4-14. ගෝධික තෙරුන් වහන්සේගේ කථා වස්තුව

0
6


පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉතාම සුව සේ සීල, සමාධි, ප‍්‍රඥා වැඩුවා. හොඳින් භාවනාව දියුණු වුණා. නමුත් ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉතාමත් දුක සේ තමයි බණ භාවනා කරගත්තේ. මෙහි සඳහන් වෙන්නෙත් ඉතාම දුකසේ බණ භාවනා කොට මහත් වීරියෙන් යුතුව සසරෙන් එතෙරට වැඩි ස්වාමීන් වහන්සේ නමකගේ අනුවේදනීය කතාවක්.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා උන්වහන්සේ ළඟ පැවිදි වූ ගෝධික නමින් තෙරුන් වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ඉතාම සිල්වත්. භාවනා කිරීමට බොහෝම මහන්සි ගත්තා. රජගහ නුවර ඉසිගිලි පර්වතය බෑවුමෙහි කාලසිලා නම් ඉතා සිත්කළු තැනක් තියෙනවා. එතැන වැඩසිටි ගෝධික තෙරුන් වහන්සේ ඉතාමත් වීරිය ගත්තා. නිදි නොලබා භාවනා කළා. බාහිර වැඩකටයුතුවල යෙදුණේ නැහැ. නමුත් උන්වහන්සේ සමාධිය දියුණු කරගෙන එනකොට අසනීප වෙනවා. එතකොට භාවනාව කඩාකප්පල් වෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර විට මෙය කර්ම විපාකයක් වෙන්නත් පුළුවනි. සමහරුන් සුළු ප‍්‍රශ්න වලදිත් දිවි නසාගන්නවා. එබඳු බරපතල තීරණ ජීවිතයට ඉතාමත්ම දරුණු විදිහට බලපානවා. නිවන් දකිනකම්ම වුණත් එ්වා පස්සෙන් එන්නට පුළුවනි. මෙයත් එවැනි දෙයක් විය හැකියි. ඉතින් එ් ස්වාමීන් වහන්සේ සමාධිය උපදවා ගත්තත් එ් සමඟම රෝගී වන නිසා එ් සෑම අවස්ථාවේදීම භාවනාව පිරිහෙනවා. හය වතාවක්ම මෙය සිදුවුණා. ශරීරයට බෙහෙත් කරගෙන සුවපත් වුන විගසින්ම ආයෙමත් භාවනා කරන්න වීරිය කළා. හත්වෙනි වාරයේදීත් සමාධිය උපදවා ගන්නට සමත් වුණා. හැබැයි එවෙලේ සිතුවේ වෙනස් ආකාරයකටයි.

‘මං සය වතාවක්ම සමාධියෙන් පිරිහුණා. සමාධියෙන් පිරිහී මිය ගියොත් උපත කොහේ සිදුවේදැයි කියන්නට බැහැ නෙව. එ් නිසා දැන් මට කරන්නට තියෙන්නේ මේ සමාධිය පිරිහෙන්න කලින් දිවිනසාගන්න එකයි.’

ඉන්පසුව උන්වහන්සේ ඇඳේ වාඩිවුණා. තමන්ගේ ගෙල සිඳගන්නට සූදානම් වුණා.

සත්වයා සසරෙන් එතෙර වෙනවාට අකමැති ඉතාමත් බලවත් පුද්ගලයෙක් ලෝකයේ ඉන්නවා. එ් තමයි මාරයා. එතකොට මාරයා මෙහෙම හිතුවා.</span

 

‘මේ භික්ෂුව ආයුධයකින් දිවි නසාගන්නට නෙව සූදානම් වන්නේ. හැබැයි මෙයා කරන පිළිවෙලට නම් ජීවිතය ගැන අපේක්ෂා රහිතවයි මෙය කරන්නේ. විදර්ශනා නුවණේ හිත පිහිටුවමිනුයි මෙය කරමින් සිටින්නේ. අරහත් වෙන්නටත් බැරිකමක් නෑ. මං කෙලින් ම පෙනී සිට කියා හිටියොත් මොහු ව වළක්වන්නට පුළුවන් වෙන්නෙ නෑ. ශාස්තෘන් වහන්සේ ලවාමයි මොහුව වැළැක්විය යුත්තේ.’

මෙසේ සිතූ මාරයා වෙනත් වේශයක් ගෙන ශාස්තෘන් වහන්සේ ඉදිරියේ පෙනී සිට මෙය පැවසුවා.

“මහා වීරයන් වහන්ස, මහා ප‍්‍රඥාවන්තයාණෙනි, ඉර්ධිබලයෙන් හා යසසින් දිලෙමින් සිටින මුනිඳුනි, සියලු භය වෛර ඉක්මවා ගිය නුවණැස ඇතියාණෙනි, ඔබවහන්සේගේ පා වඳිමි.

මහාවීරයාණෙනි, ඔබවහන්සේගේ ශ‍්‍රාවකයෙක් මරණයට කැමතිව, මරණයට යට වී සිටී. දිවි නසාගන්නට කැමැත්තෙන් සූදානම් වෙයි. නුවණින් බබලන මුනිඳුනි, වහා එය වළක්වනු මැනැව.

ජනයා අතරෙහි ඉතා ප‍්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ ශාසනයෙහි ඇලුණු, තවමත් අරහත්වයට පත් වී නැති එ් ශ‍්‍රාවකයා කෙසේ නම් එවැනි ආකාරයේ කළුරිය කිරීමකට පත්වෙයිද?”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මාරයා විසින් බුදුරජාණන් වහන්සේගෙන් එ් ප‍්‍රශ්නය අසන ක්ෂණයෙහිම ගෝධික තෙරුන් වහන්සේ දිවි නසාගත්තා. බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තා ‘මාරයා’ බව හඳුනාගත්තා. හඳුනාගෙන මේ ගාථාව වදාළා.

“නුවණැති උදවිය ඔය විදිහටත් කරනවා තමයි. ජීවිතයට කැමැති නෑ තමයි. එ් ගෝධික භික්ෂුව තෘෂ්ණාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා.”

එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා සමඟ ගෝධික තෙරුන් අපවත් වූ ස්ථානයට වැඩම කළා. එ් ක්ෂණයේදී මාරයාද ගෝධික තෙරුන්ගේ විඤ්ඤාණය උපතක් පිණිස පිහිටියේ කොහේදැයි සොයන්නට පටන් ගත්තා. දුම් වළාවක් වගේ එ් එ් දිශාවලට ගමන් කරන්න පටන් ගත්තා. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට එ් දුම් වළාව පෙන්නුවා.

“පින්වත් මහණෙනි, අන්න බලන්න මාරයා ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය සොයනවා.”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය පිහිටියේ කොහේද?”

“පින්වත් මහණෙනි, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය කොහේවත් පිහිටියේ නෑ. පහන් සිලක් වගේ නිවිලා ගියා. පිරිනිවන් පෑවා.”

එතකොට මාරයා කුමාරයෙකුගේ වේශයක් ගත්තා. වීණාවක් අතට ගත්තා. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙය ඇසුවා.

“උඩ, යට, සරස, දිශා, අනුදිශා සෑම තැනම මං සොයනවා, සොයනවා සොයා ගන්නට බැහැ නෙව. එ් ගෝධික භික්ෂුව ඉපදුණේ කොහේද?”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා.

“යමෙක් මහා වීරියකින් යුක්තව, ප‍්‍රඥා සම්පන්නව, ධ්‍යාන වඩනවාද, හැම විටම ධ්‍යානයේ ඇලී සිටිනවාද, දිවා රාත‍්‍රී දෙකේම ධර්මයේ හැසිරෙනවාද, කෙලෙස් සහිත ජීවිතයට අකමැතිද, අන්න එ් කෙනා මාරයාගේ සේනාව නසනවා. පුනර්භවයක් කරා යන්නේ නෑ. ගෝධික භික්ෂුවත් තණ්හාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා. එනිසා පවිටු මාරය, ගෝධික කුලපුත‍්‍රයාගේ විඤ්ඤාණය උපන් තැන ඔබට කුමටද? ඔබ වගේ සිය දහස් දෙනෙක් සියලු දිශාවේ එය සෙව්වත් දකින්නට පුළුවන් වන්නේ නැහැ” යි වදාරමින් මෙම ගාථා රත්නයද වදාළා.

තේසං සම්පන්නසීලානං – අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං – මාරෝ මග්ගං න වින්දති

උතුම් සිල් ගුණ ඇති – බඹසරෙහි නොපමා ඇති
දියුණු කළ නුවණැති – කෙලෙස් දුරුකළ සිත් ඇති
එ් රහත් මුනිවරුනගෙ – දිවිය අවසන් වූ විට
පිරිනිවන් වැඩි ඒ මග – මාරයා කිසි දිනෙක නොදකී

පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයේ උපදින්නේ කෙලෙස් සහිත අය විතරයි. එ් අය අතරින් මාර්ග ඵල නොලැබූ අයගේ සසර ගමන ඉතාමත් අනතුරුදායකයි. සමහරු මිය ගිහින් නිරයේ උපදිනවා. සමහරුන් පේ‍්‍රත ලෝකයේ උපදිනවා. තවත් අය තිරිසන් අපායේ උපදිනවා. බොහෝ පින් කළ අය දෙවියන් අතර උපදිනවා. සමහරු මිනිස් ලොව මව්කුසක උපදිනවා. එහෙත් පෘථග්ජන අයගේ උපත ස්ථිරව කියන්නට අමාරුයි. බොහෝ විට සතර අපායේමයි උපදින්නේ.

යමෙක් සෝතාපන්න වුණොත්, ඔහු කවදාවත් සතර අපායේ උපදින්නේ නෑ. දෙවි මිනිස් ලෝකවල වැඩිම වුණොත් උපදින්නේ සත් වතාවයි. සකදාගාමී වුණොත් කාම ලෝකයේ උපදින්නේ එක වතාවයි.

අනාගාමී වුණොත් උපදින්නේ සුද්ධාවාස බඹලොව පමණයි. රහතන් වහන්සේලා උපතක් කරායන්නේ නෑ. පහන් සිලක් නිවිලා යනවා වගේ පිරිනිවන් පානවා. සසර දුකින් මිදෙන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 4-14. ගෝධික තෙරුන් වහන්සේගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here