6-10,11. බණ ඇසූවන්ගේ කථා වස්තුව

0
5


“දුකෙන් මිදෙන්නේ සුළු පිරිසක්මයි…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මිනිසෙකුට ඉතාමත් දුර්ලභව ලැබෙන අවස්ථාවක් තියෙනවා. එයට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලයි. ඒ ක්ෂණ සම්පත්තිය හරිම දුර්ලභයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය කෙනෙකුට අහන්න ලැබෙනවා. ඒ අහන ධර්මය අර්ථ වශයෙන් නුවණින් විමසන්නත් ඔහුට අවස්ථාව ලැබෙනවා. එසේ නුවණින් විමසද්දී ඔහුට එය වැටහෙනවා. එතකොට ඒ ධර්මය ගැන සිත පහදිනවා. ක්ෂණ සම්පත්තිය කියන්නේ එයටයි. ඒ ක්ෂණ සම්පත්තිය ලැබූ කෙනා ධර්මයේ හැසිරුනොත් මගඵල ලබනවා. ඒ අවස්ථාව මගඇරුණොත් සසරේ කොහේ උපදියිද කියලා කවුරු නම් දනිත්ද?

මෙහි සඳහන් වන්නෙත් එවැනි සංවේගදායක සිද්ධියක්. සැවැත් නුවර එක්තරා වීදියක මිනිසුන් මහා පින්කමක් කරන්න කතාවුණා. ඉතින් ඔවුන් සියලු දෙනාම එකතු වෙලා දානයක් දුන්නා. ඊට පස්සේ ඔවුන්ට ආසාවක් ඇතිවුණා නොනිදන රැයක දහම් වැඩසටහනක් පවත්වන්න. ඔවුන් එකතු වෙලා ලස්සන මණ්ඩපයක් හැදුවා. ධර්ම දේශනා කරන්න ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා. සියලු දෙනාම රැස්වුණා. බණ පටන් අරන් ටික වේලාවකින් ඔවුන්ගේ සිතේ උනන්දුව ටික ටික අඩුවුණා. සමහරුන්ට ගෙවල්වල වැඩ මතක් වුණා. ඔවුන් නැගිටලා පිටත් වුණා. සමහරුන්ට තමන්ගේ සණ්ඩු සරුවල් මතක් වුණා. හිත සංසිඳවාගන්න බැරි වුණා. ඔවුන් හිමිහිට මගඇරලා ගියා. සමහරුන්ට කියන දේ තේරුම් ගන්න බැරිවුණා. ඔවුනුත් ටික ටික එහාට මෙහාට ගියා. සමහරු බණ අහන්න වගේ සූදානම් වෙලා ඇස් වහගෙන හිටියා. ඔවුන්ට නින්ද ගියා. ඉතාම සුළු පිරිසක් ප්‍රබෝධයෙන් යුතුව බණ ඇහුවා.

මේ සිදුවීම හරිම සංවේගජනකයි. මිනිසුන් ධර්මය හොයාගෙන යනවා. නමුත් ඔවුන් තුළමයි තියෙන්නේ ඔවුන්ව ධර්මයෙන් බැහැර කරන දේත්. අන්තිමේදී ධර්මයෙන් බැහැර කරන දේ බලවත් වෙලා ඔවුන් බැහැරට විසිවෙනවා. සේනා සහිත මාරයා විසින් ඔවුන්ව වසඟ කරගන්නවා.

පසුවදා භික්ෂූන් වහන්සේලා මහත් සංවේගයෙන් යුතුව මේ ගැන කතාබස් කළා.

“හප්පේ…! අර මිනිස්සු අපි බණක් කියවමු කියලා කොච්චර ආසාවෙන්ද හිටියේ… මණ්ඩප හැදුවෙත් ඒ අයමයි. වේලාසනින් කාලා බීලා ආවෙත් ඒ අයමයි. නොනිඳන රැයේ බණ ඇසීම කියලා ඉදිරිපත් වුණෙත් ඒ අයමයි. බණ පටන් අරන් ටික වෙලාවක් යද්දී වෙච්ච දෙයක් නැතුව ගියෙත් ඒ අයටමයි…. මේක හරි භයානකයි. මාරයා විසින් සැණෙකින් වසඟ කරගන්නවා. භවයටම හිත යොමුකරවනවා. භවයටම ඇලුම් කරවනවා. සසරෙන් එතෙර වන්නේ කොයිතරම් ස්වල්ප දෙනෙක්ද?”

බුදුරජාණන් වහන්සේට මෙය අසන්නට ලැබුණා.  එවේලේ උන්වහන්සේ මේ ගාථා වදාළා.

අප්පකා තේ මනුස්සේසු – යේ ජනා පාරගාමිනෝ
අථායං ඉතරා පජා – තීරමේවානුධාවති

යම් කෙනෙක් ගැලවිලා සසරින් – එතෙර වෙයි නම් මේ දුකෙන්
මිනිසුන් අතර ඔවුන් ඇත්තේ – ඉතා සුළු පිරිසකි ඉතින්
අනෙක් ජනයා මෙලොව සිටිනා – ඇදී යයි දුක වෙත නිතින්

යේ ච ඛෝ සම්මදක්ඛාතේ – ධම්මේ ධම්මානුවත්තිනෝ
තේ ජනා පාරමෙස්සන්ති – මච්චුධෙය්‍යං සුදුත්තරං

මැනැවින් දෙසූ බුදුබණ – අසා සිත පහදාගෙන
දහමට අනුව හැසිරෙන – දහම තුළ සිත පිහිටන
යමෙක් වෙති නම් මෙලොවේ – ඔවුන් සසරෙන් එතෙර වෙත්මයි
මාරයාගේ කෙලෙස් ගැටයෙන් – ගැලවීම දුෂ්කර දෙයක්මය

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් බලන්න ඒ සැවැත් නුවර හිටපු අය බණ අහන්න ගියේ කොතරම් ආසාවෙන්ද? නමුත් තමුන්වත් දන්නෙ නෑ තමුන් එතනින් විසි වෙලා ගිය හැටි. අන්න ඒකට තමයි පින්වල වෙනස කියලා කියන්නේ. ඔවුන්ට පින් මදිව තිබුණා. පින තිබුණු අයට පුළුවන් වුණා හිතේ අවුලට වෙනස් නොවී ඉන්න. පින මදි කෙනා සිතේ අවුලට යට වුණා. මේ නිසා තමයි මේ වෙනස්කම ඇතිවුණේ. මාර සෙනඟට වුනත් ඒ පිරිසව ආයෙමත් සසරට ඇදලා දාන්න පුළුවන් වුනේ ඒ නිසයි.

බුදුරජාණන් වහන්සේ දැකපු, බුදු බණ අහපු කොතරම් නම් අය සසරේ ඇත්ද? ඒ හැමෝටම වුණේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙච්ච එක නේද? ඒ නිසා අපි ඒ ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්න හොඳ නෑ. එය රැක ගන්නමයි මහන්සි ගන්න ඕන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 6-10,11. බණ ඇසූවන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here