කොටන්නෙ නට නටා වගෙයි. ප්‍රීතියෙන් උද්දාම වෙලා.

“අද නුඹ අමුතු වෙලා… අමුතු ප්‍රීතියක්… තනියම හිනා වෙනවා…. වෙහෙසක් නෑ… මොකද ඔය…?”

“අනේ… උත්තමාවිය, අපටත් හරි ලාභයක් ලැබුණා නෙව. හෙට අපේ ගෙදරට සංඝරත්නයෙන් එක නමක් වඩිනවා….”

ඉතින් මේ දෙදෙනාට කුලිය වශයෙන් සහල් නැලි හතළිහ ගානෙ ලැබුණා. අර දිළින්දා බිරිඳට මෙහෙම කිව්වා.

“මට ලැබිච්ච හාල් වලින් දානෙ හදමු. ඔයාට ලැබිච්ච හාල් වලින් අපි ගිතෙල්, මී පැණි ආදිය ගමු.”

දැන් මේ උදවිය හරි සතුටෙන් දානය පිළියෙල කරමින් හිටියා. බිරිඳ මෙහෙම කිව්වා.

“ඔයා ගිහින් අපිට කොළ ටිකක් කඩාගෙන එන්න. කොළ මැල්ලුමක් හදාගමු අපි දෙන්නට.”

ඉතින් ඔහු සින්දු කිය කියා කොළ කඩන්න ගඟ අයිනට ගියා. මාළු අල්ලන කෙනෙකුට මොහුගේ ගායනය ඇහුණා.

“හා…! දුගියා… මොකද ඔය…? ගී ගයමින් කොළ කඩන්නේ…? මොකවත් විශේෂයක් වුණාද?”

“අනේ යහළුවේ…. නැති බැරි වුණා කියලා අපිත් අවාසනාවන්ත නෑ. අපේ ගෙදරටත් එක භික්ෂූන් වහන්සේ නමක් වඩිනවා. මටත් මාළු ටිකක් ඕන.”

එදා ඒ මාළු අල්ලන මිනිසාගේ මාළු ඉක්මනින් ඉවර වුණා. ඔහු මෙහෙම කිව්වා.

“මං අපේ ගෙදර කෑමට ගන්න රෝහිත කියන මාළු හතර දෙනෙක් වැලිගොඬේ වැළලුවා. දැන් ඔහේත් එක භික්ෂුවකට දානෙ පූජා කරනවා නෙව. මේ මාළු ටික අරගෙන යන්න” කියලා ඔහුට ඒ රෝහිත නම් මාළු දානය පිණිස දුන්නා.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ අසරණ දුගී තැනැත්තා දානයක් සඳහා වෙහෙසෙන අයුරු දැක්කා. දැක ඒ දුගියාගේ නිවසට වඩින්න අධිෂ්ඨාන කරගත්තා. මෙය දුටු සක් දෙවිඳුත් ඒ නිවසට සාමාන්‍ය මිනිසෙකුගේ වේශයෙන් පිටත් වුණා.

“යාළුවේ… මමත් මොනවා හරි කරලා දෙන්නද?” කියලා ඇහුවා. දැන් ඔහුත් දානයට හවුල් වුණා.

දැන් දානය සූදානම් වෙනවා. අර දුගියා තමන්ට භික්ෂූන් වහන්සේව පැවරූ තරුණයා හොයාගෙන ගියා.

“පින්වත, අනේ මට දෙනවා කියපු ස්වාමීන් වහන්සේව දෙන්න. මං දානය පිළියෙල කරලයි තියෙන්නේ.”

“අයියෝ! ඔබටත් එක නමක් දෙන්න මං පොරොන්දු වුණා තමයි. නමුත් මට අමතක වුණා නෙව. ස්වාමීන් වහන්සේලා ඒ ඒ තැන්වලට වැඩලා ඉවරයි.”

අර මහා දුගියා වැළපෙන්න පටන් ගත්තා.

“අනේ… ස්වාමීනී, ඇයි මට මෙහෙම කළේ. මාව විනාශ කරන්න එපා! මං බිරිඳත් එක්ක දවස පුරා කුලී වැඩ කරලා වෙහෙස මහන්සි වෙලයි දන් පැන් හැදුවේ… අනේ… මට එහෙම කරන්න එපා! මට කොහොම හරි එක නමක් දෙන්න.”

ඒ වෙලාවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වැඩියා. රාජරාජ මහාඅමාත්‍යවරු බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගන්න බලාගෙන හිටියා. තමන්ට භික්ෂුවක් නැති ශෝකයෙන් හඬමින් අර දුගියා ගන්ධ කුටිය දෙසට පියවර මැන්නා. රාජරාජ අමාත්‍යවරු දුගියාව බැහැර කළා.

“යනවා යන්න… ඔහේ මොකද මෙතන කරන්නේ..?”

“අනේ මං ආවෙ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නයි” කියලා අර දුගියා ඈත තියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩලා අර දුගියාගේ අත මත පාත්‍රය තබා වදාළා. රාජරාජ අමාත්‍යවරු එකිනෙකාගේ මූණ බලාගත්තා. ශාස්තෘන් වහන්සේ දුන්න පාත්‍රය වෙන කෙනෙකුට ගන්න කිසිසේත්ම පුළුවන්කමක් නෑ. රාජරාජ අමාත්‍යවරු අර දුගියා පිරිවරා ගත්තා.

“හා…. පින්වත් යහළුව, ඔහේව දැක්ක කල්… මං මේ කියන්නේ ඔහේට ඉල්ලන ගාණක් දෙන්නම්… ඔය පාත්‍රය අපේ අතට දෙනවද?”

“නෑ… නෑ… නෑ… මට ධනය ඕන නෑ…. අද මං ශාස්තෘන් වහන්සේට දන් පිළිගන්වනවා….”

ඊට පස්සේ රාජරාජ අමාත්‍යවරු රහසේ කතා වුණා.

“මේ හිඟන්නට පිස්සුද? තමන්ට වත් කන්න නැතුව මොනවද දෙන්න තියෙන්නේ? නිකං කැඳ පොඞ්ඩක් දේවි… අපි පිටිපස්සෙන් යමු… දානෙ අඩුපාඩු කියලා අපේ නිවසට වඩම්මා ගනිමු.”

ඒ පිරිසත් පස්සෙන් ගියා. අර දිළින්දාගේ ගෙට පිවිසෙන්න අමාරුයි. උළුවස්ස ගොඩක් මිටියි. නැවිලයි යන්න තියෙන්නේ. අර මහා දුගියා දුවගෙන ගිහින් ගේ ඇතුළේ ඉඳලා වන්දනා කරමින් කෑ ගැහුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වඩින සේක්වා!” කියලා.

හරි පුදුමයි! බුදුරජාණන් වහන්සේ නොනැමීම ඉතාමත් පහසුවෙන් ඒ නිවසට ඇතුළු වුණා. පණවන ලද ආසනයේ වැඩසිටියා. රජවරු පිටිපස්සෙන් ගෙට රිංගුවා. රහසේ දුගියාට බනින්න ගත්තා.

“ඒයි! දැනගනින්…. නුඹට පුළුවන් දේ කරපන්…! මෙච්චර කියද්දිත් ශාස්තෘන්වහන්සේගේ පාත්තරය අපට දුන්නෙ නෑ… හරි! අපි බලාගන්නම්! ශාස්තෘන් වහන්සේට සළකන හැටි බලමුකෝ…”

ඒ දුගියා දන් බඳුන්වල වසුන් හැර දානය බෙදද්දී එහි මිහිරි සුගන්ධය සකළ නගරය පුරා පැතිර ගියා. රජවරු ඇස් ලොකු කරගෙන වෑංජන දිහා බලාගෙන හිටියා.

“අනේ ස්වාමීනී… හරි පුදුමයි නෙව. මෙතෙක් කාලෙකට මෙවැනි සුවඳක් හමන දානයක් ගැන අපි නම් දන්නෙ නෑ…. අපිට සතුටුයි. අපි හිටියොත් මෙතන මෙයාට හරියට දානෙ දීගන්න බැරිවෙයි. අපි යන්නම් ස්වාමීනී” කියලා වන්දනා කොට පිටත් වුණා.

ශාස්තෘන් වහන්සේ දන් වැළඳුවා. සාමාන්‍ය මිනිසෙකුගේ වේශයෙන් සිටි සක් දෙවිඳු අර දුගියාගේ අතට පාත්‍රය දුන්නා. ඔහු ශාස්තෘන් වහන්සේ පිටුපසින් යන්න පිටත් වුණා. ඒ මොහොතේ සක් දෙවිඳු අර දුගියාගේ පැල්පත ඉදිරියේ හිටගෙන අහස දිහා බැලුවා. එකෙණෙහිම අහසින් මැණික් වරුසා හතක් වැස්සා. ඒ පැල්පතේ තියෙන සියලු බඳුන් පිරී ගියා.

අර දුගියා ශාස්තෘන් වහන්සේ සමඟ වෙහෙරට ගොස් පාත්‍රය පිළිගන්වා ආපසු පැමිණියා. ගෙදර පිරිස හරි සතුටින් ඉන්නවා.

“පියාණෙනි, ගේ පුරාම මුතු මැණික් පිරිලා…”

ඉතින් ඔහු කෙලින්ම රජතුමා ළඟට ගියා.

“දේවයන් වහන්ස, මගේ නිවසේ මුතු මැණික් පිරිලා තියෙනවා. ඒවා ගනු මැනැව.”

රජතුමා මෙහෙම කිව්වා,

“බුදුරජුන් උදෙසා දෙන දානය ඒකාන්තයෙන්ම ආශ්චර්යයි.”

රජතුමා කරත්ත දාහක් පිටත් කළා. ඒවා පුරවාගෙන ඇවිත් රාජ මිදුලෙහි ගොඩගැහුවා. එවැනි ධනයක් ඒ රාජධානියේ කාටවත් නෑ. රජතුමා රාජකීය උත්සවයක් කරලා ඔහු සිටුවරයෙක් බවට පත් කළා.

ඒ සිටුතුමා බුදුන් ප්‍රමුඛ සංඝයාට මහා දන් දීලා මරණින් මතු දෙව්ලොව උපන්නා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලන්න පින්වල මහිමය. පින විසින් පුද්ගලයාට සැපය ලබාදෙන්නේ හිතා ගන්න බැරි විදිහටයි. ඔහු ඒ කාශ්‍යප බුද්ධ කාලයේ සිට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වා දුගතියක ඉපදුණේ නෑ. දිව්‍ය සම්පත් අනුභව කළා.

ගෞතම බුදුරජුන්ගේ කාලයේදී සැවැත් නුවර සැරියුත් තෙරුන් වහන්සේට උපස්ථාන කරන සිටු කුලයක පිළිසිඳගත්තා. එතකොට ඒ සිටුදියණියට මෙවැනි දොළ දුකක් හටගත්තා.

“අනේ මට හරි ආසාවක් තියෙනවා…. ධර්ම සේනාධිපතින් වහන්සේ ප්‍රධාන පන්සියයක් භික්ෂු සංඝයාට රෝහිත කියන මාළුන්ගෙන් වෑංජනය හදලා, දන් දීලා, කසාවතක් පොරාවාගෙන, ආසන කෙළවරේ වාඩිවෙලා සංඝයාට බෙදලා ඉතුරු වුණු දානෙ පොඞ්ඩක් වළඳන්න ඕන කියලා.”

ඉතින් මේ පින්වන්ත දරුවා උපන්නා. වසර හතක් ගෙවෙද්දී අඬන්න පටන් ගත්තා,

“අනේ අම්මේ…. සාරිපුත්තයන් වහන්සේ ළඟ මාව මහණ කරවන්න” කියලා.

“රත්තරන් පුතේ…. ඔයා ආස කරන ඕන දෙයක් අපි දෙනවා. ඔයා ආසා කරන්නේ පැවිදි වෙන්න නම්, අපි ඒකත් ඉෂ්ට කරලා දෙන්නම්.”

දෙමව්පියන් සාරිපුත්තයන් වහන්සේ වඩම්මලා දන් පූජා කළා.

“ස්වාමීනී, ඔබවහන්සේගේ දාසයෙක් වන අපගේ පුංචි දරුවා පැවිදි වෙන්න ආසයි. හවස් වරුවේ අපි ඒ සිඟිත්තාව අරගෙන එන්නම්.”

නෑයන් කැඳවාගෙන මේ දරුවාට ආදරෙන් සලකලා විහාරයට රැගෙන ගියා. ඒ දෙමව්පියන්ද නෑයන් සමඟ විහාර විශ්‍රාම ශාලාවේ වාසය කරමින් හත් දවසක් බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට රෝහිත මත්ස්‍ය රසයෙන් යුතු දානය පූජා කළා.
දැන් මේ කුඩා සාමණේරයන් වහන්සේ සැරියුත් මහතෙරුන් වහන්සේ සමඟ පිණ්ඩපාතයේ වඩිනවා. දවසක් පිඬු සිඟා වඩිද්දී වතුර ඇළවල් කපනවා දැක්කා.

“ස්වාමීනී, මේ මොනවද මේ අය කපන්නේ…?”

“පොඩිනම…. ඕවට කියන්නේ වතුර ඇළවල් කියලා…”

“මේවායින් මොනවද කරන්නේ…?”

“පොඩිනම…. වතුර පාර අරගෙන යන්නේ ඔය කපන ඇළ දිගේ තමයි. එතකොට වතුරට ඕන හැටියට ගලන්න බෑ. ඒ කපන ඇළ පාර අනුවයි වතුර ගැලිය යුත්තේ. ඒ ඇළ පාරෙ ගලන වතුරෙන් තමයි කුඹුරු සරුවෙන්නේ. නිකම්ම වතුර ගලාගෙන ගියොත් සරු කුඹුරු හැදෙන්නේ නෑ.”

පොඩිනම “ම්…. එහෙමද?” කියලා ඒ දිහා බලාගෙන හිටියා.

“එතකොට ස්වාමීනී, මේ වතුර තමන්ට ඕන තැන යන්නේ වතුරට හිතක් තියෙනවාද?”

“නෑ… පොඩිනම.”

“එහෙමනම් ස්වාමිනී, මේ හිත් පිත් නැති වතුර පාරක් නේද තමන්ට ඕන තැනකට ගෙනියන්නෙ?”

“පොඩිනම… ඒක හරි.”

එතකොට පොඩි නම කල්පනා කරන්න පටන් ගත්තා, ‘වතුරට හිතක් නෑ. නමුත් කපන ඇල පාර ඔස්සේ තමන්ට ඕන තැනකට ඒ වතුර ගෙනියන්න පුළුවන්. එහෙම නම් මට හිතක් තියෙනවා. මට පුළුවන් වෙන්න ඕන ධර්මයේ කියන විදිහට මේ හිත අරගෙන යන්න’ කියලා ගැඹුරට කල්පනා කළා.

තව ටික දුරක් යද්දී හී වඩුවෙක් යකඩ කූරුවල ඇද හැරලා කෙලින් කරලා ඊතල හදන තැනක් පහු කරගෙන ගියා. පොඩිනම ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

“ස්වාමීනී, අර මොනවද?”

“පොඩිනම…. ඊතල කියන්නේ ඕවට තමයි.”

“ස්වාමීනී, අර කොහොමද ඒවා හදන්නේ?”

“පොඩිනම…. ඉස්සර වෙලා ගින්නෙන් රත් කරනවා. ඊට පස්සේ ඊදණ්ඩ කෙලින් කරනවා.”

“එතකොට ස්වාමීනී, ඊදණ්ඩට හිතක් තියෙනවාද?”

“නැහැ…. පොඩිනම.”

පොඩිනම හිතන්න පටන් ගත්තා. ‘එතකොට ඊදණ්ඩටත් හිතක් නෑ. ගින්නෙත් රත් කරලයි ඊදණ්ඩ කෙලින් කරන්නේ. මට හිතක් තියෙනවා. මට බැරි මොකද මේ හිතේ ඇද හරින්න…?’

තව ටික දුරක් යද්දී වඩු මඩුවක් හම්බවුනා. වඩුවෙක් ලී සැහැලා, ඇද හැරලා, කෙලින් කරනවා.

“ස්වාමීනී, අරගොල්ලො කවුද?”

“පොඩිනම… එයාලට තමයි වඩුවෝ කියන්නේ.”

“එයාලා මොකද කරන්නෙ ස්වාමීනී?”

“පොඩිනම…. එයාලා ලී ඉරනවා. ඒ ලීවල ඇද හරිනවා… කරත්ත හදනවා… රෝද හදනවා… ලී බඩු හදනවා…”

“එතකොට ස්වාමීනී, ඒ රෝදවලට හිතක් තියෙනවාද? කරත්තවලට හිතක් තියෙනවාද?”

“නෑ… පොඩිනම.”

එතකොට පොඩිනම හිතන්න පටන් ගත්තා. ‘හරි වැඩක් නෙව. මේ කැරකෙන රෝදවලට හිතක් නෑනේ. පාරෙ යන කරත්තවලටත් හිතක් නෑ. හිත් පිත් නැති දේවල් තමන්ට ඕන හැටියට හසුරුවන්න පුළුවන් නම් ඇයි මට මගේ හිත හසුරුවන්න බැරි?’

පොඩිනම සැරියුත් මහරහතන් වහන්සේ ඇමතුවා.

“ස්වාමීනී, එහෙම නම් ස්වාමීන් වහන්සේගේ පා සිවුරු ස්වාමීන් වහන්සේ ගන්නවා නම්, මං ටිකක් නැවතිලා එන්නම්.”

එතකොට ‘මේ ළඟදි පැවිදිවෙච්ච පොඞ්ඩා පස්සෙන් ඇවිත් ඇවිත් කියන කතාවල හැටි’ කියලා සැරියුත් මහරහතන් වහන්සේට හිතුණේ නෑ. “හොඳයි, පොඩිනම” කියලා තමන්ගේ පාත්තරේ අරගත්තා.

එතකොට පොඩිනම සැරියුත් මහරහතන් වහන්සේට වන්දනා කොට මෙහෙම කියනවා,

“ස්වාමීනී… දානෙට රෝහිත මත්ස්‍ය රසයෙන් යුතු දානෙ ටිකක් ලැබුණොත් මටත් ගේනවා නේද?”

“ඈ… පොඩිනම… රෝහිත මත්ස්‍ය රසය හැමදාම කොහොම ලබන්නද?”

“නෑ… ස්වාමීනී… මං එහෙම කිව්වේ, අපිට පිනටනෙ එහෙම ලැබෙන්නේ…”

එතකොට සැරියුත් මහරහතන් වහන්සේ මෙහෙම හිතුවා, ‘මේ සිඟිති පොඩිනම එළියේ වාඩිවෙලා භාවනා කළොත් බාධා ඇතිවෙන්න පුළුවන්’ කියලා සැරියුත් තෙරුන් වහන්සේ වසන කුටිය පෙන්නුවා.

“පොඩිනම…. අන්න අර මගේ කුටියට ගිහින් ඇතුළෙ වාඩිවෙලා භාවනා කරන්න.”

ඉතින් පොඩිනම කුටියට ගිහින් වාඩිවෙලා විදර්ශනා වඩන්න පටන් ගත්තා. පොඩිනමගේ පින් බලය නිසා මෙය සක් දෙවිඳුටත් පෙනුණා. සක් දෙවිඳු පොඩි නම රැකගන්නා ලෙස සතර වරම් දෙවිවරුන්ට අණ කළා. කුරුල්ලෙකුගේ කෑ ගැසීමක්වත් ආවෙ නෑ. සඳ දෙව්පුතුද, හිරු දෙව්පුතුද රැකවරණයට ආවා. පොඩිනමගේ හිත එකඟ වුණා. කිසි අනතුරක් නැතුව අනාගාමී ඵලයට පත්වුණා.

ඔය අතරේ සැරියුත් මාහිමියන් වහන්සේ අර උපස්ථාන කුලයට පිඬු සිඟා වැඩියා. එදාත් මිනිසුන්ට රෝහිත මසුන් ලැබිල තිබුණා. තෙරුන් වහන්සේව නිවසට වැඩමවා දන් පිළිගැන්වූ විට උන්වහන්සේ පිටත් වෙන්න සූදානම් වුණා.

“ඇයි ස්වාමීනී, පිටත්වෙන්නේ? වළඳලා වඩින්න…”

“නෑ… අපේ පොඩිනම කුටියේ ඉන්නවා.”

“ස්වාමීනී, පොඩිනමට අපි දානය පිළියෙල කරලා දෙන්නම්.”

එදා බුදුරජාණන් වහන්සේ වේලාසනින්ම දන් වළඳා ගන්ධ කුටියට වැඩම කොට මේ සිදුවීම දකිමින් වැඩසිටියා.

පොඩිනම ධර්මාවබෝධ කරගැනීම පිණිස වීරිය කරනවා. දැන් අනාගාමී ඵලයට පත්වෙලයි ඉන්නේ. අරහත්වය පිණිස පින් තියෙනවද? තව ස්වල්ප වෙලාවකින් අරහත්වයට පත්වෙන්නට වාසනාව තියෙන බව බුදු නුවණට පෙනුනා.
ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ පොඩිනමගේ දානය අරගෙන ආපහු වඩිනවා. බුදුරජාණන් වහන්සේ ඉර්ධි බලයෙන් ඒ කුටිය ඉදිරියට වැඩියා. සැරියුත් තෙරුන් පොඩිනමගේ දන් පාත්තරය ඇතුව කුටිය ඉදිරියේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන්ගෙන් මෙහෙම අහනවා,

“පින්වත් සාරිපුත්ත, ඔබට මොනවද ලැබුණේ?”

“ස්වාමීනී, ආහාරයි.”

“සාරිපුත්ත, ආහාරය විසින් කුමක් නම් රැගෙන එයිද?”

“ස්වාමීනී, විඳීමයි.”

“සාරිපුත්ත, විඳීම විසින් කුමක් නම් රැගෙන එයිද?”

“ස්වාමීනී, සතර මහා භූතයන්ගෙන් හටගත් දෙයක් රැගෙන එයි.”

“සාරිපුත්ත, සතර මහා භූතයන්ගෙන් හටගත් දෙය කුමක් රැගෙන එයිද?”

“ස්වාමීනී, අභ්‍යන්තර ආයතන හයත්, බාහිර ආයතන හයත්, විඤ්ඤාණයත් එකතු කිරීම රැගෙන එයි.”

කුටිය ඇතුළේ සිටි පොඩිනමට මෙය හොඳට ඇහුණා. ආහාරය අනිත්‍ය බවත්, විඳීම වහා වෙනස් වෙන බවත්, රූපය බිඳී යන බවත්, ස්පර්ශය වහා වෙනස් වෙන බවත් පොඩිනමට වැටහෙන්නට වැඩිකල් ගියේ නෑ. පොඩි නම මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන්ට මෙසේ වදාළා,

“හොඳයි සාරිපුත්ත, දැන් ගිහින් පොඩිනමට දානෙ දෙන්න.”

සැරියුත් තෙරුන් දොරට තට්ටු කළා. පොඩිනම එළියට පැමිණ තෙරුන්ගෙන් පාත්තරය ගෙන තෙරුන්ට පවන් සැලුවා.

“පොඩිනම, දැන් දානෙ වළඳන්න.”

“එතකොට ස්වාමීනී, ඔබවහන්සේ…?”

“මං වැළඳුවා, පොඩි නම. ඔබ වළඳන්න.”

සත් හැවිරිදි දරු සිඟිත්තෙක් පැවිදි වී අට වෙනි දවසේ අරහත්වයට පත්වෙද්දී දෙවියන් බඹුන්ගෙන්ද ආසිරි ලැබුණා. හිරුමඬල අහසෙහි ගිලී ගියා. භික්ෂූන් කතා බස් කරන්නට පටන් ගත්තා.

“හෙවණැල්ල පහුවෙලා ගියාවත්ද? හිරු අහසේ ගිලී ගිහින්. පණ්ඩිත සාමණේරයා දැන් නෙව වළඳන්නේ.”

ශාස්තෘන් වහන්සේට එය ඇහුණා.

“පින්වත් මහණෙනි, එය එසේ නොවෙයි. මහා පින්වතෙක් මහණදම් පුරද්දී සඳ දෙව් පුත්, සඳ මඬලින් සෙවණ දුන්නා. හිරු දෙව් පුත්, හිරු මඬලින් සෙවණ දුන්නා. සතර වරම් දෙවිවරුන් සිව් දිශාවට රැකවල් දුන්නා. සක් දෙවිඳුන් ඉදිරියෙහි රැකවල් දුන්නා. මමත්, මගේ පොඩි පුතුට රැකවරණ දුන්නා” කියා මිහිරි හඬින් මේ ගාථාව වදාළා.

උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා – අත්තානං දමයන්ති පණ්ඩිතා

ඇල දොළ කපනා අය නිසි සේ – ගෙන යති දිය දහරද රිසි සේ
දවනා විට ගින්නෙන් සොඳ සේ – කෙලින් කරති ඊ දඬු රිසි සේ
ලීයෙහි ඇදකුද හැර නිසි සේ – තනති බඩුත් වඩුවෝ රිසි සේ
නුවණැත්තෝ දහමෙහි නිසි සේ – හැසිර දිනති තම සිත රිසි සේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් ඔබට තේරෙනවා නේද තමාගේ පස්සෙන් පින එන හැටි. බොහෝ දෙනෙක් මේ පින්වල වටිනාකම දන්නෙ නෑ. සමහරු මෙහෙම කියනවා. ‘අපි කාටවත් වරදක් කරන්නෙ නෑ. අපේ පාඩුවෙ අපි ඉන්නේ. ඒ නිසා අපිට පින් කරන්න ඕනත් නෑ’ කියලා.

තව උදවිය මෙහෙම කියනවා. ‘අපි පව් කරන්නෙත් නෑ. පින් කරන්න ඕනත් නෑ. පින් කළොත් සසර දික් වෙනවා. ඒ නිසා අපි පින් කරන්නෙ නෑ.’

මෙවැනි මෝඩ කතා කීමෙන් තමන්ගේ මෝඩකමත් ප්‍රදර්ශනය කරනවා. පින් කරන්න තියෙන අවස්ථාවත් අත්හැර ගන්නවා. අනිත් අයට පින් කරන්න තියෙන අවස්ථාවත් වළක්වනවා. මේ නිසා නුවණැති කෙනෙක් වෙලා පිනට ආසා කරන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 6-5. පණ්ඩිත සාමණේරයන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here