4-3. මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවගේ කථා වස්තුව

0
5


“ලොකුම දක්ෂකම නුවණින් විමසීමමයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපට ඕනතරම් දේවල් සිතන්න පුළුවන්. එ්කට කවුරුත් බාධා කරන්නෙත් නෑ. කාටවත් පේන්නෙත් නෑ. කාටවත් හොයන්නත් බෑ. එ් නිසා හොඳ වේවා, නරක වේවා ඕන දෙයක් හිතන්න පුළුවන් කියලයි අපට සිතෙන්නේ. එ් වුණාට අප සිතන දේවල් දකින්න පුළුවන් අය මේ ලෝකයේ ඉන්නවා. එ් වගේම සිතන්න ඕන ආකාරය කියා දීමට දක්ෂ අයත් මේ ලෝකයේ ඉන්නවා. එ් වගේම එ් අනුව සිතා යහපත සලසා ගත් අයත් ලෝකයේ ඉන්නවා.

කෙනෙකුට තිබිය යුතු ලොකුම දක්ෂකම නම් නුවණින් විමසීමමයි. නුවණින් විමසීම බාහිර දෙයක් නොවෙයි. තමා තුළ තිබෙන දෙයක්. එ්ක මේ විදිහයි. දැන් චුට්ටක් හිතන්න. අපට ඇසක් තිබෙනවා. එ් වගේම කන්, නාසය, දිව, ශරීරය ආදිය තිබෙනවා. මේවා අපි හඳුන්වන්නේ අපගේ කියල නෙ. එ් වගේම අපි කල්පනා කරනවා, සිතනවා, සිතින් නොයෙකුත් නිර්මාණ කරනවා. මේවා තිබෙන්නේ අප තුළමයි. ඉතින් අප තුළ තිබෙන මේ දේවල් අතර වටිනාම දේ කුමක්ද? එය හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ මෙහෙමයි වදාළේ.

“පින්වත් මහණෙනි, තමා තුළ තිබෙන දේවල් අතර මෙතරම්ම තමාගේ යහපත පිණිස බලපාන යමක් ඇද්ද, පින්වත් මහණෙනි, නුවණින් විමසීම තරම් අන් කිසිම දෙයක් මං බුදු ඇසින් දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, මහත් වූ යහපත පිණිස පවතින්නේ නුවණින් විමසීමමයි.”
(අංගුත්තර නිකාය – ඒකක නිපාතය)

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණින් විමසීමේ දක්ෂතාවය නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වටිනාකම තේරෙන්නෙ නෑ. එතකොට එබඳු අය වටිනා දේ අත්හැරලා නොවටිනා දේ අල්ලගන්නවා. නමුත් නුවණින් විමසන කෙනා එහෙම නොවෙයි. එ් තැනැත්තා ඉතාමත් දක්ෂ විදිහට වටිනාම දේ අල්ලගන්නවා. නොවටිනා දේ අත්හරිනවා.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ එක්තරා පින්වත් දරුවෙකුට මහණ වෙන්නට සිතුණා. ඉතින් ඔහු ගෙදරින් අවසර ගෙන සියලු දේම අත්හැරලා මහණ වුණා. ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද? අපේක්ෂාව කුමක්ද? පැතුම කුමක්ද? සිහිනය කුමක්ද? එය හරිම අමුතු දෙයක්. විශේෂ දෙයක්. නුවණින් විමසන කෙනෙක් විතරක්ම දකින දෙයක්. එ් ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි.

“පින්වත් මහණෙනි, අතීත කාලේ වුණත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වුණා නම්, එ් සියලු දෙනාම පැවිදි වුණේ චතුරාර්ය සත්‍යය ධර්මය එ් ආකාරයෙන්ම අවබෝධ කරගැනීම පිණිස පමණයි. එ් වගේම පින්වත් මහණෙනි, අනාගත කාලෙදී වුණත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වෙනවා නම්, එ් සියලු දෙනාම පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය එ් ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස පමණයි. එ් වගේම පින්වත් මහණෙනි, අද වුණත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වෙනවා නම්, එ් සියලු දෙනාම පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය එ් ආකාරයෙන්ම අවබෝධ කරගැනීම පිණිස පමණයි.”
(සංයුත්ත නිකාය 5-2 – සච්ච සංයුත්තය)

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, පැවිදි ජීවිතයේ සැබෑම අර්ථය එ් ස්වාමීන් වහන්සේ හොඳින් දැනගෙන හිටියා. පැවිදිව උපසම්පදා වෙලා හුදෙකලාවේ භාවනා කිරීමට කැමැත්තක් ඇතිවුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව බැහැදැක, උන්වහන්සේගේ ශ‍්‍රී පතුල් නළළ තබා වන්දනා කළා. එකත්පස්ව වාඩි වුණා. මෙහෙම කිව්වා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං ටික කලක් හුදෙකලාවේ භාවනා කරන්නටයි කැමති. එනිසා මං ටිකක් ඈතට යනවා. මට ප‍්‍රගුණ කළ යුතු උතුම් ධර්මය අනුකම්පාවෙන් කියා දෙන සේක්වා!”

“හොඳයි, පින්වත් භික්ෂුව. ඔබ කළ යුත්තේ නුවණින් විමසීමමයි. නුවණින් විමසන කෙනෙකුට පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය දකින්නට අවස්ථාව ලැබෙනවා. එතකොට තමයි ‘මමය, මාගේය, මාගේ ආත්මයය’ කියා සිතා සිටින්නා වූ දේ පිළිබඳව සත්‍යය අවබෝධ වෙන්නේ. එදාට එය අත්හරීවි. එ් සඳහා කළ යුත්තේ නුවණින් විමසීම මයි.”

මේ ස්වාමීන් වහන්සේ මෙය හොඳට හිතට ගත්තා. බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට ප‍්‍රදක්ෂිණා කොට පාත‍්‍රයත්, තුන්සිවුරත් ඇතිව පිටත් වුණා. ඈත පළාතකට වැඩියා. ලස්සන වන ගොමුවකුත් ලැබුණා. හුදෙකලා කුටියකුත් ලැබුණා. ගමට පිණ්ඩපාතෙ වඩිනවා. සිහිය දියුණු කරන්නට හරියට මහන්සි ගන්නවා. අකුසල් බැහැර කරන්න ගොඩාක් වීරිය කරනවා. නුවණිනුත් විමසනවා. හැබැයි චිත්ත සමාධිය වැඩෙන්නෙ නැහැ. මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැහැ. කොයිතරම් වීරිය කළත් චිත්ත සමාධිය වැඩෙන්නේ නැතිවෙන කොට අවබෝධය පිණිස සිත සකස් වෙන්නෙ නැහැ. ඉතින් අන්තිමේදී මේ ස්වාමීන් වහන්සේ ආයෙමත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සොයාගෙන වඩින්නට තීරණය කළා. නැවත සැවැත් නුවර බලා එන්නට පිටත් වුණා.

එ් දිනවල අව්ව සැරයි. උන්වහන්සේ පාරේ වඩිද්දී ඈතින් පේන්නෙ පාර මැද ජලාශයක් තියෙනවා වගෙයි. හොඳින් බැලුවා.

‘අර පේන්නේ කුමක්ද? වැස්සෙ නැහැ නෙව. මෙතරම් වතුර කොහෙන්ද? පාර මැද්දේ ජලාශයක් කොහෙන්ද? නෑ. මේක වෙන්න බෑ.’

ඉතින් උන්වහන්සේ එතනට ළං වෙන කොට ජලාශය එතන නැහැ. දැන් ජලාශය පේන්නෙ ගොඩක් ඈතින්. උන්වහන්සේ මෙහෙම හිතුවා.

 

‘ඇත්තෙන්ම මේක තමයි මිරිඟුව. මිරිඟුව කියන්නේ මහා පුදුම දෙයක්. ඇත්ත වගේමයි පෙනෙන්නේ. යමක් තියෙනවා වගේමයි පෙනෙන්නේ. නමුත් ළං වෙලා බලද්දී එය එතන නැහැ. ඈත තියෙන්නේ. කවරදාකවත් මිරිඟුව අල්ලන්න බැහැ. මට හිතෙන්නේ මේ අපට පේන ලෝකයත් මිරිඟුවක් වගේ කියලයි. අප හඳුනාගන්නා දෙය කවදාවත් අප ළඟ රඳවා ගන්නට බැහැ. වෙනස් වෙලා යනවා. බලාපොරොත්තුවක් හැටියට සිතා සිටින දේත් අපගේ අතට පත්වෙද්දී වෙන බලාපොරොත්තුවක් ඈතින් දිස්වෙනවා. මිරිඟුවක් පසුපස යාම වගේමයි.’

මේ විදිහට එ් ස්වාමීන් වහන්සේ ඉතා හොඳින් නුවණින් විමසන්නට පටන්ගත්තා. දැන් සැවැත් නුවරට සමීපයි. අචිරවතී නදිය ළඟට පැමිණුනා. උඩ පළාතට වැහැලා. නදියේ වතුර මඩ පාටින් ගලා බසිනවා. නදිය පුරාවට පෙණ කැටි පිරිලා තියෙනවා. එ්වා ගඳයි. ටිකෙන් ටික වියැකී යනවා. උන්වහන්සේ මේ ගංගාවේ පහළට ගලා යන පෙණ කැටි දිහා බලා සිටියා. ගං ඉවුරේ රැඳී තියෙන විශාල පෙණ කැටි දිහා බලා සිටියා. උන්වහන්සේට මතක් වුණේ මේ ශරීරයයි.

‘මේ ශරීරයත් මේ විශාල පෙණ ගුලිය වගෙයි. ගඳයි. ක‍්‍රමක‍්‍රමයෙන් රෝගී වෙලා වයසට ගිහින් දිරලා මැරිලා යනවා. පෙණ ගොඩක ඇති අර්ථය කුමක්ද? පෙණ ගොඩක් සමඟ සෙල්ලම් කිරීමෙන් කුමක් ලබන්නද? පෙණ ගොඩකට ආසා කිරීමෙන් කුමක් ලබන්නද? පෙණ ගොඩේ ස්වභාවය නම් කෙමෙන් කෙමෙන් අභාවයට පත්වීමයි.’

උන්වහන්සේ ගං ඉවුරේ වාඩිවුණා. පෙණ ගොඩ දෙස බලා මෙලෙසින් නුවණින් මෙනෙහි කරන විට විසුරුණු සිත ටිකෙන් ටික තැන්පත් වෙන්නට පටන් ගත්තා. දෙව්රම් වෙහෙරේ වැඩසිටි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙය නුවණින් දුටු සේක. තමන්ගේ ශ‍්‍රාවකයන් වහන්සේ නමක් ගං ඉවුර මත වාඩි වී සත්‍යය දකින්නට වෙහෙසෙන අයුරු උන්වහන්සේ දුටු සේක. කෙමෙන් කෙමෙන් එ් ශ‍්‍රාවකයන් වහන්සේගේ සිත තැන්පත් වී යන අයුරු නුවණින් දුටු සේක. එවිට බුදුරජාණන් වහන්සේ එ් භික්ෂූන් වහන්සේ ඉදිරියේ ආලෝකයක් පතුරුවා මෙම ගාථාරත්නය ඇසෙන්නට සැලැස්සුවා.

දැන් එ් භික්ෂුව පෙණ ගොඩ දෙස බලාසිටිද්දී ඉතාම මිහිරි ස්වරයෙන් අර්ථවත් ගාථාවක් ඇහෙන්නට පටන් ගත්තා. එහි අරුත් ටිකෙන් ටික වැටහෙන්නට පටන් ගත්තා. සිහි නුවණ හොඳින් පිහිටියා. හිත ඉතා හොඳින් සමාධිමත් වුණා. මුලාව විනිවිද සත්‍යය මතුවුණා. නිකෙලෙස් වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. උන්වහන්සේගේ ජීවිතය අමා නිවන කරා රැගෙන ගිය එ් ගාථාව මෙයයි.

46.3. ඵේණූපමං කායමිමං විදිත්වා – මරීචිධම්මං අභිසම්බුධානෝ
ඡෙත්වාන මාරස්ස පපුප්ඵකානි – අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ

දැනගෙන මේ කය නුවණින් – නිසරු පෙණ පිඬක් විලසින්
හඳුනාගන්නා සියල්ල – දැනගෙන මිරිඟුව විලසින්
මාරයාගෙ ලොවට බැඳෙන – මල් දම් සිඳගෙන නුවණින්
මරු නොදකින එ් නිවනට – යන්නට පුළුවනි සැණෙකින්

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ එ් ස්වාමීන් වහන්සේට මේ කය දෙස නුවණින් දකින්න කිව්වේ පෙණ ගොඩක් දෙස බලන විදිහටයි. මේ කය දෙස එ් විදිහට බලන එක ලෙහෙසි නෑ. ලෝකයේ බොහෝ දෙනා කතා කරන්නේ ලස්සන කොණ්ඩයක් ලැබීම ගැනයි. එහෙම නැත්නම් සුදෝ සුදු දත් දෙපලක් ලැබීම ගැනයි. එහෙම නැත්නම් කුරුලෑ නැතිකර ගැනීම ගැනයි. එහෙම නැත්නම් දිලිසෙන සමක් ලැබීම ගැනයි. එහෙමත් නැත්නම් ලස්සනට ඇඟපත සකස් කරගැනීම ගැනයි. මෙයට වසඟ වී සිටින සාමාන්‍ය ලෝක සත්වයාට සත්‍යය දකින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එ් සියලු දෙනාම අසත්‍යය තුළ තෘප්තියක් විඳින්නට හරි ආසයි. එ් අසත්‍යයට තමයි සම්මාන ලැබෙන්නේ. ගෞරව ලැබෙන්නේ. ප‍්‍රශංසා ලැබෙන්නේ.

කවුරුන් හෝ කිව්වොත් මේ කය පෙණ ගොඩකට උපමා කොට බලන්න කියා, එයාට එ්ක තේරෙන්නෙ නෑ. එයාට හිතෙන්නෙ මහා අමුතු දෙයක් කිව්වා කියලයි. මහා වැරැද්දක් වගෙයි පෙනෙන්නේ. ජීවිතය දිහා අසුභවාදීව බැලුවා කියලයි හිතෙන්නේ. එ්ක ඍණාත්මක චින්තනයක් කියලයි කියන්නේ. එ් නිසා බැලූ බැල්මට මතුපිටින් සොයද්දී මේ තුළ ජීවිත අවබෝධයට ඍජු උපකාරයක් තියෙනවා කියා මෝඩ කෙනෙකුට සොයන්නට බැහැ. මෝඩ කෙනා ආශ්වාදය සොයන්නේ මේ කය තුළින්ම නෙ.

බුද්ධිමත් අය ලෝකයේ ඉන්නවා. එ් අය නුවණින් විමසන්නට දක්ෂයි. එ් බුද්ධිමත් අය උදෙසා තමයි බුදු කෙනෙකුගේ ධර්මය තියෙන්නේ. එ් බුද්ධිමත් කෙනා බුදුරජාණන් වහන්සේ සත්‍යය මතුකොට පෙන්වද්දී අසත්‍යය මැකී යන ආකාරයෙන් සත්‍යය ඉස්මතු කරගන්නට සමත් වෙනවා. ඉතින් එ් සමර්ථකම කෙනෙකුට තිබුනොත් ගඳ ගසන පෙණ ගොඩක් වියැකී යන ස්වභාවයෙන්ම මේ ශරීරයත් යුක්ත යැයි නුවණින් දකිනවා.

එ් වගේම අප හඳුනාගන්නා රූප, අපට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳසුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ගැන චුට්ටක් සිතන්න. ලස්සන රූප දකින්නට අපි කොයිතරම් ආසයිද? එ්වා තියෙන තැන් සොයාගෙන යනවා. මිහිරි සංගීතයට අපි කොයිතරම් ආසයිද? ලස්සන කටහඬ සොයන්නට අපි තරඟ පවත්වනවා. දිවා රෑ දෙකේ නිදිවරාගෙන මිහිරි හඬ සොයනවා. මිහිරි හඬක් ලැබුණා කියා සතුටු වෙනවා. නමුත් ආයෙමත් මිහිරි හඬක් සොයලා අලුතෙන් තරඟ තියෙනවා. මේකෙ ඉවරයක් නෑ. ඈතට මිරිඟුව පේනවා. මිරිඟුවට ළං වෙනවා. එතකොට මිරිඟුව එතන නෑ. නමුත් ඈතින් ආයෙමත් මිරිඟුව පේනවා.

නාසයෙන් සුවඳ දැනගනිද්දිත් මොන තරම් අපි සුවඳ වර්ග සොයනවාද? ප‍්‍රණීත ආහාරයක රසය සොයන්නට කොයිතරම් සිහින මවනවාද? මහන්සි වෙනවාද? නමුත් රසය සෙවීමේ අවසානයක් නෑ. කයට දැනෙන පහස සොයන්නට ගිහින් සම්මතය දෙදරවාගෙන අමාරුවෙ වැටෙන අය කොතරම් ඇද්ද? ගිම්හාන කාලයට ජලය හිඟයි. එතකොට පිපාසයෙන් තොළ කට වේලුණු මුවරංචු දිය සොයාගෙන පියමං කරනවා. ඔවුන්ට ඈතින් මිරිඟුව පෙනෙද්දි හරිම සතුටුයි. තව මොහොතකින් මගේ පිපාසය සංසිඳේවි කියල වතුර බොන හැටි සිත සිතා එ් තුළම ජීවත් වෙමින් මිරිඟුව පසුපස යනවා. හඹාගෙන යනවා. නමුත් එ් පෙනෙන මිරිඟුව හැමදාම ඈතයි. අන්තිමේදී එ් මුවරංචුව පිපාසය නිසාම මැරී වැටෙන්නේ මිරිඟුවට රැවටිලයි. එසේ මැරී වැටෙද්දී පවා සිතෙන්නේ තව පොඩි වෙලාවක් සිටියොත් වතුර බොන්න පුළුවන් කියලමයි. මිරිඟුව තුළ මායාවක් තියෙන බව එ් අහිංසක සතුන් කිසි දවසක තේරුම් ගන්නෙ නෑ. අපේ ජීවිතයත් ඔය වගේම තමයි.

මේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන හයට බලපුළුවන්කාරකම් කරන පුද්ගලයෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඔහුව හඳුනාගත්තා. ඔහුට තමයි ‘මාරයා’ කියන්නේ. ඔහු ලෝකයට අතිවිශාල බලපෑමක් කරනවා. ලෝක සත්වයා තමාගේ යටතේ රඳවාගන්නට ගොඩාක් මහන්සි වෙනවා.

මාරයා කියන්නේ තනතුරක්. එතැනට කර්මානුරූපව පුද්ගලයෙක් උපත ලබනවා. ඊට පස්සේ ඔහු මේ ලෝකය හසුරුවන්නට පටන් ගන්නවා. ඔහු කැමති නෑ ලෝක සත්වයා මෙයින් නිදහස් වෙනවාට. ඇස, කන, නාසය, දිව, කය, මනස අවබෝධ කරනවාට ඔහු කිසිසේත් කැමැති නෑ. ඔහු කැමති වෙන්නේ එයට මුළා වී සිටිනවාටයි. මේ මාරයා බුදුරජාණන් වහන්සේට හරියට බාධා කළා. එ් සියලු බාධා මැඬගෙන මාර බලය මර්ධනය කොට බුදුරජාණන් වහන්සේ ජයගත්තා. එ් වගේම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලාට හරියට කරදර කළා. ධර්ම මාර්ගයට බාධා කළා. එ් ගැන බුදුරජාණන් වහන්සේ නිතර නිතර පෙන්වා දෙනවා. සිහියෙන්ම ඉන්න කියල කිව්වා. මෙයින් බේරෙන්නට තිබෙන්නේ සතර සතිපට්ඨානය වැඞීමෙන් පමණයි කියලා පෙන්වා දුන්නා.

මේ ගාථාවේ පෙන්වා දෙනවා මාරයාට මල් තියෙනවා කියලා. මාරයාගේ මල් මාලාව තමයි ලස්සන රූප. මිහිරි ශබ්ද. මිහිරි සුවඳ. ප‍්‍රණීත රස. සිනිඳු පහස. මේ පංච කාම ගුණයන්ට ලෝක සත්වයා හසුවෙන්නෙ තොණ්ඩුවකට හසුවෙන සතෙක් වගෙයි. ඇමක් ගිලින මාළුවෙක් වගෙයි. එය සිඳබිඳගෙන යන එක ලෙහෙසි නෑ. එයට ලොකු වීරියක් ඕන. ඉතාමත් දක්ෂ නුවණක් ඕන. කැපවීමක් ඕන. ප‍්‍රමාද නොවීමක් ඕන. අතිශයින්ම දක්ෂ වෙන්නට ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේට පංච කාමය කෙරෙහි ඇති ආශාව සිඳ දමන්නට පුළුවන් වුණා.

මාරයා පුද්ගලයාව හසුරුවන්නේ ඔහු තුළ ඇති කෙලෙස් වලිනුයි. ඉතින් කෙනෙක් එ් කෙලෙස්වලට ඉඩ නොදී පංච කාමය කෙරෙහි ආශාව නැතිකොට සිත සමාධිගත කරගත්තොත් එ් වෙලාවට ඔහුගේ ධර්ම මාර්ගයට බාධා කරන්නට මාරයාට පුළුවන්කමක් නැහැ. එ් වගේම හොඳට සමථ විදර්ශනා වඩා නිකෙලෙස් භාවයට පත්වුණොත් එ් කෙනා පිරිනිවන් පානවා. මාරයාට කිසිසේත්ම රහතන් වහන්සේගේ උපතක් සොයන්නට බැහැ. මේ නිසයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් මාරයා නොදකින තැනට යන්න කියල පවසා වදාළේ. මාරයා නොදකින තැනට යන්නට ඇත්නම් කොයිතරම් අගේද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 4-3. මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here