4-6. මච්ඡරිය කෝසිය සිටාණන්ගේ කථා වස්තුව

0
11


පින්වතුනේ, පින්වත් දරුවනේ,

මෙයත් හරි අපූරු කථාවක්. ලෝභ මිනිසුන් තමන්ගේ ලෝභකම නිසාම දුක් විඳිනවා. නමුත් ඔවුන් දුක් විඳින බව ඔවුන්ට තේරෙන්නෙ නෑ. එ් තරම්ම ලෝභකම විසින් ඔවුන්ගේ ජීවිත යටකරගෙන තියෙනවා. අද විතරක් නොවෙයි, බුද්ධ කාලයේත් ලෝභ මිනිස්සු ඕන තරම් හිටියා. දැන් අපි මේ කතා කරන්නෙ එවැනි ලෝභ කෙනෙක් ගැනයි.

රජගහ නුවර ආසන්නයේ සක්කාර නමින් සෑහෙන ලොකු ගමක් තිබුණා. මේ ගමෙහි අසූ කෝටියක ධන සම්පත් පිරුණු සිටුවරයෙක් හිටියා. මොහුගේ නම කෝසිය. අධික මසුරුකම නිසා මොහුට කිව්වේ ‘මච්ඡරිය කෝසිය’ කියලයි. එ් කියන්නේ ‘මසුරු කෝසිය’ කියලයි. මේ පුද්ගලයා සතු ධනයෙන් ස්වල්පයක් වත් අනුන්ට දෙන්නෙ නෑ. කොටින්ම තණ කොළයක අග තැවරුණ තෙල් බින්දුවක ප‍්‍රමාණයක් වත් අනුන්ට දෙන්නේ නෑ. තමන් කන්නෙ බොන්නෙත් නෑ. අඹු දරුවන්ට වියදම් කිරීමකුත් නෑ. සිල්වතුන්, ගුණවතුන්ට දීමකුත් නෑ. ඔහුගේ සම්පත් රකුසෙක් අරක් ගත්තු විලක් වගෙයි.

දිනක් බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝක සත්වයා දෙස බැලුවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා බුදු නෙතට මේ මසුරු කෝසිය සිටාණන්ව පෙනුණා. මොහු මසුරු බව හැබෑව. මහ ලෝබ කුණා බව හැබෑව. නමුත් සෝවාන් ඵලයට පත්වෙන්නට තරම් උදාර පිනකුත් මොහුට තියෙනවා. එ් නිසා සතර අපායේ වැටෙන සසරින් මේ තැනැත්තාව ගොඩ දමන්නට ඕන කියා මහා කරුණා අදහසක් එ් බුදු සිතේ පැන නැංගා. ඔහුට ධර්මාවබෝධයට සුදුසු අවස්ථාව බුදුරජාණන් වහන්සේ දුටුවා.

එදා උදේ වරුවේ මසුරු කෝසිය බිම්බිසාර රජතුමාගේ රාජ සේවයට ගියා. ගිහින් ආපසු එන අතරේ ඉතාමත් බඩගින්නේ පෙළෙන දුගී මිනිසෙකු දුටුවා. ඔහු මහා ගිජුකමින් කැවුමක් කකා හිටියා. මසුරු කෝසිය සිටාණන් නැවතුණා. හොඳට බැලුවා. අර දුගියා කැවුම කද්දී සිටුතුමාගේ කටට කෙළ ඉනුවා. කැවුම් කන්නට පුදුමාකාර ආසාවක් ඇතිවුණා.

‘අනේ… එ්ත් මං කොහොමද කැවුම් කන්නේ..? මං කැවුම් කන්ට ගියොත් බොහෝ දෙනෙක් කැවුම් කන්නට වටවේවි. එතකොට හාල්, ගිතෙල්, පැණි, තෙල් සෑහෙන වියදම් වේවි. හපොයි…! හපොයි…! එහෙම කරන්න බැහැ’ කියල හිත ඇතුලේ කැවුම් කෑමේ ආසාව තියාගෙන කෙළ ගිල ගිල සිටු මාළිගාවට ගියා.

අලු යට ගින්නක් වගේ මෙයාගෙ හිතේ මතු වෙවී එන්නේ කැවුම් කෑමේ ආසාවමයි. අර දුගී මනුස්සයා රස කර කර කැවුම් කාපු හැටි මතක් වෙනවා. මේ ගැනම සිතමින් සිටිද්දී මොහු මැලවිලා ගියා. මුහුණ විරූපී වුණා. ඇඟපත අප‍්‍රාණික වුනා. හුස්ම ගන්නත් අමාරු වුණා. කෙලින්ම ඇඳට ගිහින් ඇද වැටුණා. කවුරුන් සමඟ වත් කතා බස් කළේ නැහැ.

සිටුතුමාගේ බිරිඳට විශාල දුකක් ඇතිවුණා. තමන්ගේ ස්වාමියාට වුණේ මොකක්ද කියා ඇයට තේරුම් ගන්නට බැහැ. ඇය සිටුතුමා ළඟට ගිහින් පිට අතගාමින් ආදරයෙන් කතා කළා.

“අනේ ස්වාමීනී, මොකක්ද මේ ඔයාට වුණේ?”

“නෑ…. මට මොකුත් වුණේ නෑ.”

“ඇයි එහෙම කියන්නේ..? ඔයා හරි අමුතුයි. මහා දුකෙන් වගෙයි ඉන්නෙ. මූණ කට වේලිලා ගිහින්. රජ්ජුරුවන් වහන්සේ කිපුණා වත්ද?”

“නෑ… එහෙම දෙයක් වුණේ නෑ.”

“එහෙම දෙයක් වුනේ නැත්නම්, දූදරුවන් ගෙන්, දැසි දස්සන් ගෙන් ඔයාට යම්කිසි වරදක් වුණාද?”

“නෑ… එහෙම දෙයක් වුණෙත් නෑ.”

“එහෙනම්…? ඔයාට යම් කිසි ආසාවක් ඇතිවුණා ද?”

එතකොට සිටුතුමා නිශ්ශබ්ද වුණා. උත්තරයක් දුන්නෙ නෑ. සිටු බිරිඳ මෙහෙම කිව්වා.

“අනේ ස්වාමීනී, ආසාවක් තියෙනවා නම් කියන්න. මං හැකි සෑම ආකාරයකින් ම එ් ආසාව ඉෂ්ට කරන්නම්.”
එතකොට සිටුතුමා මළානික ඇස් දෙකෙන් බිරිඳ දෙස බැලුවා. නිශ්ශබ්දව ටිකක් වෙලා හිටියා. කෙඳිරි ගගා කිව්වා,

“ඔව්…. මට…. මට…. එක්තරා …. ඉතාමත්…. ඉතාමත්….. ආසාවක්…. තියෙනවා…..”

“ඉතින් ස්වාමීනී, කියන්න මොකක්ද එ් ආසාව?”

“ම්…. ම්…. මං කොහොමද එ්ක කියන්නේ…..?”

“අනේ ස්වාමීනී, කියන්න….”

එතකොට සිටුතුමා අමාරුවෙන් වගේ මෙහෙම කිව්වා.

“මට හිතේ තියෙනවා ලොකූ ආසාවක්…. මං ආසයි…. ඔව්…. මං ආසයි…. කැවුමක් කන්න.”

සිටු බිරිඳ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා.

“අනේ ස්වාමීනී, ඕක ඉතින් සුළු දෙයක් නෙ. ඔබතුමා දිළින්දෙක්ද? අපි මේ මුළු ගම්මානයටම සෑහෙන්න කැවුම් හදමු.”

“ඈ…. මොකක්….? ගම්මානෙටම….? එවුන්ට ඕන නම් කැවුම් හදාගෙන කාපුවාවෙ.”

“එහෙමනම් ස්වාමීනී, අපි මේ වීදියේ සිටින සියලු දෙනාට සෑහෙන්න කැවුම් හදමු.”

“ඇති…. ඇති…. මං දන්නවා ඔහේට බොහොම සල්ලි තියෙනවා කියල.”

“එහෙම නම් ස්වාමීනී, අපේ අවට ගෙවල්වලට සෑහෙන්න කැවුම් හදමු.”

“හා…. හා…. එ් තරම්ම වියදම් කරන්න ලෑස්තිද ඔහේ…?”

“එහෙනම් ස්වාමීනී, අපේ දරුවන්ට සෑහෙන්න කැවුම් හදමු.”

“මේ කැවුමකට දරුවන්ව පටලවාගන්නෙ අසවල් දේකටද?”

“එහෙම නම් ස්වාමීනී, අපි දෙන්නට කැවුම් හදමු.”

“ඔහේට කැවුම් වලින් වැඩක් නැහැ. ඔහේට මොකටද?”

“එහෙනම් ස්වාමීනී, ඔබතුමාට විතරක් කැවුමක් හදන්නම්.”

“අන්න හොඳයි. බොහොම අගෙයි. හැබැයි සොඳුරී, වැඩේ ලේසි නෑ. මෙහිදිම කැවුම් හැදුවොත් බොහෝ දෙනෙක් වටවේවි!”

ඉතින් සිටුතුමා අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්න පටන් ගත්තා. එකපාරටම උඩ පැනල හිනහ වෙලා අත්පුඩියක් ගහලා මෙහෙම කිව්වා.

“හරි… මට ක‍්‍රමයක් අහුවුණා. කැවුමට වුවමනා කරන ජාති ටික ලෑස්ති කරන්න. සුණු සහල් තිබුණාම ඇති. පැන් ටිකත්, ගිතෙල් ටිකත්, තෙල් ටිකත් අරගෙන උඩතට්ටුවට යං. එහිදි නිවිහැනහිල්ලේ කැවුම් කන්න පුළුවන්.”

සිටුතුමාත්, සිටු දේවියත් කැවුම්වලට වුවමනා ද්‍රව්‍ය පිළියෙල කරගෙන උඩ තට්ටුවට නගින්න පිටත් වුනා. යට මහලේ ඉඳලාම දොරවල් වසමින් සිටුතුමා උඩු මහලට ඇවිදින් සැනසුම් සුසුම් හෙලුවා.

“හප්පේ…. යන්තම් ඇති. නිදහසේ කැවුමක් කන්න දැනුයි පිළිවෙලක් වුණේ.”

බුදුරජාණන් වහන්සේ එදා වැඩසිටියේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ. ඉතින් උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අමතා මෙය වදාළා.

“පින්වත් මොග්ගල්ලාන, අද රජගහ නුවර සක්කාර කියන ගමේ මච්ඡරිය කෝසිය සිටුතුමා කැවුම් කන්නට ආසාවෙන් සත්වෙනි උඩුමහල් තලයේ ඉන්නවා. අනිත් අයට කැවුම් දෙන්නට වෙයි කියන භයෙන් තමයි උඩු මහලට නැග්ගේ. ඔබ ගිහින් ඔහුව දමනය කරන්න. ඍද්ධි බලයෙන් එ් දෙදෙනාව සැවැත් නුවරට කැඳවාගෙන එන්න. අද මමත්, මේ පන්සීයක් භික්ෂූන් වහන්සේලාත්, එ් දෙදෙනා පූජා කරන කැවුම් වලින් තමයි දානය පිරිමසා ගන්නේ.”

මච්ඡරිය කෝසිය සිටුතුමා තම බිරිඳ කැවුමට පිටි සූදානම් කරන හැටි මහා ආසාවෙන් බලා සිටියා. තාච්චිය ලිප තබා තෙල් රත්වන විට එ් ආසන්නයේ ඇති ජනේලයෙන් අමුත්තෙක් පෙනුණා. සිටුතුමාගේ දෑස් උඩ ගියා. පපුව ගැහෙන්න ගත්තා. ඇඟ වෙව්ලුවා.

“හපොයි…. මේ වගේ උදවියගේ දැක්මට භයෙන්මයි මං මෙතනට ආවෙ. මේ භික්ෂූන් වහන්සේලාගෙන් බේරෙන්නට බැහැ නෙව. අහසෙන්ම ඇවිල්ලා ඉන්නවා.”

අහස් තලයේ වැඩසිටි මුගලන් මහරහතන් වහන්සේ දුටු සිටුතුමා තොල කට වෙව්ල වෙව්ල මෙහෙම කිව්වා.
“එම්බා ශ‍්‍රමණය, අහසේ වැඩහිඳ ඔය මොකද කරන්නේ? ඔහොම නොවෙයි, අහසේ පියවර තබ තබා සක්මන් කළත්, කැවුම් ලැබෙයි කියලද හිතන්නේ?”

එතකොට මුගලන් මහරහතන් වහන්සේ අහසේ සක්මන් කළා.

“ආහා…. සක්මන් කළේ මොකුත් ලැබෙයි කියලද? මේ ඇහුණද? ඔහොම නොවෙයි පළඟක් බැඳගෙන වාඩි වුනත් කැවුම් ලැබෙන්නෙ නෑ ඕං…”

එතකොට මුගලන් මහරහතන් වහන්සේ පළඟක් බැඳගෙන වාඩිවුණා.

“එහෙමද? එතකොට පළඟකුත් බැඳගත්තා නෙව. තමුන්නාන්සෙට වැරදීමක්. ඔහොම නෙවෙයි ජනෙල් කවුළුව ගාවට ඇවිදින් සිටගත්තත් කැවුම් නෑ ඔන්න….”

එතකොට මුගලන් මහරහතන් වහන්සේ ජනෙල් කවුළුව ළඟ සිටගත්තා.

“සිටගත්තට වැඩක් නෑ. මුළු ශරීරයෙන් දුම් පිටකළත් කැවුම් නෑ ඕං….”

එතකොට මුගලන් මහරහතන් වහන්සේ සිරුරින් දුම් පිටකළා. එ් දුමින් උඩුමහල් තලය වැසී ගියා. සිටුතුමාගේ ඇස්වලට හරි අමාරුයි. ඇස් කුඩා කරගෙන කේන්තියෙන් බලා සිටියා. ‘ඔහොම නෙවෙයි, ගිනි ඇවිලිලා ගියත් කැවුම් නෑ ඔන්න…’ කියල කියන්න හිතුනත් මාළිගයට අනතුරක් වෙයි කියල හිතල එහෙම කිව්වෙ නෑ.

‘මේ ශ‍්‍රමණයා මහා කෑදරයෙක්. කැවුම් ලබාගෙන මිසක් යන පාටක් නෑ. ඉක්මනට කැවුමක් දීලා පිටත් කරන්නට ඕන’ කියා සිතා බිරිඳට මෙහෙම කිව්වා.

“සොඳුරියේ, චූටියට කැවුමක් හදාපන්. මේ ශ‍්‍රමණයාව ඉක්මනට පිටත් කරපන්.”

ඉතින් බිරිඳ පිටි ස්වල්පයක් තෙලට දැම්මා. හරි පුදුමයි! තාච්චිය පුරාවට ලොකු කැවුමක් හැදුණා. සිටුතුමාට හරි කේන්තියි.

“ඔහේට තේරෙන්නෙ නැද්ද? ඔහොම පිටි දාන සිරිතක් තියෙනවාද? ඔය කැවුම අයින් කරපන්. හැන්ද මට දීපන්.”

ඉතින් සිටුතුමා තමන්ගේ අතින්ම ඉතාම ස්වල්පයක් පිටි ගෙන තාච්චියට දැම්මා. කලින් කැවුමටත් වඩා විශාල කැවුමක් හැදුණා. එ් කැවුමත් අයින් කරලා තව පිටි ස්වල්පයක් දැම්මා. හදන හදන කැවුම විශාලයි. අන්තිමේදී සිටුතුමා බිරිඳට මෙහෙම කිව්වා.

“කරන්න දෙයක් නැහැ. ඔය කැවුම් වලින් එකක් දීලා පිටත් කරන්න.”

ඇය කැවුමක් ගනිද්දී සියලුම කැවුම් එකට ඇලුණා.

“ස්වාමීනී, හරි වැඩේ… ඔක්කොම කැවුම් එකට ඇලුණා නෙව. අයින් කරන්න බැහැනෙ.”

“බැරි වෙන්නෙ කොහොමද? මෙහෙ දීපන්. මං ඕක අයින් කරන්නම්”

ඔහුටත් කැවුම් වෙන් කරන්නට බැරුව ගියා. දෙන්න දෙපැත්තට කැවුම් ඇද්දා. සිටුතුමාට හොඳටම මහන්සියි. ඇඟෙන් දහඩිය දැම්මා. පිපාසය ඇතිවුණා. බිරිඳට මෙහෙම කිව්වා.

“අනේ…. බිරින්ඳේ, මට කැවුම් වලින් කම් නැතේ….! මේ ඔක්කොම කැවුම් පූජා කරපන්.”

ඇය සියලුම කැවුම් මුගලන් මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ මේ දෙදෙනාට ධර්මය දේශනා කළා. පින් පව්වල විපාක පෙන්වා දුන්නා. දන් දීමේ අනුසස් පෙන්වා දුන්නා. දෙදෙනාගේම සිත පැහැදුණා. සිටුතුමාට හරි සතුටුයි. සිටුතුමා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

“අනේ ස්වාමීනී, දීමේ අනුසස් මං කළින් දැනගෙන හිටියේ නැහැ. මං සතුටු වුණේ ලෝභකමින් විතරයි. නමුත් දැන් මට දීමේ වටිනාකම තේරෙනවා. ස්වාමීනී, මේ ආසනයේ වැඩහිඳ දන් වළඳන සේක්වා!”

“සිටුතුමනි, අපගේ ශාස්තෘන් වහන්සේ පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැවුම් වළඳින්නට සූදානමින් සිටිනවා. එ් නිසා මේ කැවුම් මා ඔබ අතට දෙන්නම්. ඔබේ අතින්ම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට පූජා කරන්න.”

“ස්වාමීනී, එ්ක හරි පුදුම කතාවක් නෙ. අපි මේ ඉන්නෙ හත්වෙනි තට්ටුවේනෙ. මෙතන කොහේද බුදුරජාණන් වහන්සේ?”

“සිටුතුමනි, මෙයින් යොදුන් හතළිස් පහක් ඈතින් පිහිටි ජේතවනාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ. අපි එතනට යමු.”

“ස්වාමීනී, එච්චර දුරක් අපි කොහොමද යන්නේ?”

“සිටුතුමනි, එ් ගැන හිතන්න එපා! ඔබට තියෙන්නේ පහත මාලයට බැස එළියට පිය නැගීම විතරයි. එතන දෙව්රම් වෙහෙර තියෙනවා.”

මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධි බලයෙන් එම මාළිගා දොරටුව දෙව්රම් වෙහෙරට රැගෙන ගියා. සිටු යුවළ පහළ මහලට බැස දොර විවර කළ විට දෙව්රම් වෙහෙර දුටුවා.

එ් දෙදෙනාම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු සංඝයාට කැවුම් පූජා කළා. ඍද්ධි බලය නිසා කැවුම් අවසන් වූයේ නැහැ. සංඝයා වැළඳූ පසු එ් දෙදෙනාත් බඩ කට පුරා කැවුම් අනුභව කළා. සියලු දෙනාටම කැවුම් බෙදුවා. එ්ත් අවසන් වෙන්නෙ නැහැ.

“ස්වාමීනී, කැවුම් ඉවර වෙන්නේ නැහැ නෙව.”

එතකොට බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.

“එහෙම නම් සිටුතුමනි, ජේතවන දොරටුව අසළ ඇති වළට දමන්න.”

සිටුතුමා ජේතවන දොරටුව අසළ බෑවුම් වළට ඒ කැවුම් දැම්මා. එතන කැවුම් දැමූවල නමින් කවුරුත් දැන් හඳුන්වනවා. ඉතින් එ් දෙදෙනා බුදුරජාණන් වහන්සේ ගෙන් ධර්මය ඇසුවා. දෙදෙනාම සෝවාන් ඵලයට පත්වුණා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ‍්‍රාවකත්වය ලබාගත් මේ දෙදෙනා ශාස්තෘන් වහන්සේගේ පා කමල් වැඳ යළි තම මාළිගය ඇතුළට පිවිසුණා. රජගහ නුවර සක්කාර ගමේ සිටි තැනටම යළි පැමිණුනා.

එදා සිට මේ සිටුතුමා කිසි ලෝභකමක් නැතුව හැමෝටම උදව් කළා. වැව් පොකුණු තැනුවා. ආරාම හැදුවා. භික්ෂුසංඝයා උදෙසා වෙහෙර විහාරත් හැදුවා. එක දවසක් දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ගැන කතාබස් කරමින් සිටියා.

“ප‍්‍රිය ආයුෂ්මත්නි, බලන්න. මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි. සිටුතුමාගේ ශ‍්‍රද්ධාවටත් හානි නොකොට, ධනයටත් හානි නොකොට මොහොතකින් දමනය කළා නෙව. ජේතවනයටත් රැගෙන ආවා නෙව. ශාස්තෘන් වහන්සේටත් මුණගස්සවලා මාර්ග ඵල අවබෝධයටත් අවස්ථාව සැලැස්සුවා නෙව. මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි.”

මේ විදිහට මුගලන් මහරහතන් වහන්සේගේ ගුණවත්කම කතා කරමින් සිටිද්දී බුදුරජාණන් වහන්සේට මෙය දිව්‍ය ශ‍්‍රවණයෙන් ඇසුණා. එ් නිසා එය අරභයා බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, භික්ෂුවක් කටයුතු කරන්නට ඕන ඔය විදිහටයි. දායකයින්ගේ ශ‍්‍රද්ධාවට හානි කරන්නේ නැතුව ඔවුන්ගේ භෝග සම්පත්වලටත් හානි කරන්නේ නැතුව ඔවුන්ගේ පවුල් පීඩාවට පත්කරන්නෙත් නැතුව කරුණාවෙන් කටයුතු කරන්නට ඕන. මලකින් රොන් ගන්නා බඹරෙක් වගෙයි කටයුතු කළ යුත්තේ. මොග්ගල්ලානයන් කටයුතු කරන්නේ එ් විදිහටයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ එහි අර්ථය ගාථාවකට කැටිකොට ඉතාම මිහිරි ස්වරයෙන් වදාළා.

යථාපි භමරෝ පුප්ඵං – වණ්ණගන්ධං අහේඨයං
පළේති රසමාදාය – එ්වං ගාමේ මුනී චරේ

මිහිරි සුවඳැ’ති සොඳුරු පෙනුමැ’ති – මල කරා එයි පැණි සොයා බඹරා
උරා රොන් රස රැගෙන මල් පැණි – යන්නෙ බඹරා කිසිවිටෙක මල නොතලා
එලෙස මහණෙනි සමණා – ගමෙහි පිඬු සිඟා වඩින්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බඹරා මල් පැණි වලට හරි ආසයි. ඉතින් ඌ ලස්සන මල් සොයා ගෙන යනවා. ගිහින් එ් කිසි මලකට හානි නොකොට, මල නොතලා මල් පැණි ගෙන යනවා. එයින් එ් මලේ සුන්දරත්වයට හානියක් සිදුවෙන්නේ නෑ. බඹරාට පැණිත් ලැබෙනවා. ඉතින් එ් බඹරා මල් පැණි බිඳ බිඳ එකතු කරලයි මී වදයක් හදන්නේ. මුනිවරයාත් ගමේ හැසිරිය යුත්තේ ඒ විදිහටයි. කාටවත් පීඩාවක් නොකොට, කපටිකමකින්, වංචාවකින් තොරව, බලපෑමකින් තොරව තමයි සිව්පසය ලබාගන්නේ. එතකොට ඒ මුනිවරයාගේ හැසිරීම නිසා ගම්වැසියාගේ ශ‍්‍රද්ධාවට හානියක් සිදුවන්නේ නැහැ. භෝග සම්පත්වලට හානියක් සිදුවන්නෙත් නැහැ. ධර්මයේ හැසිරෙන මුනිවරයා තුවාලයකට බෙහෙතක් දමනවා වගේ, කාන්තාරයෙන් එතෙර වෙන කෙනෙකුට ලැබෙන ආහාරයක් වගේ, සිහි නුවණින් යුතුව සිව්පසය පරිහරණය කරලා තම තමන්ගේ බණ භාවනා කටයුතුවල යෙදෙනවා. මාර්ග ඵල උපදවා ගන්නට අවස්ථාව ලබාගන්නවා. රහතන් වහන්සේලා කරන්නේ දන් වළඳා අරහත් ඵල සුවයෙන් වැඩසිටීමයි. 

බුදුරජාණන් වහන්සේගේ සදහම් පදය ඇසූ බොහෝ දෙනෙකුට විශාල යහපතක් සිදුවුණා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 4-6. මච්ඡරිය කෝසිය සිටාණන්ගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here