2036 ඔලිම්පික් දක්වාම සිහින සැබෑ කරන යන්තරයක් – ලයන් වොරියර්ස්

0
7


ලංකාවේ බොහෝ අයට බොහෝ දේ සිහි වන්නේ කට ළඟට ආ පසුය.වැසිකිලි බර දැනෙන තුරු වැසිකිළියක අවශ්‍යයතාවය නොසිතීමේ ආදීනව ලෙස රෙද්දේම කර ගෙන පැත්තම ගද ගස්සන අවස්ථා හිඟ නැත.ඒවා කියන්න ගිය විට අනුගාමිකයෝ ද නැවත නැවත ඒවා අනමින් තැන තැන උලමින් යන අවස්ථා ද අපමණය.උදාහරණයකට මේ මොහොතේ ශ්‍රී ලංකා ඔලිම්පික් වෙත ජාත්‍යන්තරය විසින් පනවන බාධකයේදී,ඒ අනුව තනතුර හැර නොයා සිටින ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින පිරිස් කරන්නේ ද එවැනි හත්පොළේ ගා ගැනීමක්ය.

එහෙත් ඔලිම්පික් වෙත හෝ ක්‍රීඩා අමාත්‍යංශය වෙත හෝ නොතිබි දීර්ඝ සැළසුමකට රට එකතු කරන වැඩේට හිටපු ජාතික වාර්තාලාභියෙක් වූ තලොව් අලෙයිලීමා ප්‍රවේශ වී ඇත.එම වැඩ සටහන සිංහ දේශයේ ක්‍රීඩාවේ රණකාමී සටන් කරුවන් එක් රොක් කර පෙරට ගෙන යන ලයන් වොරියර්ස් වැඩ සටහනයි.අප ද පැරිස් ඔලිම්පික් නිමා වූ මොහොතේ පටන් 2028 ගැන හිතන්නත්,2036 ඉන්දියාව විසින් ඔලිම්පික් උළෙල ලබා ගැනීමට කරන වෑයම පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පෝෂණය කළ හැකි මාර්ග ගැන සිතන්නටත් අවශ්‍යය බව කියා ඇත.

ඒත් ඒවා මුනින් හැර වූ බඳුනකට ජලය වැක්කිරීමක් බඳුය.එහෙත් මේ වන විට මේ සියල්ල සාක්ෂාත් කරගත හැකි වැඩ පිළිවෙලකට රටම එක මිටට ගන්නට වැඩක් එළි දැක ඇත.එහි නිර්මාතෘ අප මීට පෙර හැඳින්වූ ආකාරයට තලෙව් අලෙයිලීමා ය.ඒත් ඔහු තනිව මේ සියල්ල කරන්නේ නැත.පළපුරුදු පිරිසක් ඔහු වටා රොඳ බැඳ ඇත.ඒ සියල්ල ගැන පෞද්ගලිකව සහතික දෙන්නට අප යන්නේ නැත.වඩාත් වැදගත් මේ මොහොතේ වැඩ සටහනට ශක්තිය දීමය.ඒවා අධික්ෂණය වෙන,වගකීම් සහගත ක්‍රියාවක් ලෙස පැවතෙන තැන නිර්මාණය වන්නේ සාමූහිකත්වයේ සහ සමූහයක් එකිනෙකාට වගකිව යුතු පසුබිමෙහි ය.
අද සිට ඉදරියට බැලුවහොත් මේ වැඩ සටහනට තව වසර 11 ක් ඉදරියට යාමට ඉඩ තිබේ.ඒ වසර 11 තුළ 2028 හෝ 2032 දී ද මේ වැඩ සටහන ශක්තියක් කර ගනිමින් අපට ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට ඉඩ ඇත.ඒත් 2036 දි ඔලිම්පික් පදක්කම් 10 ක් යනු පහසු නැත.ඒත් අප ද කියන්නේ අපහසු නැති බවය.ඊට අවශ්‍යය පසුබිම නිර්මාණය විය යුතුව ඇත.

පුහුණුව සහ ඊට අවශ්‍යය සකලවිධ පහසුකම් අතරට දේශීය සහ විදේශීය දැණුමත්,පෝෂණයත් ඇතුළු කාරනා බොහෝ වෙති.මිනිසුන් වට කර ගනිමින් සිටින්නේ තමන්ගේ නියෝජනය කරන ව්‍යාපාරික කේෂ්ත්‍රයන් හී හැඩය අනුව මේ වැඩ පිළිවෙලට දායකත්වය ලබා ගන්නටය.දැනට මේ වැඩ සටහන තුළ සරලව ගත් විට අවුරුදු 15 ට වඩා වැඩි වූ පිරිස 27 ක් සිටින අතර අවුරුදු 22 සපුරා ඇති ප්‍රමාණය 13 කි.
මේ පිරිස සොයා ගැනීමට සමස්ත ලංකා පාසල් වර්ණ ප්‍රදානය ප්‍රමිතිය කරගෙන ඇත.එවැනි ප්‍රමිතියක් තිබීම වැදගත් නමුත්,ඉන් ඔබ්බට අවුරුදු 21 න් පහළට මේ වැඩ සටහනේ සිටිය යුතු පිරිසක් ලෙස අප දකින්නේ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ විරේන් නෙත්තසිංහ සහ දිලිනි නෙත්සලා රාජපක්ෂය.එසේම මේ වැඩ සටහනෙන් දුරස් වි ඇති ක්‍රීඩකයෙක් ලෙස කඩුල්ලක උස ගැටළුවක් කර ගනිමින්,පාසල් මලල ක්‍රීඩා සංගමයේ නිලධාරියෙක්ගේ පුහුණුකරුවෙක් වූ ගෝලයෙක් යටතේ ක්‍රීඩා කරන අයෙකු දක්ෂතම මලල ක්‍රීඩකයා කිරීම නිසා දක්ෂතම මලල ක්‍රීඩකයා වීමේ අවස්ථාව අහිමි කරන ලද මීටර් 400 කඩුලු පැනීමේ වත්මන් සූරයා වන 18 හැවිරිදි අයෝමාල් අකලංක ද හැඳින්විය හැකිය.

ලයන් වොරියර්ස් සංවිධානයේ යහපත්කමට පිටින් ඇති අයහපත් කඳවුරුවලින් දක්ෂයන්ම හඳුන්වා දෙන සංස්කෘතියක් ඇද්ද යන්න පිළිබඳ ගැටළුව නිසා මේ සම්බන්ෂයෙන් තොරතුරු දත්ත සොයා බලන්නට තවත් ක්‍රම භාවිතයට ගැනීම වැඳගත් වනු ඇත.අයෝමාල් මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ෂ්ඨ මලල ක්‍රීඩකයෙකු දිනූ විශ්ෂඨම පදක්කමක් ලෙස හැඳින්විය හැකි රිදී පදක්කමක්,යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දිනා දුන් ක්‍රීඩකයාය.එසේම මේ වන විට ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගවලදී ද එම ඉසව්වේ ජයග්‍රාහකයාය.
මේ වැඩ සටහනේ සංකල්ප මතධාරියා වන අලෙයිලීමා අප කරුණු විමසීමේ දී ද,ධනාත්මක විවේචන අවශ්‍යය බව කියා සිටියේය.ඒ අනුව එහි එක පියවරක් හැටියට අප මඟ හැරී ඇති ක්‍රීඩිකාවක සහ ක්‍රීඩකයන් දෙදෙනෙක් ගැන සදහන් කරේ ඒ තිදෙනාම මේ වැඩ සටහනට උපරිමයෙන් සුදුසු බව ඔවුන්ගේ දක්ෂතාවලින් සහතික කර ගැනීමෙන් ඉනික්බිතිවය.

ලයන් වොරියර්ස් වටා එකතු වෙන පිරිස්,වානිජමය ආයතනවලට ඇත්තේ රටේ ක්‍රීඩාව ජයග්‍රහණය කරා කැඳවා ගෙන යාමේ අවශ්‍යයතාවය පමණි.රජයට ඒ සඳහා පෞද්ගලික අංශය පෙළඹවීම සඳහාත්,මේ වැඩ පිළිවෙල සාක්ෂාත් කිරීමේ දායකයෙක් වීමටත් අවස්ථාව ඇත.ඒ සඳහා ව්‍යාපාරික කේෂ්ත්‍රයට දිය හැකි සහන පිළිබඳව රාජ්‍ය මැදිහත්වීමක් කළ හැකිනම් අසල්වැසි ඉන්දියාව ඔලිම්පික් දිනා ගැනීම තරමටම ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ඉතිහාසයට ජයග්‍රහණ එකතු කරන ලාංකිකයන් ප්‍රමාණය ඉහළ යාම ද සිඳුවනු ඇත.
මේවා පෞද්ගලිකව මිනිස් පවුරක් ලෙස බැදී කරන විට ඒවායේ දේශපාලනය මිශ්‍ර වෙන හැටි සොයන්නට,රජයට වගකීමට නොහැකි දේවල් හැටියට පයින් අඳින්නට නොයා,මෙවැනි වැඩ සටහනක් කිරීමේ භාරදූර තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයා සිය වරලත් ගණකාධිකාරී මනසින් අවබෝධ කර ගනිමින්,එම පැත්තෙන් සහ තමන්ට නව රජයේ පැවරී ඇති ක්‍රීඩා අමාත්‍ය ධූරය පැත්තෙන් සිතා යමක් කරන්නට මැදිහත් වන්නේනම් ලයන් වොරියර්ස් රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසායකත්වයන් එක් කරන ලද අපූරු ජාතික වැඩ පිළිවෙලක් වනු ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here