5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව

0
2


“තමන් කළ දේ ගැන හිතට ගන්න එපා!”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉන්නවා තමන් ගැන පහදිනවාට විතරයි කැමති. තමන්ගේ දායකයින් තමන්ට සළකනවාට විතරයි කැමැති. වෙනත් භික්ෂූන් වහන්සේලාට සළකනවාට කැමැති නෑ. ඊර්ෂ්‍යයයි. එතකොට දායකයින්ට බනිනවා. බුද්ධ කාලයේත් එවැනි පිරිහුණු භික්ෂූන් හිටියා. එබඳු භික්ෂුවක් ගැනයි මේ කථාවෙන් සඳහන් වෙන්නේ.

ඉස්සර මච්ඡිකාසණ්ඩ කියා නගරයක් තිබුණා. මේ නගරයේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් එක නමක් වන මහානාම තෙරුන් වහන්සේ පිඬු සිඟා වැඩියා. එතකොට ඒ ගමේ හිටපු චිත්ත නම් පින්වතෙක් බොහොම පැහැදුණා. පැහැදිලා තමන්ගේ නිවසට වඩම්මවලා දන් දුන්නා. බණ ඇසුවා. ඒ ධර්මය අහලා මේ චිත්ත ගෘහපතියා සෝවාන් වුණා.

ඊට පස්සේ ඔහු මෙහෙම හිතුවා.

‘මගේ ලොකු උද්‍යානයක් තියෙනවා. ඒක අපූරු වනාන්තරයක්. ඒ අම්බාටක වනය අපේ ස්වාමීන් වහන්සේලාට බණ භාවනා කරගෙන ඉන්න කදිමයි. මං මේකෙ කුටි හදලා සංඝයාට පූජා කරන්න ඕන’ කියලා චිත්ත ගෘහපතිතුමා අම්බාටක වනයේ කුටි හදලා, දාන ශාලා හදලා, වැසිකිලි කැසිකිලි හදලා, සක්මන් මළු හදලා සංඝයාට අතපැන් වත්කොට පූජා කළා. ඒ පූජාව කරන වේලෙහි මහපොළොව ගිගුම් දුන්නා.

මේ චිත්ත ගෘහපතියා හරි දක්ෂයි. භාවනාත් කරනවා. ධර්මයත් ඉගෙන ගන්නවා. සංඝෝපස්ථානත් කරනවා. ධර්මය දේශනාත් කරනවා. ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. ඉතාම යහපත් ගිහි ශ්‍රාවකයෙක්.

චිත්ත ගෘහපතියාගේ මේ යහපත් ගතිගුණ ගැන භික්ෂූන් වහන්සේලා අතර ලොකු පැහැදීමක් ඇතිවුණා. කොටින්ම අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත, මොග්ගල්ලාන රහතන් වහන්සේලාටත් මච්ඡිකාසණ්ඩයට එන්නට කැමැත්තක් ඇතිවුණා.

ඔය කාලයේ ඒ මච්ඡිකාසණ්ඩයේ අම්බාටක වනයේ සුධම්ම කියල තෙරුන් වහන්සේ නමක් නේවාසිකව හිටියා. කාලයක් එකම තැන හිටපු නිසා ඒ භික්ෂුව හිතුවේ එයාට තමයි හැමෝම සලකන්න ඕන කියලා. එකම තැන සිටීමෙන් පරණ වීම හේතු කොට වැඳුම් පිදුම් ලැබීමට වඩාත් සුදුසු එයා කියලයි හිතාගෙන හිටියේ.

ඉතින් චිත්ත ගෘහපතියාට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවා කියල අහන්න ලැබුණා. අඩ යොදුනක් දුරට පෙර ගමන් ගිය මේ චිත්ත ගෘහපතිතුමා ඉතාමත්ම ගෞරවාදරයෙන් උන්වහන්සේලාව වඩම්මාගෙන ආවා.

“අනේ ස්වාමීනී, සාරිපුත්‍රයන් වහන්ස, බණ ටිකක් අහන්න මං හරි කැමතියි.”

“පින්වත් උපාසකය, සෑහෙන දුරක් මේ ගමනට වඩින්න සිද්ධ වුණා නෙව. එනිසා ටිකක් මහන්සියි. නමුත් ඔබේ ශ්‍රද්ධාව නිසා මං බණ ටිකක් කියන්නම්” කියල සැරියුත් මහරහතන් වහන්සේ ඔහුට ස්කන්ධ, ධාතු, ආයතන ගැන විදර්ශනා භාවනාවෙන් යුතු ගැඹුරු ධර්මයක් කිව්වා. ඒ ධර්මය අසද්දී චිත්ත ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත්වුණා.

ඊට පස්සේ ඔහු මහත් ශ්‍රද්ධාවෙන් යුතුව අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රධාන දහසක් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ නිවසට දානය පිණිස වඩින්නට ආරාධනා කළා. ඒ නේවාසිකව සිටින සුධම්ම තෙරුන්ටත් ආරාධනා කළා. නමුත් සුධම්ම තෙරුන්ට ඒක හිතට ඇල්ලුවේ නෑ. ඒ නිසා ඒ ඇරයුම පිළිගත්තෙ නෑ.

“එම්බා උපාසකය, ඔහේට ඕන ඕන හැටියට කරන ආරාධනාවල් පිළිගන්න අපි ලෑස්ති නෑ. මං මේ ස්ථානයට ඇවිල්ලා අවුරුදු ගණනාවක් වුණා. මාව ප්‍රධාන කරගෙනයි මේව කළ යුත්තේ. ඔහේ අමුතුම තාලෙකට වැඩකරන්නයි යන්නෙ” කියලා ඇරයුම ප්‍රතික්ෂේප කළා.

චිත්ත ගෘහපතිතුමා නැවත නැවතත් ආරාධනා කළා. මොහු නැවත නැවතත් ප්‍රතික්ෂේප කළා. උපාසකතුමා නිවසට ගිහින් දහස් නමක් උදෙසා දන් පැන් පිළියෙල කළා. එදා රෑ සුධම්ම තෙරුන්ට නින්දක් නෑ. තරහෙන් පුපුර පුපුර හිටියා.

“හොඳයිකො. මේ ගෘහපතියා අග්‍රශ්‍රාවකයන්ට සලකන හැටි බලාගන්න බැරියැ. හෙට දන් පොළට ගිහින් ම යි බලන්න තියෙන්නෙ” කියල නොනිදා පහන් කළා.

පහුවදා උදේම පා සිවුරු ගෙන මේ භික්ෂුව චිත්ත ගෘහපතියාගේ ගෙදරට වැඩියා. එතකොට ගෘහපතිතුමා

“පින්වත් ස්වාමීනී, වැඩඉන්න” කියලා ආසනයක් පිළියෙල කළා.

“නෑ…. නෑ…. මට වාඩිවෙන්න අවශ්‍යතාවයක් නෑ. මං මේ පිණ්ඩපාතෙ යන ගමන් ආවෙ. කෝ බලන්න ඔහේ දන්පැන් පිළියෙල කරල තියෙන හැටි. එම්බා උපාසකය, සෑහෙන්න ගරුසරු ඇතුව සංඝයාට දන්පැන් පිළියෙල කරල නෙව. හැබැයි ඒ වුණාට මට නම් ලොකු අඩුපහඩුවක් පේනවා.”

“ස්වාමීනී, ඒ මොකක්ද?”

“ඇයි උපාසකය, තල කැරැලි නැහැ නෙව” කියල සැරෙන් කිව්වා.

“ඒ වගේම මං මේ කියල යන්නයි ආවෙ. ඔහේලගෙ ආරණ්‍ය ඔහේල තියාගන්න එකයි ඇත්තෙ. මං යනව යන්න. හැබැයි තව එකක් ඔහේට කියන්න තියෙනවා. කපුටා වගේ වැඩකරලා බෑ” කියල මේ භික්ෂුව කෙලින්ම සැවැත් නුවර ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය සැළකළා.

“එම්බා භික්ෂුව, ඔබමයි වැරදි. ඔබේමයි වැරැද්ද. ශ්‍රද්ධාවෙන් පහන් සිතින් යුතු ඒ පින්වත් උපාසකයාට ගැරහුවේ ඔබමයි. ඒ නිසා ඔබ ආපහු මච්ඡිකාසණ්ඩ අම්බාටක වනයටම යන්න ඕන. ගිහින් චිත්ත ගෘහපති මුණගැහෙන්න ඕන. මුණගැහිලා මෙහෙම කියන්න ඕන. ‘පින්වත් ගෘහපතිය, මෙහි වරද මගේමයි. එනිසා මට සමාවනු මැනැව’ කියල.”

එතකොට ඒ සුධම්ම භික්ෂුව, ආපහු ගියා. නමුත් “නෑ මං සමාව ගන්නෙ නෑ” කියල ප්‍රතික්ෂේප කරලා සමාව නොගෙන හිටියා.

නැවතත් ශාස්තෘන් වහන්සේ ළඟට යන්නට සිදුවුණා. එතකොට බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා. ‘මේ භික්ෂුව මාන්නයෙන් ඉදිමිලයි ඉන්නෙ. ඒ නිසා ආපහු මේ තිස් යොදුනම යවන්න ඕන කියල මෙහෙම වදාළා.

“පින්වත් භික්ෂුව, මෙන්න මේ භික්ෂුවත් සමඟ යන්න ගිහින් උපාසකතුමාව සමාකරගන්න. පැවිදි වූ භික්ෂූන් වහන්සේලා විසින් මේක මගේ පන්සල, මේක මං හදපු එක. මේ මං ඉන්න තැන. මේ මගේ දායකයා. මේ මගේ දායිකාව කියලා අයිතිවාසිකම් හදාගන්න හොඳ නෑ. මාන්නයක් ඊර්ෂ්‍යාවක් ඇතිකරගන්න හොඳ නෑ” කියලා මේ ගාථාවන් වදාළා.

අසතං භාවනමිච්ඡෙය්‍ය – පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු
ආවාසේසු ච ඉස්සරියං – පූජා පරකුලේසු ච

නුවණින් නොවසන සමණා – සඟ මැද පෙරටුව වැඩ හිඳ
ගරු සැළකිලි ලබාගන්ට – නිතර ආස කරන්නේය
තම තමන්ගෙ ආවාසේ – ලැබෙනා පුද පූජාවල
අධිපති වී වැජඹෙන්නට – සිතමින් කල් ගෙවන්නේය

මමේව කතං මඤ්ඤන්තූ – ගිහී පබ්බජිතා උභෝ
මමේව අතිවසා අස්සු – කිච්චාකිච්චේසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පෝ – ඉච්ඡා මානෝ ච වඩ්ඪති

ගිහී පැවිදි හැම කෙනෙක්ම – මා කවුදැයි දත යුතුමයි
මේ වෙහෙරේ හැම වැඩක්ම – මගේ අතින් විය යුතුමයි
ඒ වාගෙම සැම දෙයක්ම – මට පවසා කළ යුතුමයි
මේ අයුරින් සිතන කෙනා – පවිටු බාල සිතුවිලි මැද
ආසාවත් මාන්නයත් – වැඩිකරගන්නේය සිතේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, අර සුධම්ම භික්ෂුවට ඇති වූ මාන්නය නිසා මොනතරම් අවාසියක් සිදුවුණාද? අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා වැඩියා. බණ පදයක් ඇහුවේ නෑ. භාවනා ගැටළුවක් ඇහුවේ නෑ. අඩු ගණනේ ආගන්තුක උපස්ථානයක්වත් කළේ නෑ. ඉරිසියාවෙන් පුපුර පුපුර හිටියා.

ඒ වගේම තමන්ට දන් පැන් දෙන දායකයන්ගේ ශ්‍රද්ධාව හඳුනාගත්තේ නෑ. ඔවුන්ගේ සිල්ගුණ හඳුනාගත්තේ නෑ. ඔවුන් ධර්මයේ හැසිරෙන හැටි තේරුම් ගත්තේ නෑ. දායකයන්ගේ ගුණය දැක්කේ නුගුණයක් හැටියටයි. බණ භාවනා කළත් බනිනවා. එබඳු පිරිහුණු භික්ෂූන් ඇසුරු කිරීමෙන් කෙනෙකුට කිසිම යහපතක් වෙන්නෙ නෑ. තමන්ගෙ යහපත් ගතිගුණ ටිකක් ඇත්නම් ඒකත් පිරිහෙනවා.

මේ නිසා යහපත් ගතිගුණ දියුණු කරන්න උපකාරී වන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි නිහතමානීකම. ඒ වගේම තමන් කරන දේවල් හිතෙන් අල්ලා නොගෙන සිටීම. ඒ ගැන හිත හිතා එයට අධිපති වෙන්නට ආසා නොකිරීම. සුධම්ම භික්ෂුව අමාරුවේ වැටුණේ අධිපතිභාවයට තිබුන ආසාව නිසාමයි.

අතිදුර්ලභ වූ බුදු සසුනක මහණ වෙන්නත් ලැබිලා, ජීවමාන ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන්නත් ලැබිලා, අග්‍රශ්‍රාවක වූ මහරහතන් වහන්සේලා ඇසුරු කරන්නත් ලැබිලා, මාර්ග-ඵලලාභී ගිහි ශ්‍රාවකයින්ගේ ඇප උපස්ථානත් ලැබිලා, ඒ තුළින් තමන්ට ඇතිවුණේ මාන්නයයි, ඊර්ෂ්‍යාවයි, එකට එක කිරීමයි විතරක් නම් එය මොන තරම් අවාසනාවක්ද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 5-14,15. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here