5-1. එක්තරා පුරුෂයෙකුගේ කථා වස්තුව – Sri News

0
13

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔයාලා දන්නවා බුද්ධකාලේ දඹදිව තිබුණා විශාල ජනපද. එ් කියන්නේ විශාල ප‍්‍රදේශ. කොසොල් ජනපදය කියන්නේ එයින් එකක්. කොසොල් ජනපදය හරි විශාලයි. එහේ නායකයා තමයි පසේනදී කොසොල් රජතුමා. මේ රජතුමා මුල් කාලෙදී බුදුරජාණන් වහන්සේට එතරම් හිතවත්ව සිටියේ නෑ. නමුත් පස්සෙ කාලෙ ඉතාමත්ම හිතවත් වුණා. ලැදිවුණා.

බුදුරජාණන් වහන්සේ පවා කොසොල් රජ්ජුරුවන් කෙරෙහි අනුකම්පාවෙන් නොයෙක් අවස්ථාවන්වලදී ධර්මය කියා දීලා තියෙනවා. බිම්බිසාර රජතුමා නම් සෝතාපන්න වුණු බව ඔබ දන්නවා. නමුත් කොසොල් රජතුමාට එවැනි වාසනාවක් උදා වූ බවක් දැනගන්නට නැහැ.

දවසක් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ ගෙන් ගොඩාක් බුද්ධිමත් ප‍්‍රශ්නයක් ඇහුවා. එ් මේකයි.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුගේ සිතෙහි තමන්ට අයහපත පිණිස, දුක් පිණිස, විපත පිණිස යම් යම් දේවල් ඇතිවෙන්නට පුළුවනි. එ් මොනවාද?”

“පින්වත් මහරජ, කෙනෙකුට අයහපත, දුක, විපත පිණිස තමා තුළ කරුණු තුනක් උපදිනවා. එ් තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙවැනි ධර්මයන් අසන්නට වාසනාව තිබූ කොසොල් රජතුමා තම සිතේ හටගත් ලෝභ සිතුවිලි හේතුවෙන් සෑහෙන්න කරදරේ වැටිලා තියෙනවා. රජකෙනෙක් වුණත්, සාමාන්‍ය කෙනෙක් වුණත් කරන දෙය පවක් නම් එ්කෙන් ලැබෙන්නේ අයහපත් විපාකමයි.

දවසක් කොසොල් රජතුමා වීදි සංචාරය කළා. එ් කියන්නේ තමන්ගේ රාජධානියේ වීදිවල ඇතා පිටේ නැගලා රාජකීය ලීලාවෙන් ගමන් කරනවා. එතකොට මිනිස්සු පාර දෙපැත්තේ රැස්වෙලා රජ්ජුරුවන්ට ස්තුති ප‍්‍රශංසා කරනවා. මල් වීසිකරනවා. රජතුමාත් වටපිට බල බල හිනහ වෙවී යනවා.

ඉතින් එදා ඔය විදිහට රජතුමා වීථි සංචාරය කරද්දී එක්තරා නිවසක සඳළුතලයේ හිටපු දුප්පත් කාන්තාවක් හරි ආසාවෙන් මෙය බලාගෙන හිටියා. අහම්බෙන් වගේ රජතුමාට මේ කාන්තාව දකින්නට ලැබුණා. ඈ හරිම ලස්සනයි. රන්වන් පාටයි. නිල් පාට ඇස් දෙකක් තිබුණේ. ලස්සන කෙස් කළඹක් තිබුණා. කොඳ කැකුළු වැනි දත් පෙළ විදහා හිනහා වුණා. රජ්ජුරුවන්ගේ හිත කැළඹිලා ගියා. රාගය ඇවිස්සුණා. පිස්සු වැටුණා වගේ වුණා. රජ්ජුරුවෝ ඉක්මනින් වීදි සංචාරය අවසන් කළා. මාළිගයට ආවා. ඇවිදින් විශ්වාසවන්ත ඇමතියෙකුට කතා කළා.

“එ්යි යහළුවා, මේ කතාව ආයෙ කටින් පිටකරනවා එහෙම නොවෙයි. නුඹට මතකද වීදි සංචාරය කරද්දී අර පෙරදිග වීදියේ අසවල් තැන උඩු මහලේ එක්තරා ස්ති‍්‍රයක් මං දිහා බලාගෙන හිටියා.”

“දේවයන් වහන්ස, මොකෝ මතක නැත්තේ? එවෙලෙ ඉඳලා තමුන්නාන්සේ වෙනස් වුණා නෙව. තමුන්නාන්සේගේ ඇල්ම බැල්ම කතා බහ හැම දෙයක්ම හිරිවැටිලා ගියා වගේ වුණා නෙව.”

“එ්යි යහළුවා, එ්ක ඇත්ත. මං පිස්සු වැටුණා. හැබෑටම ඔය ස්ත‍්‍රිය කවුද?”

“දේවයන් වහන්ස, ඇය කන්‍යාවක් නොවෙයි. ඇය ගැහැණියක්. ඇයට ස්වාමියෙක් ඉන්නවා. බොහොම දුප්පත් පවුලක්. කරදරයක් නැතුව පාඩුවේ ඉන්න පිරිසක්.”

එතකොට රජතුමා කල්පනාවට වැටුණා.

“ම්…. ම්… එහෙමද? එහෙමනම් එ්කි බැඳපු එකියක් ඈ…. ඒකට මොකෝ? මං තමයි මේ රටේ රජා. මගේ ආනුභාවයට සියලු දෙනා යටත් විය යුතුයි. නමුත් ස්වාමියා ඉන්දැද්දී මෙයාව ගෙන්නගන්න එක හරි නෑ. කණවැන්දුම් කරවන්නට ඕන. ස්වාමියාව මරවලා දමන්නට ඕන. එතකොට මාළිගාවට ගෙන්න ගන්න එක සුළු දෙයක්.”

රජතුමා අර ස්වාමියාට පණිවිඩයක් යැව්වා. එ් ස්වාමියා බියෙන් බියෙන් රජු ඉදිරියට ආවා.

“එම්බා පුරුෂය, නුඹට මහා සතුටකට කාරණාවක් තියෙනවා. නුඹේ වාසනාව මතුවුණා. මං අද ඉඳලා රජවාසලේ සේවයට නුඹව කැඳවගන්නවා.”

“අනේ දේවයන් වහන්ස, ගැත්තාට අනුකම්පා කරන සේක්වා! මං බොහොම අහිංසකව නිදහසේ කුලී වැඩ කරලා ජීවත් වෙන කෙනෙක්. ඔබවහන්සේට යම් බදු ගෙවීමක් කරන්නට තියෙනවා නම් මං එ් සෑම දෙයක්ම ඉෂ්ට කරන්නම්. ඔබවහන්සේගේ අනුකම්පාවෙන් මගේ පරණ රස්සාව කරගෙන යන්න අවසර දෙන සේක්වා!”

“නැත…. නැත…. පුරුෂය, මට නුඹගෙන් කිසි බදු අයකිරීමක් අවශ්‍ය නැත. නුඹේ යහපත්කම ගැනයි මං පැහැදුණේ. එ් නිසා නුඹ ඔය කුලී වැඩ කළ යුතු නෑ. හොඳයි! හෙට ඉඳලා රාජකාරියට වරෙන්.”

දැන් අර පුද්ගලයා ඉතාමත්ම භක්තිමත්ව රජවාසලට සේවය පිණිස යනවා. ටික දවසකින් රජතුමා අර තැනැත්තා ඇමතුවා.

“එම්බා පුරුෂය, මට හදිසියේම කඩුපුල් මලුයි ලා සුදු පැහැයේ අරුණුවන් මැටියි අවශ්‍ය වෙලා තියෙනවා. හවසට මං නාන වෙලාවට එ්වා අරගෙන එන්න ඕන. දැන්මම පිටත්විය යුතුයි. මෙයින් යොදුනක් දුරින් තමයි එ්වා තියෙන්නේ. හැබැයි නාවොත් වැඩ වරදියි!”

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here