5-8. එක්තරා ගොවියෙකුගේ කථා වස්තුව

0
8


“පසුතැවෙන දේ කරන්න එපා!”

පිවතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයට කරදර ඇතිවෙන්නේ සිහිනෙකින්වත් හිතපු නැති විදිහටයි. එතකොට බොහෝ දෙනෙක් අන්ත අසරණ බවට පත්වෙනවා. එ් හේතුවෙන්ම අනන්ත අප‍්‍රමාණ දුකට පත්වෙනවා. තමන් නිර්දෝෂීව සිටිද්දී නොකළ වරදට හසුවෙලා නින්දා විඳින අය කොච්චර ඉන්නවාද? දඬුවම් විඳින අය කොච්චර ඉන්නවාද? දුකට වැටෙන අය කොච්චර ඉන්නවාද?

මේ කථාවත් එහෙම එකක්. නොකළ වරදකට හසු වූ අසරණ ගොවියෙක් ගැනයි මේ කථාව.

සැවැත් නුවරට නුදුරින් කුඹුරු යායක් තිබුණා. දවසක් සොරු රංචුවක් එක්තරා සිටුවරයෙකුගේ ගෙයක් බින්ඳා. රන් රිදී ආභරණ සොරකම් කළා. කුඹුරට වතුර බෙදන සොරොව්ව පැත්තෙන් ඇවිදින් කුඹුරට ආවා. එකිනෙකාට භාණ්ඩ බෙදා ගත්තා. එතකොට එක හොරෙක් එ් හොරුන්ටත් වංචා කරලා කහවණු දහසක් වටිනා තැල්ලක් තමන්ගේ ගොඩට දාගත්තා. එකිනෙකා විසිරිලා යද්දී අර තැල්ල මේ හොරාගෙ මල්ලෙන් වැටුණා. හොරා එ්ක දැක්කෙ නෑ. පිටත් වෙලා ගියා.

පසුවදා බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුනෙතින් ලොව බලද්දී අසරණ අහිංසක ගොවියෙක් නිස්කාරණේ විශාල විපතක වැටෙනවා කියලා දැක්කා. දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට මෙය වදාළා.

“පින්වත් ආනන්ද, සැවැත් නුවර අසවල් කුඹුරු යාය පැත්තට අපි අද යන්න ඕන. අසරණයෙකුට පිහිට වෙන්න තියෙනවා.”

ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ කුඹුරු යාය දිගේ වඩින්න පිටත්වුණා. එතකොට එක්තරා ගොවියෙක් පාන්දරින් උදැල්ලත් අරගෙන තමන්ගේ කුඹුරට ආවා. ඇවිදින් කුඹුර කොටන්න පටන්ගත්තා. එ් කිට්ටුව තමයි අර කහවණු දහසක් වටිනා තැල්ල තිබුණේ. නමුත් අර ගොවියා එ් තැල්ල දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ නියර දිගේ වඩිනවා දැකලා එ් ගොවියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ආයෙමත් කුඹුරට බැහැලා කොටන්න පටන්ගත්තා. බුදුරජාණන් වහන්සේ එ් තැල්ල ළඟ නැවතුණා.

“පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා පිළිතුරු දුන්නා.

එතකොට අර ගොවියාට මේ කතාබහ ඇහුණා. “හප්පේ….. අර ශ‍්‍රමණයන් වහන්සේලා කතාවුණේ මහා භයානක සර්පයෙක් ඉන්නවා කියලා. කෝටුවකින් අරගෙන ඈතට වීසි කරන්න ඕන.”

ගොවියා එතනට එනකොට දැක්කෙ භයානක සර්පයෙක්ව නොවෙයි. කහවණු දහසක් වටිනා තනි රත්තරන් තැල්ලක්. මෙයා පුදුම වුණා. නෙත් විදහා බලාසිටියා. එ් තැල්ල අතට ගත්තා. අතේ තියාගෙන පුදුමයෙන් කල්පනා කළා.

‘හරි පුදුමයි…! එතකොට ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ භයානක සර්පයා කිව්වෙ මේකට නේද? මේ ආභරණය ලොකු ප‍්‍රශ්නයකට සම්බන්ධ දෙයක් වෙන්න ඇති. නැත්නම් එවැනි කතාවක් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙන්නේ නෑ’

එහෙමනම් මේකෙන් මට යහපතක් වෙන එකක් නෑ කියලා එතනම දාලා පස්වලින් වැහුවා. වහලා කුඹුර කොටන්න පටන්ගත්තා.

රාජපුරුෂයින්ට සිටු මාළිගයක සිදු වූ සොරකම ගැන සැළවුණා. සොරකම කළ සොරුන්ගේ පියවර ඔස්සේ සොය සොයා එන්නට පටන්ගත්තා. සොරොව්ව ළඟට ආවා. සොරොව්වෙන් ගොඩ වුණා. කුඹුරට ආවා. සොරු රැස්වුණු ලකුණු තියෙනවා. තව සොයන්න පටන්ගත්තා. එතකොට රාජපුරුෂයෙක් කෑ ගැහුවා.

“එ්යි වරෙල්ලා…. මෙන්න බඩු තියෙනවා. මේ තියෙන්නේ කහවණු දහසක් වටිනා තැල්ලක්!”

රාජපුරුෂයන් ගොවියා දිහා රවලා බලාගෙන හිටියා.

“එ්යි හොරා…. මෙහෙ වරෙන්” කියල කතා කළා. කුඹුරෙන් ගොඩට ඇදලා අරගෙන එතනම ඇදගෙන වැටෙන්න ගැහුවා.

“උඹ ගෙවල් බිඳලා හිට කුඹුර කොටනවා වගේ ඉන්නවා නේද? උඹේ කෙරුවාවල් අදින් ඉවරයි.”

රාජපුරුෂයන් අර ගොවියාගේ දෑත් පිටුපසට කොට බැන්දා. කසෙන් තල තලා ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට අර ගොවියාව පෙන්නුවා. රාජ පුරුෂයෝ දැනුම් දුන්නේ හොරාව අල්ලගත්තා කියලයි. හොරාට දඬුවම් නියම වුණා. කසයෙන් තල තල හිස ගසන තැනට අරගෙන ගියා. පාර දෙපැත්තේ සෙනඟ හොරා බලන්න රැස්වුණා. එතකොට මේ අහිංසක ගොවියාට කරකියාගන්න දෙයක් නෑ. ගොවියා කෑ ගගහ කිය කිය ගියා.

“පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා.

දිගටම ගොවියා කිව්වේ ඕකමයි. එතකොට රාජපුරුෂයෝ ඇහුවා

“ඈ… හොරෝ…? නුඹ මොකද ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේගේ නමත්, ආනන්ද තෙරුන්ගේ නමත් කියවන්නේ….? නුඹ මේකෙන් මගහරින්නද හදන්නේ?”

“නෑ…. මං සොරකමක් කළේ නෑ. එ්ක ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ දන්නවා.”

එතකොට රාජපුරුෂයන් කල්පනා කළා ‘මේ පුද්ගලයා ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ නම ඉදිරියට අරගෙන කතාකරන්නේ මේකේ තව මොනවා හරි ඇති.’ ආපහු රජතුමා ළඟට මොහු අරගෙන ගියා.

එතකොට කොසොල් රජ්ජුරුවෝ මෙහෙම කිව්වා.

“රාජපුරුෂය, ලෝකයෙහි අග‍්‍ර වූ උත්තමයා වන අපගේ ශාස්තෘන් වහන්සේ සාක්කියට තබාගෙන මේ පුද්ගලයා කියන දේ අහක දැමිය යුතු නෑ. මම ම මේ කාරණය දැනගන්නම්. දැනට ඔය පුද්ගලයාව හිරකරන්න. සවසට මෙයාවත් අරගෙනම යමු.”

සවස රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. ගොවියා දෑත් පිටුපසට බැඳගෙන ඇඟ පුරා කස තැලුමෙන් ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟ අසරණව වාඩිවෙලා ඉන්නවා. එතකොට රජතුමා මෙහෙම අහනවා.

“ස්වාමීනී, මේ පුද්ගලයා හොරෙක්. නමුත් මොහු අමුතු කතාවක් කියනවා. භයානක සර්පයෙක් ගැන ඔබ වහන්සේ කිව්වාය කියලා මොකක්දෝ දෙයක් කියනවා.”

“පින්වත් මහරජ, එ්ක ඇත්ත. එ් භයානක සර්පයා පණ තියෙන සතෙකුටත් වඩා භයානකයි. එ් භයානක සර්පයා නිසා අසරණ අහිංසකයොත් අමාරුවේ වැටෙනවා. බොහෝ අය පව් රැස්කරගන්නවා.

එ් භයානක සර්පයා වෙන අමුතු සතෙක් නොවෙයි. කහවණු දහසක් වටිනා රන් තැල්ලක්. මං ඕක ආනන්දයන්ට පෙන්නුවා. ‘පින්වත් ආනන්ද, පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි?’ කියලා.

ආනන්දයන් වහන්සේත් මට උත්තර දුන්නා

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, හැබෑමයි ඌ නම් මහා භයානක සර්පයෙක්මයි” කියලා.

එ් කථාව නිසයි අද මේ අසරණ ගොවියා බේරුණේ. මහරජතුමනි, මෙයා හොරෙක් නොවෙයි. මම කියල ගියේ එච්චරයි. නුවණැති කෙනාට එ්ක තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න මේ පින්වත් ගොවියා නුවණින් තේරුම් ගත්තනේ මං කියපු කාරණාව මොකක්ද කියලා. අන්න එහෙම තමයි වැඩකරන්නට ඕන. තමන් දුකට පත්වෙන දේවල් කරගන්න හොඳ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.

න තං කම්මං කතං සාධු – යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං – විපාකං පටිසේවති

කළ විට යම් පවක් යමෙක් – පව් පල දෙයි නම් එ්කෙන්
එවිට හඬා කඳුළු මැදින් – දුකට වැටෙයි නම් එපවින්
කිසි දිනකදි එබඳු පවක් – කිරීම හොඳ දෙයක් නොවෙයිි

පින්වතුනේ, පින්වත් දරුවනේ, යමක් කළාට පස්සේ එ් කළ දේ ගැන නුවණින් සලකද්දී පසුතැවෙන්නට වෙනවා නම්, එ් වගේ ම එ් පාපයේ විපාක වශයෙන් නිරයේ ඉපදිලා දුක් විඳින්නට වෙනවා නම් එවැනි දෙයක් කවදාවත් කරන්න එපා. හඬ හඬා කඳුළු පෙරමින් විඳවන්නට වැඩ කිරීමේ තේරුම මොකක්ද?

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට ධර්ම දේශනා කළා. එතකොට ගොවියා එ් ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ශ‍්‍රාවකයෙක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ගොවියාව මරණින් බේරගත්තා. සතර අපායෙනුත් බේරාගත්තා. නිවනටත් යොමු කළා. බුදු කරුණාව ලොවට සැපයක්මයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 5-8. එක්තරා ගොවියෙකුගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here