3-4. උකටලී භික්ෂුවකගේ කථා වස්තුව

0
6


පින්වතුනේ, පින්වත් දරුවනේ,
සිතේ ස්වභාවය දකින එක ලෙහෙසි නෑ. එ්කට හේතුව අපි බොහෝ කලක් තිස්සේ මම කියා සිතාගෙන සිටින්නේ සිත ගැනයි. සිත පැහැදිලිවම දැකගන්නට අසීරු නිසා බොහෝ දෙනෙක් මේ සිතටමයි රැවටෙන්නෙ. නමුත් මේ රැවටීමෙන් බේරිලා සිතේ සැබෑ ස්වභාවය හඳුනාගෙන අකුසලයට වැටෙන්නට නොදී සිත රැකගන්නා වීරියවන්තයන් ඉන්නවා. එබඳු වීරියවන්තයන් වුණත් යම් යම් අවස්ථාවන්වලදී මේ සිතේ ඇති මායාකාරී ස්වභාවයන් නිසා පසුබසින අවස්ථාවන් තිබෙනවා. එවැනි මොහොතකදී අවවාද කොට මේ සිතේ ස්වභාවය පෙන්වාදී නැවත ධර්මය තුළ පිහිටුවන්නේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා විසිනුයි. මෙතෙක් ලොව පහළ වූ උතුම්ම කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ආධාර ලබාගෙන සසර දුකින් අත්මිදුණු ස්වාමීන් වහන්සේ නමක් ගැනයි මෙහි සඳහන් වන්නේ.

සැවැත් නුවර එක්තරා සිටු පවුලක් සිටියා. එ් සිටු පවුලේ එකම තරුණ දරුවා ඉතාමත් ශ්‍රද්ධාවන්තයි. එ් ශ්‍රද්ධාව ඔහු තුළ ඇතිවුනේ කළ්‍යාණමිත්‍ර වූ ස්වාමීන් වහන්සේ නමක් නිසයි. එ් ගුණවත් ස්වාමීන් වහන්සේගේ ඇසුර නිසා මේ තරුණයාට චතුරාර්ය සත්‍යය ගැන විස්තර වශයෙන් අසන්නට ලැබුණා. මේ තරුණයාගේ ශ්‍රද්ධාව තව තවත් දියුණු වුණා. බුදුරජාණන් වහන්සේ ගැන මහත් සේ පැහැදුණා. එ් ශ්‍රී සද්ධර්මය ගැනත් පැහැදුණා. මග ඵල ලාභී සඟරුවන ගැනත් පැහැදුණා.

මේ තරුණ කුමාරයා සේඛබල පහම හොඳින් පිහිටුවා ගත්තා. සේඛබල කියන්නේ ධර්ම මාර්ගයට පැමිණි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයින් විසින් හික්මිය යුතු ගුණ ධර්ම පහකටයි.

එ් කියන්නේ එ් ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධාව නම් වූ සේඛ බලය තිබිය යුතුයි. එතකොට ඔහු ශ්‍රද්ධාව තුළ හික්මෙනවා. ඒ වගේම සීලය නම් වූ සේඛ බලය තිබිය යුතුයි. එතකොට ඔහු සීලය තුළත් හික්මෙනවා.

එ් වගේම සුත නම් වූ සේඛ බලය තිබිය යුතුයි. එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනා ඉගෙන ගන්නවා. විස්තර වශයෙන් තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍යය ධර්මය විස්තර වශයෙන් ඉගෙන ගන්නවා. එ් ධර්මය මතක තබාගන්නවා. මතක තබා ගත් ධර්මය වචනයෙනුත් පුරුදු කරනවා. වචනයෙන් පුරුදු කරනා ධර්මය නුවණින් මෙනෙහි කරනවා. එ්කට තමයි සුත බලය කියන්නෙ.
එ් වගේම චාග නම් වූ සේඛ බලයද තිබිය යුතුයි. එ් කියන්නේ ඔහු දන් දෙන කෙනෙක්. දන් දීම පිණිස දෑත සෝදාගෙන සිටින කෙනෙක්. ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් සංඝෝපස්ථාන කරන කෙනෙක්. වැඩිහිටියන් පුදන කෙනෙක්. මව්පිය උපස්ථාන කරන කෙනෙක්. දැසි දස්සන්ට සේවක කාරකාදීන්ට උපස්ථාන කරන කෙනෙක්. ඥාති සංග්‍රහ කරන කෙනෙක්. දුගී මගී යාචකාදීන්ට දන් දෙන කෙනෙක්. මේ තමයි ත්‍යාග නම් වූ බලය.

එ් වගේම පඤ්ඤා නම් වූ සේඛ බලයද තිබිය යුතුයි. එ් කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධ, ආයතන, ධාතු, පටිච්චසමුප්පාද ආදී ගැඹුරු ධර්මය ගැන නුවණින් විමසනවා. ජීවිතයේ තිබෙන යථා ස්වභාවය විනිවිද දකින්නට සමර්ථ වූ තියුණු විමසීම් නුවණක් ඇති කරගන්නවා. එ්ක තමයි ඔහු තුළ තියෙන ප්‍රඥාව නම් වූ සේඛ බලය.

ඉතින් මේ කුමාරයා මේ සේඛ බල පහත් තමන් තුළ දියුණු කරගන්නට මහන්සි ගත්තා. ගිහි ජීවිතයේ ඇති කරදර කම්කටොලූ ගැන ටිකෙන් ටික වැටහෙන්නට වුණා. සියලූ බැඳීම් වලින් නිදහස් වූ, පරම පවිත්‍ර වූ ජීවිතයක් පැවිදි බව තුළ දියුණු කරගත හැකි ආකාරය වැටහෙන්නට වුණා. එ් නිසා මේ තරුණයා මව්පිය අවසරය ගෙන අර ස්වාමීන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේගේ උපදෙස් ලබා ගෞතම බුදු සසුන තුළ පැවිදි වුණා.

පැවිදි වූ දා සිට මේ ස්වාමීන් වහන්සේට ඉතාම හොඳ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශ්‍රය ලැබුණා. එක ස්වාමීන් වහන්සේ නමක් ධර්මය ඉගැන්නුවා. අනිත් ස්වාමීන් වහන්සේ විනය ඉගැන්නුවා. එතකොට මේ අලුත පැවිදි වූ ස්වාමීන් වහන්සේට විනය ශික්ෂා පද එකින් එක ඉගෙන ගනිද්දී තේරුණේ තමන්ගේ නිදහස ඇහිරෙන බවයි. සිතු මනාපයට කිසිසේත්ම කටයුතු කළ නොහැකි බවයි. සිතේ ඇති වූ ප්‍රමාදය නිසා එම විතර්කය ටික ටික බලවත් වුණා. සිත නොසන්සුන් වුණා. සිත කලබල වුණා. සිතේ ස්වභාවය අපැහැදිලි වුණා. ඊට පස්සේ නිදහස කියල හිතුවෙ සිවුරු හැරයාමයි. මේ ස්වාමීන් වහන්සේ තුළ සතුටක් නැති බව වැටහුණු ආචාර්යයන් වහන්සේලා විසින් කරන ලද්දේ මේ ස්වාමීන් වහන්සේව බුදුරජාණන් වහන්සේට මුණගැස්සවීමයි. බුදුරජාණන් වහන්සේ එ් ස්වාමීන් වහන්සේගේ නොසතුටට කාරණාව විමසා වදාළා.

තමන්ගේ ඇත්ත ස්වභාවය නොසඟවා මතු කරන ආජානේය අශ්වයෙක් වගේ, තමාගේ සිතේ ඇති ස්වභාවය මතු කර පෙන්නන දමනය වනු කැමති හස්තිරාජයෙක් වගේ මේ ස්වාමීන් වහන්සේ ඉතාම නිහතමානීව තමන්ගේ සිතේ ඇති වී තිබෙන මේ ලාමක ස්වභාවය ගැන පවසා සිටියා.

“අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ ආශාවෙන්මයි. ඒ සඳහා මම ධර්ම විනය ඉගෙන ගනිද්දි මට මහා අපහසුවක් දැනුණා. මට හිතුනේ මම ටිකෙන් ටික හිර වෙනවා වගේ. හිතුමනාපේ අතපය දිග හරින්නට තරම් වත් අවසරයක් නෑ වගේ. එතකොට මට හරි අපහසුවක් දැනුණා. එන්න එන්නම හිත විසිරුනා. හිතේ ස්වභාවය හරිම අපැහැදිලියි. එතකොට මට හිතුණා මේ පැවිදි ජීවිතය ගත කරන එක මට හරි දුෂ්කරයි. මං ආයෙමත් ගිහි වෙනවා. එතකොට මට කලින් වගේ සංඝෝපස්ථාන කරන්නටත් පුළුවනි. පින් දහම් කරගන්නටත් පුළුවනි කියල.

එවේලෙහි බුදුරජාණන් වහන්සේ මේ හිතේ ස්වභාවය අපැහැදිලි වන්නේ පංච නීවරණ බලපවත්වන විට බවත් පෙන්වා වදාළා. මේ සිතේ ස්වභාවය දැකීමට දුෂ්කර බව පෙන්වා වදාළා. මේ සිතේ ක්‍රියාකාරීත්වය ඉතාමත් සියුම් බව පෙන්වා වදාළා. ආසා කරන අරමුණු වලමයි මේ සිත කැරකි කැරකි යන්නෙ. ආසා කරන අරමුණුවල බැසගෙන සිටීම පිණිස මේ සිත එක එක වෙස් ගන්නවා. දැන් පින් කරගැනීමේ වේශයෙන් මේ සිත දඟලන්නේ දමනය නොවී පරණ පුරුද්දට වැටෙන්නටයි. මේකට රැවටෙන්න එපා. මේ සිතේ ඇති මායාකාරී ස්වරූපය හඳුනාගන්න ඕන. එ් වගේම නොයෙක් අකුසල් මේ සිතට ඇතුළු වන්නට නොදී රැක ගන්නත් ඕන. මේ සිත රැකගෙන සතර සතිපට්ඨානයෙහි හොඳින් පිහිටුවා ගන්නත් ඕනෙ. එතකොට තමයි අපට මහා සැපයක් ලබා ගැනීමට පුළුවන් වන්නේ.

සුදුද්දසං සුනිපුණං – යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවී – චිත්තං ගුත්තං සුඛාවහං

හඳුනා ගැනුම මේ සිත – පහසුවෙන් කළ නොහැකිය
සියුම් ලෙස හැසිරෙන සිත – ඇලෙයි මේ සිත ආස දෙයටම
නැණවතා මේ සිත ගැන – හොඳින් දැන රැකිය යුතුමය
හොඳින් රැකගත් සිත – මහත් සැපයකි ලබා දෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් ඔබට මේ සිත ගැන ටිකක් හෝ වැටහෙනවා ඇති. අපි හිතනවාට වඩා මේ සිතේ ස්වභාවය තේරුම් ගන්නා එක ඉතාමත් දුෂ්කරයි. අපි මොනතරම් මේ සිතට රැවටෙනවාද? එහෙම රැවටෙන්නේ මේ හිතේ ස්වභාවය හඳුනාගන්නට ඇති අපහසුව නිසාමයි. සිත අතට හසුවන එකක් නොවේ. සිහියෙන්මයි, වීරියෙන්මයි, නුවණින්මයි සිතේ ස්වභාවය අල්ලා ගන්නට තියෙන්නේ. ඉතින් එහෙම වන්නේ සිත සියුම් නිසයි. නමුත් බුද්ධිමත් කෙනා සිත කිලූටු වීම නිසා ජීවිතය කිලුටු වන ආකාරය හොඳින් තේරුම් ගන්නවා. එ් නිසා අකුසල්වලට සිත ඩැහැගන්නට ඉඩතියන්නෙ නැහැ. ඔහු සිත රැකගන්නවා. එහෙම රැකගන්න සිත තමයි නිවන් මග තුළ යොදවන්නෙ.

බුදුරජාණන් වහන්සේ තමයි පළමුවෙන්ම මේ සිත ජය අරගෙන ලෝකය ඉදිරියේ අභිමානවත් ලෙස නැගී හිටියේ. සිතට වසඟ වූ ලෝකයට මෙය අදහාගත නොහැකි තරම් අසිරිමත් දෙයක්. සාමාන්‍යයෙන් සසරේ ගමන් කරන ජීවිත තුළ තියෙන්නේ අවබෝධයක් නැති කමයි. එ් නිසා හැම තිස්සේම එ් අවබෝධයක් නැතිකම නම් වූ අඳුරට තමයි සත්වයා ඇදී යන්නේ. එයින් නිදහස් වන්නට නම්, අවබෝධයක් ලැබිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ දඹදිව් තලය සිසාරා පා ගමනින් වැඩම කරමින් ධර්ම දේශනා කොට වදාළේ මේ සිත ජයගැනීම පිණිසයි. මේ සිත දමනය කිරීම පිණිසයි. සිත වසඟ කළ සියල්ලෙන්ම නිදහස් වීම පිණිසයි. බුදුරජාණන් වහන්සේගේ එම ධර්ම දේශනා වලින් මිනිසුන් ලැබූ ආධ්‍යාත්ම ශක්තිය විස්මයජනකයි. සිත ජය ගත නොහැකිව පසුබටව සිටි ජනයා එම සිත ජය ගැනීම තුළින් අභිමානවත් ලෙස නැගී සිටියා. එසේ සිදු නොවුණේ නම් ලෝකයේ කිසිදාක රහතන් වහන්සේලා බිහිවන්නේ නැහැ. රහතන් වහන්සේලා යනු සිත දමනය කළ, සිත ජයගත්, සිතට වසඟ නොවූ අභිමානවත් චරිත සංවර්ධනයක් ඇති කරගත් මනුෂ්‍ය රත්නයන් හැටියටයි ලොව දිස්වන්නේ. එනිසා එ් සඳහා යන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විට ලොව අලූත්ම යුගයක් උදාවුණා.

එදා දඹදිව් තලයේ සිටි මිනිසුන් ගෙන් බොහෝ දෙනෙක් බුදු සසුන කෙරෙහි පැහැදුණා. බුදුරජුන් ළඟ පැවිදි වුණා. සිත දමනය කළා. සිත ජයගත්තා. රහතන් වහන්සේලා බවට පත්වුණා. එපමණක් නොවෙයි, උන්වහන්සේලා අහසින් වැඩියා. ජලයේ සක්මන් කළා. පොළොවේ කිමිදුණා. ඍද්ධි බලයෙන් හිරු සඳු ස්පර්ශ කළා. නොපෙනෙන ලෝක සමඟ කතා බස් කළා. දෙවියන් සමඟ සාකච්ඡා කළා. දුර ඈත සිටින සත්වයන් සමඟ කතා බස් කළා. අනුන්ගේ සිත්වල ස්වභාවය මැනවින් දැනගත්තා. තමන් සසරේ ගමන් කළ ආකාරය තමන් තුළින්ම දැනගත්තා. මිනිසුන් මියයන ආකාරයත්, උපදින ආකාරයත් දැනගත්තා. කෙළෙසුන්ගෙන් නිදහස් වන ආකාරයත් දැනගත්තා. මේ සියලූ දේ කළේ බාහිර උපකරණවල ආධාරයෙන් නොවෙයි. සිත ජයගැනීමෙන්මයි. සිත ජයගත් කල්හි ඔහුට ජය නොගත හැකි දෙයක් ඇද්ද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post 3-4. උකටලී භික්ෂුවකගේ කථා වස්තුව appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here