5-16. වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

0
4


“පුණ්‍යවන්තයා ආසා කරන්නේ ධර්මයේ හැසිරෙන්නයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ගෞතම බුද්ධ ශාසනයේ මහා පින්වන්තයින් පැවිදි වෙනවා. උදාර පුද්ගලයින් සසුන්ගත වෙනවා. මෙම කථාවෙත් සඳහන් වන්නේ එවැනි දෙයක්.

ඒ වගේම මෙම කථාව හරිම අසිරිමත්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පියාණන් වහන්සේ තමයි වංගන්ත බ්‍රාහ්මණයා. ඔහුගේ යහළුවෙක් හිටියා මහාසේන නමින්. මේ බ්‍රාහ්මණයා හරිම වයසයි. ඉස්සර මෙයාලට බොහොම ධනය තිබුණා. කලක් යද්දී ඒ ධන සම්පත් පිරිහිලා ගොඩක් දුප්පත් වුණා. එදා වේලවත් කන්න නැතිතරමට පත්වුණා.

දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මොහුගේ ගෙදර දෙසට පිඬු පිණිස වැඩියා.

“අන්න…. අන්න…. අපගේ පුත්‍රයන් වහන්සේ නේද පිණ්ඩපාතයේ වඩින්නේ? අපෙ අප්පෝ….. ගෙදර රොටි කෑල්ලක්වත් නැහැ නොවැ. මෙච්චර නැතිබැරිකමෙන් මං පෙළෙනවාය කියල දැනගත්තොත් වස ලැජ්ජාවෙ බෑ. පුත්‍රයන් වහන්සේ වඩින්න කලින් මං සැඟවෙන්න ඕන” කියලා මහාසේන බ්‍රාහ්මණයා හැංගුණා.

සැරියුත් මහරහතන් වහන්සේ හිස් අතින් වැඩියා. දෙවෙනි දවසෙත් හැංගුණා. තව දවසක මේ බ්‍රාහ්මණයාට සළුපටකුයි, කිරිබතකුයි ලැබුණා. එදා මෙයා කල්පනා කළා,

“අනේ, මගේ පුත්‍රයන් වහන්සේ අද මේ පැත්තෙ පිණ්ඩපාතෙ වඩිනවා නම් මොනතරම් අගේද?”

සැරියුත් මහරහතන් වහන්සේ ඒ මොහොතේ සමාධියට සමවැදිලයි හිටියේ. සමාධියෙන් අවදිවෙද්දි මේ බ්‍රාහ්මණයාගේ අදහස දැනුනා. දැනිලා මේ බ්‍රාහ්මණයාගේ නිවසට පිඬු සිඟා වැඩියා.

මහාසේන බ්‍රාහ්මණයාට හරිම සතුටුයි. සතුටෙන් හිනහ වෙවී තෙරුන් වහන්සේ ඉදිරියට ගිහින් ආදරයෙන් ගෙට කැඳවා ගත්තා. වඩා හිඳුවා කිරිබත් පූජා කළා. එතකොට පාත්‍රයට කිරිබත් ටිකක් ගත් සැරියුත් තෙරුන් වහන්සේ අත වැහුවා.

“අනේ ස්වාමීනී, අත වහන්න නම් එපා! මට මොලොව පරලොව දෙකටම සංග්‍රහ පිණිස, අනේ ස්වාමීනී…. මේ කිරිබත වළඳන්න” කියලා ඒ කිරිබත් සියල්ල බෙදුවා.

දන් වළඳා අවසන් වුණාට පස්සේ අර සළුවත් පූජා කරගත්තා. බ්‍රාහ්මණයාට එදා හරිම සතුටුයි. සිත පිනා ගිහින් තිබුණා. ඒ සතුටින්ම ඔහු එදා මරණයට පත්වුණා. එදාම සැරියුත් මහතෙරුන් වහන්සේගේ දායක පවුලක මොහු උපන්නා.

ඉතින් ඒ පින්වත් කාන්තාව තම ස්වාමියාට මෙහෙම කිව්වා.

“අනේ හිමියනි, මට දොළ දුකක් තියෙනවා. මට හරිම ආසයි, සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සීයක් භික්ෂූන් වහන්සේලාට දිය නොමුසු කිරිබත් පූජා කරන්න. මට ඒක පූජා කරගන්න ඕන මෙහෙමයි. කසාවතක් ඇඟේ දවටගන්න ඕන. රන් බඳුනේ කිරිබත් දාලා එයින් තමයි පූජා කරන්න ඕන.”

ඈ හිතූ පරිද්දෙන්ම දන් පැන් පූජා කරගත්තා. පින්වන්ත දරුවෙක් ඒ පවුලට ලැබුණා. දරුවා උපන් දවසේ මේ ගෙදර උදවිය සැරියුත් මහරහතන් වහන්සේට පෙන්නන්න අරගෙන ගියා. මේ සිඟිත්තා ඇස් ඇරලා බැලුවා. සැරියුත් මහරහතන් වහන්සේ මේ දරු සිඟිත්තා දිහා බලාගෙන හිටියා. එතකොට මේ දරුවාට පෙර භවය මතක් වුණා.

‘අනේ…. මේ මගේ ආචාර්යයන් වහන්සේ නොවැ. මම මේ මිනිස් ලෝකෙට ආයෙමත් ආවෙ මුන්වහන්සේ නිසාමයි. ඒ නිසා මං සිල්ගන්න ඕන’ කියලා පොඩි දරුවා අත්දෙක හකුළුවා ගනිද්දී පොඩි ඇඟිල්ල රෙද්දේ පැටළුණා. ඒ පැටලිල්ල ලිහද්දී පොඩි දරුවා අඬන්න ගත්තා. නමුත් සිඟිත්තාගේ ඇඬිල්ල නතර කරවා ඒ පිරිස පොඩි දරුවාව තෙරුන් වහන්සේගේ පා මුලින් තිබ්බා.

“ස්වාමීනී, අපේ පුතා ඔබවහන්සේට පූජා කරනවා. ඔබවහන්සේට කවදහරි උපස්ථාන කරන්න මේ දරුවට තමයි පවරන්නෙ.”

“පින්වත්නි, මේ බබාගෙ නම මොකක්ද?”

“ස්වාමීනී, ඔබවහන්සේගේ ගිහි කාලෙ නම උපතිස්ස නෙව. ඒ නිසා අපි මේ දරුවාට තිස්ස කියලා නම දැම්මා.”

මේ දරු සිඟිත්තා සත් හැවිරිදි වියේ සිට මහණ වෙන්න ඕන කියලා අඬනවා. සැරියුත් මහරහතන් වහන්සේ ගාවමලු මහණ වෙන්න ඕන. එතකොට දෙමව්පියො මෙහෙම කිව්වා.

“මයෙ පුතේ, අපි ඔයාව ඉපදිච්ච දවසෙයි සැරියුත් මහරහතන් වහන්සේට බාර දුන්නෙ. ඒ නිසා පුතා කැමතිනම්, අද හවසට අපි එක්කගෙන යන්නම්” කියලා දෙමව්පියෝ මහත් පිරිවරක් සමඟ උත්සවශ්‍රීයෙන් දරු සිඟිත්තාව අරගෙන සැරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියා. තෙරුන් වහන්සේට වැන්දෙව්වා. බාරදුන්නා.

එතකොට සැරියුත් මහරහතන් වහන්සේ සිඟිත්තාට මෙහෙම කියනවා.

“පින්වත් තිස්ස, පැවිද්ද ලේසි දෙයක් නෙවෙයි. ගොඩාක් වීරිය තියෙන්න ඕන. රස්නෙ වුවමනා වෙලාවට සීතලයි හම්බවෙන්නෙ. සීතල වුවමනා වෙලාවට හම්බවෙන්නෙ රස්නෙයි. ඒ නිසා වීරිය තියෙන කෙනෙකුට තමයි මේ පැවිද්ද තියෙන්නෙ. නමුත් ඔයා ඉතා සැපසේ හැදුණු කෙනෙක් නෙව.”

“අනේ ස්වාමීනී, ඒ වුණාට මටත් පුළුවනි ඒ ඕනෙම දේකට මුහුණ දීලා ජීවත් වීමට.”

පොඩි දරුවාගේ වීරියවන්ත ප්‍රකාශයට සැරියුත් මහරහතන් වහන්සේ සතුටු වුණා. දරු සිඟිත්තා සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වශයෙන් පැවිදි වුනා. දරු සිඟිත්තාගේ පැවිදි පින්කම නිමිත්තෙන් සත් දවසක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට ඒ දෙමාපියන් දන් පැන් පූජා කළා.

අටවෙනි දවසේ තිස්ස පොඩිනම පිණ්ඩපාතේ වැඩියා. එදා ඒ පොඩිනමට ඤාතීන් විසින් පන්සීයයක් සළු පූජා කළා. පොඩිනම ඒ සියල්ලම සංඝයාට බෙදුවා. දෙවෙනි දවසේ පොඩිනම පිණ්ඩපාතෙ වැඩියා. එදා ඤාතීන් සළු දාහක් පූජා කළා. පොඩිනම එයත් සංඝයාට බෙදුවා.

එක දවසක් සීත කාලයක භික්ෂූන් වහන්සේලාට සමහර තැන්වල සීතල වැඩිකමට ගිනි තපින්න සිද්ධ වුණා. පොඩිනම ඇවිත් ඇහුවා,

“ඇයි ස්වාමීනී, සීත කාලෙට කම්බිලියක් පොරවන්න එපායැ. එතකොට නෙව සීතල අඩුවෙන්නෙ.”

“අනේ පොඩිනම, ඔහේට නම් මොකෝ? හිතූ පමණින් ලැබෙනවා නෙව.”

“ස්වාමීනී, එහෙමනම් කම්බිලිවලින් ප්‍රයෝජනය ඇති ස්වාමීන් වහන්සේලා මා සමඟ වඩින්න.”

එතකොට දාහක් භික්ෂූන් වහන්සේලා ඒ පොඩිනමත් සමඟ වැඩියා. එතකොට පොඩිනම පාරෙ වඩිද්දී නගරෙ මිනිස්සු කම්බිලි දාහක් පූජා කළා. එතකොට පොඩිනමට කම්බිලි පූජා කරන තිස්ස නමින් ‘කම්බලදායක තිස්ස’ යන නම වැටුණා.

ඒ වගේම පොඩිනම දහසක් භික්ෂූන් සමඟ පිණ්ඩපාතෙ වඩිද්දී ප්‍රණීත වූ කිරිබත් ලැබුණා. එතකොට පොඩිනමට පිණ්ඩපාතය ලැබෙන පොඩිනම යන අර්ථයෙන් ‘පිණ්ඩපාතදායක තිස්ස’ යන නමත් ලැබුණා.

පොඩිනම තනියම කල්පනා කළා. ‘මං මේ ජේතවනාරාමයේ වාසය කරන කොට නෑදෑයන් ඇවිල්ලා කෙළවරක් නැති දේවල් පූජා කරනවා. එතකොට මට ඒ ඇත්තො එක්ක කතා කරන්න වෙනවා. මං ඈත වනයට යන්න ඕන’ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් භාවනා උපදෙස් ගත්තා. ඒ වගේම සැරියුත් මහරහතන් වහන්සේගෙන් අවසර ගත්තා.

නෑදෑයන්ගෙන් වෙන් වෙලා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් වෙන් වෙලා, ක්‍රම ක්‍රමයෙන් ඈතටම ගියා. අන්තිමේදී පොඩි නම සැවැත් නුවර සිට යොදුන් දෙසීයක් දුර වනාන්තරයකයි නැවතුණේ.

එතකොට පොඩිනමට තවත් නමක් පට බැඳුණා. ඒ තමයි ‘වනවාසික තිස්ස’ යන නම. දායක පිරිස් පොඩිනමට හරි ආදරෙයි. හැබැයි කවුරු වැන්දත්, කවුරු උපස්ථාන කළත්, පොඩිනම සෙත් පතන්නේ වචන දෙකකින්. ‘සුවපත් වේවා! දුකින් මිදේවා!’ කියල විතරයි. වනයට ඇවිදින් තුන් මසක් ඇතුළත පොඩිනම සියලු ඉර්ධිබලයෙන් යුතු මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

පොඩිනමගේ කීර්ති රාවය හැමතැනම පැතිරුණා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා නොමග යන පැවිදි ජීවිත ඇති ලෝකයේ ඒ කිසිවකට නොඇලී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමා පසුපස හඹා එද්දී, ඒ කිසිවක් නොසලකා ඈත වනයේම වැඩසිටි වනවාසික තිස්ස මහරහතන් වහන්සේ ගැන භික්ෂූන් වහන්සේලා ඉතාමත් ආදරයෙන් කතාබස් කළා.

ඒ වනවාසී තිස්ස මහරහතන් වහන්සේ අරභයා තමයි බුදුරජාණන් වහන්සේ මෙය වදාළේ.

අඤ්ඤා හි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බානගාමිනී
ඒවමේතං අභිඤ්ඤාය – භික්ඛු බුද්ධස්ස සාවකෝ
සක්කාරං නාභිනන්දෙය්‍ය – විවේකමනුබ්‍රෑහයේ

සිවුරු දානමාන ඇතිව – වැඳුම් පිදුම් ලාභ ඇතිව
සිටිනා මග වෙනත් එකකි
එනමුදු ලාභෙට නො ඇලී – සසර දුකින් මුදවාලන
නිවනට මග තවත් එකකි
බුදුරජුන්ගෙ ශ්‍රාවක වූ – භික්ෂුව නිතරම මේ ගැන
නුවණින් විමසා බලමින් – නොඇලිය යුතුමයි ලාභෙට
හුදෙකලාව දිවි ගෙවමින් – හැසිරිය යුතුමයි දහමේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ වනවාසික තිස්ස මහරහතන් වහන්සේ ගැන සඳහන් උදාර වූ ජීවන චරිතය විස්තර කරන ගාථාව ධර්ම සංගායනා කළ මහරහතන් වහන්සේලා බාල වර්ගයට ඇතුළත් කළේ මෙහි ඇති වැදගත් කරුණක් නිසයි. ඒ කියන්නේ පවිටු, අසත්පුරුෂ, බාලයා ලාභ සත්කාරවලට ඇලෙනවා. සම්මාන හොය හොය යනවා. ප්‍රධානත්වය, වැඳුම් පිදුම් ලබාගන්න අධාර්මික ක්‍රියාවල යෙදෙනවා. එතකොට දන්නෙම නැතුව අමුතුම මාර්ගයක යනවා. ඒ තුළින් පව් රැස්කර ගන්නවා. ධර්මයේ හැසිරෙන කෙනාටත් ගරහනවා. ධර්මයටත් ගරහනවා. භාවනාවටත් ගරහනවා. නිවනටත් ගරහනවා. චතුරාර්ය සත්‍යයටත් ගරහනවා. වෙන කෙනෙක් රකින සීලයටත් ගරහනවා. දහස් ගණනක් එකතු වෙලා සිල් රැක්කොත් ඒකටත් ගරහනවා. දහස් ගණනක් එකතු වෙලා වන්දනා කළොත් ඒකටත් ගරහනවා. අසත්පුරුෂයාගේ මාර්ගය ලාභ සත්කාර ගැන සිතමින් සිටීම විතරයි. ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද කියලා සිතමින් සිටීම විතරයි. ප්‍රධානත්වයක් ලැබෙන උපක්‍රම සිතමින් සිටීම විතරයි. නායකකමක්, තනතුරක්, නම්බුනාමයක් ගැන හිතමින් සිටීම විතරයි. එතකොට ඒ හේතුවෙන් අසත්පුරුෂයා දුගතියේ තමයි නතර වෙන්නේ.

සත්පුරුෂයා නිවනට යන මග හඳුනාගෙන ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ ගුණ ධර්ම දියුණු කරගැනීමට මහන්සි ගන්නවා. ලාභ සත්කාරයෙහි නොඇලී ඉන්නවා. හුදෙකලා විවේකයට ආසා කරනවා. සසරෙන් එතෙරවීමට වුවමනා ගුණධර්ම දියුණුකරන කෙනෙක් වෙනවා. එබඳු භික්ෂූන් වහන්සේලාගෙන් තමයි බුදු සසුන බබලන්නේ.

සැදැහැවතුන්ගේ සිත් සතන්
දහම් රසයෙන් සනසනු පිණිස ලියන ලද
“අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය”
පස් වෙනි කොටස වන බාල වර්ගය නිමා විය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 5-16. වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here